පොඩි එකාගෙ ඔළුවට ගහපු කවුද මෙයා? එයා තමයි ජෝන් සීනා | Page 3 | සිළුමිණ

පොඩි එකාගෙ ඔළුවට ගහපු කවුද මෙයා? එයා තමයි ජෝන් සීනා

 

‘Wrestling කියන්නේ අපට හුරු පුරුදු වචනයක් වුණාට Wrestling ක්‍රීඩාව අපේ රටේ එතරම් ප්‍රචලිත නැහැ කියලා හිතෙන්න පිළිවන්. එහෙත් ගුස්ති ක්‍රීඩාවලට ඒ කියන්නේ අංගම්පොර වැනි සටන් ක්‍රීඩා, මල්ලව පොර ක්‍රීඩාවන් සම්බන්ධයෙන් අතීත ශ්‍රී ලංකාවේ දක්ෂ සටන්කරුවෝ සටන් පරපුරු ඉඳලා තිබෙනවා. ඒත් දැන් මේ මල්ලවපොර නැත්නම් රෙස්ට්ලිං වඩාත් ජනප්‍රිය වන්නේ ටී.වී. වැඩසටහන් මාලාවක් විදිහටයි. මේ ඒ කතාව ගැනයි.‘

මේ ජාතියේ Wrestling ක්‍රීඩාව අපේ රට තුළ ප්‍රචලිත නොවුණත් Wrestling ක්‍රීඩා නරඹන්නට අපේ රටේ සමහර අය බොහෝ උනන්දුයි. ඇතැම් Wrestling ක්‍රීඩකයන් පවා අපේ රටේ බොහෝ අය අතර ජනප්‍රිය යි. ජෝන් සීනා කියන්නෙත් Wrestling ක්‍රීඩාවට උනන්දු බොහෝ දෙනෙක්ගේ සිත් තුළ රැඳුණු නමක්. ජෝන් සීනා වෘත්තීය Wrestling ක්‍රීඩකයෙක් වගේම දක්ෂ රැප් ගායකයෙක්, නළුවෙක් ලෙසත් අමෙරිකාවේ ජනප්‍රිය චරිතයක්.

ඔහු මුලින්ම Wrestling ක්‍රීඩාවට පිවිසෙන්නේ 1999 වසරේ දී යි. Ultimate Pro Wrestling නම් කැලිෆෝනියා ප්‍රාන්-තයේ ප්‍රකට Wrestling සංසදයකින් ඔහු ඒ සඳහා පිවිසුම ලබා ගත්තා. 2001 වසරේ දී World Wrestling Federation (WWF, වර්තමානයේ WWE) සමඟ ගිවිසුම්ගත වුණා. 2004 වසරේ දී ඔහු පළමු ඒකල ශූරතාවට හිමිකම් කී අතර, එම වසරේ අමෙරිකා එක්සත් ජනපද ශූරතාවට ද හිමිකම් කීම විශේෂත්වයක්. ඉතා කෙටි කලක් තුළ 2005 වසරේ දී WWE ශූරතාවයට හිමිකම් කියන්නත් ජෝන් සීනා සමත් වූවා.

ඉන්පසු කෙමෙන් කෙමෙන් Wrestling ක්‍රීඩා ලොව අතික්‍රමණය කළ ජෝන් සීනා අද වන විට ඒකාබද්ධ වාර්තා 16 කට හිමිකම් කියන අතර, 13 වතාවක් ලෝක ශූරතාවයට හිමිකම් කියා තිබෙනවා. වැඩි ම වතාවක් ලෝක ශූරතාවයට හිමිකම් කියා ඇත්තේද ජෝන් සීනායි. 2005 අප්‍රේල් මස 3 වැනි දා ජෝන් සීනා පළමු වරට සිය පළමු ලෝක ශූරතාවය දිනා ගත්තා.

ඉන්පසු පිළිවෙළින් 2006 වසරේ දී අවස්ථා 2ක දී ත්, 2009 වසරේ දී අවස්ථා 2ක දී ත් 2010 වසරේ දී තවත් අවස්ථා 2ක දී ත් 2011 වසරේ දී අවස්ථා 3ක දී ත් 2013, 2014 සහ 2017 වසරවල දී එක් අවස්ථාවක දී ත් ලෝක ශූරතා ජයග්‍රහණයන්ට සීනා හිමිකම් කීවා.

ඊට අමතරව 2008, 2009, 2013 වසරවල දී ජෝන් සීනා ලෝක හෙවිවේට් ශූරතාව ද දිනා ගනු ලැබූවා. එපමණක් නොව The Baltimore Sun, Ohio Valley Wrestling, Pro Wrestling, Rolling Stone ආදි විවිධ තරගාවලිවල දී සම්මාන සහ ගෞරව සම්මාන සියයකට අධික ප්‍රමාණයකට හෙතෙම හිමිකම් කියා තිබෙනවා.

රංගනයට පිවිසි සීනා

ජෝන් සීනා ලෝකය අතරට ගියේ Wrestling ක්‍රීඩාවෙන් පමණක් ම නොවෙයි. ඔහු ටෙලි නාට්‍ය සහ සිනමා රංගනයෙන් ද ප්‍රේක්ෂක සිත් ඇද බැඳ ගන්නට සමත් වූවෙක්. 2006 වසරේ දී ඔහු The Marine චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දුන්නේ ආධුනික නළුවෙක් ලෙසයි. 2015 වසරේ දී Trainwreck චිත්‍රපටයේත් 2017 වසරේ දී Ferdinand චිත්‍රපටයේත් 2018 වසරේ දී Blockers, Bumblebee චිත්‍රපට ද්විත්වයෙහිත් රංගනයෙහි යෙදෙන්-

නට ඔහුට අවස්ථාව උදා වුණා. The Sujcide Squad, රූපවාහිනි කතා මාලාවටද ජෝන් සීනා විසින් සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඔහු විවාහ වී සිටින ෂරියාට් සාදේ නම් රූමත් යුවතිය පළමු වරට මුණ ගැසී ඇත්තේ චිත්‍රපට රූගත කිරීමක් අතරතුර දී යි. 2017 වසරේ දී සීනා හට වසරේ ක්‍රියාදාම තරුවට හිමි සිනමා කොන් සම්මානය පිරිනැමුණා.

හිප්පොප් ගායකයෙක්

රංගනයට මෙන් ම සංගීතයට ද ඔහු උපන් හපනෙක්. WWE තේමා ගීතයට ද ඔහු ගායනයෙන් දායකත්වය දැක්වූ අතර Wrestling ලෝකයේ ජෝන් සීනාගේ තේමා පාඨය ලෙස සැලකෙන You Can’t see me නමින් 2005 වසරේ දී සංගීත ඇල්බමයක් එළිදක්වන්නට ද ඔහු කටයුතු කළා.

දානපතියෙක්

දානපතියෙක් ලෙස ද ජෝන් සීනා අමෙරිකානු සහ බටහිර සමාජය අතර ප්‍රකටයි. Make a Wish පදනම හරහා මාරාන්තික රෝග සහිත දරුවන් වෙනුවෙන් ඔහු උපකාර කර තිබෙනවා. පිළිකා මර්දන ව්‍යාපාර වෙනුවෙන් ඔහු අමෙරිකා එක්සත් ජනපදය තුළ දැවැන්ත වැඩ කොටසක් සිදු කර තිබෙනවා.

Bleacher Report නම් මාධ්‍ය ජාලයට අනුව ලෝක Wrestling ක්‍රීඩා ඉතිහාසයෙහි එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටත ම ක්‍රීඩකයන් 10 දෙනාගේ ලැයිස්තුවට ද ජෝන් සීනා ඇතුළත්. ගෙවෙන වසංගත සමය නිසා ජෝන් සීනා තරමක් දුරට Wrestling වළල්ලෙන් ඈත්ව සිටිය ද තවමත් 45 වැනි වියේ පසුවන ඔහුගේ ජව සම්පන්න බවේ නම් කිසි වෙනසක් නෑ.

 

Comments