
- දස හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ලෙස ඔහු පෑන හසුරුවන්නට පටන් ගත්තේ ‘හෙළබිම’ පත්‍රයෙනි
- වමේ නායකයන් සිටි වේදිකාවක කතා වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී එම වේදිකාවට වෙඩි තබා, බෝම්බ ගැසූ සිද්ධිය දයාගේ ජීවිතයේ නොමැකෙන මතක සටහනකි
- ඔහු සංස්කරණය කරමින් ඇරඹූ ‘ක්‍රීඩා ලෝකය’ ලංකාවේ මුල්ම ක්‍රීඩා පත්‍රය ලෙස ඔහු හඳුන්වයි
රාගම වල්පොල උපත ලැබූ දස හැවිරිදි පාසල් ශිෂ්‍යයකු කුඩා මාධ්‍යවේදියකු ලෙස පෑන හසුරුවන්නට පටන් ගත්තේ ‘හෙළබිම’ පත්‍රයෙනි. හැටේ දශකයේ ඇරඹි ඒ ගමනේ ඊළඟ පියවර වූයේ දේවප්‍රිය චන්ද්‍රසිරි සංස්කරණය කළ ‘හෙළ ජීවය’ ළමා පත්‍රයේ සහාය සංස්කාරක වීමය. ‘මිහිර’ ළමා පුවත්පතේ 180 වැනි පාසල් වාර්තාකරු ලෙස වාර්තා සහ කවි සපයන අතරම ‘ටිකිරි’ ළමා පුවත්පතට ද ඔහු ලිපි සැපයීය. ඔහු විසින් ම සංස්කරණය කරමින් ඇරඹූ පත්‍රය වූයේ ‘ක්‍රීඩා ලෝකය’ යි. එය ලංකාවේ මුල්ම ක්‍රීඩා පත්‍රය ලෙස ඔහු හඳුන්වයි.
මේ ශිෂ්‍යයා රාගම වල්පොල රජයේ විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටි දයා සෝමසිරි ය. ගණේමුල්ලේ බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලය, වල්පොල ශ්‍රී විමලරතන විද්‍යා නිවාස පිරිවෙන, මරදානේ ස්ටැෆර්ඩ් විද්‍යාලය ඔහු අධ්‍යාපනය ලැබූ සෙසු පාසල් ය. ලේඛන කලාවට මෙන් ම එල්ලේ හා වොලිබෝල් ක්‍රීඩාවලට දස්කම් පෑ ඔහු දක්ෂ තරග විස්තර ප්‍රකාශකයකු ද විය. මේ නිසා දයාට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගවලට සහභාගිවීමට අවස්ථාව ලැබී ඇත.
මාධ්‍ය ලෝකය ඔහු හඳුනන්නේ වාමවාදී පුවත්පත්වලින් පන්නරය ලැබූ විශිෂ්ට වාර්තාකරුවකු, දේශපාලන ලිපි රචකයකු, තැළෙන, පෑගෙන ජනතාව, පදික වෙළෙඳුන්, ගොවීන්, කම්කරුවන්ගේ ගැටලු ගැන හඬක් නැඟූ මාධ්‍යවේදියකු ලෙසය. පාර්ලිමේන්තු විවාද, ජනාධිපති, අගමැති රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා වාර්තා කිරීමේ සූරයකු වූ දයා, පියවරෙන් පියවර අසීරු, කටුක අත්දැකීම් රැසක් ලබා ප්‍රවෘත්ති කර්තෘ හා පුවත්පත් ප්‍රධාන කර්තෘ දක්වා විවිධ තනතුරු ලැබූ පරිණත මාධ්‍යවේදියෙකි. ඒ සැමටම වඩා තමාගේ නමට ද ආලෝකයක් දෙමින් ‘ඉහවහ ගිය මානව දයාවෙන්’ යුතු ඔහු සාමාන්‍ය, අල්පේච්ඡ, සරල මිනිහෙකි. තමාගේ පත්‍ර කලා ජීවිතයේදී පොලීසිය, රහස් පොලීසිය, හිරගෙදර, රිමාන්ඩ් එක යන තැන්වලින් ලැබූ අත්දැකීම් ඔහුට සරසවියක්ම විය.
ගමේ ග්‍රාම සංවර්ධන සමිතිය, ප්‍රජා මණ්ඩලය ඇතුළු සංවිධානවලත්, ගාමිණී ළමා සමාජය, වීර පැරකුම් සමාජය, නිලතල හොබවමින් ගමේ කැපී පෙනුණ දයා ගේ වයස අවුරුදු 18 වන විට ඡන්ද අයිතිය ලැබිණ.
“දයා, මේ පාර බටුවත්තේ ගම් සභාවට වල්පොල කොට්ඨාසයට තරග කරන්න ඕනෑ. අපි සහෝදරයා පිටුපස ඉන්නවා.“ ගමේ තරුණ පරපුරෙන් ඉල්ලීම් රැසක් ලැබිණ.
දයාට මේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි විය. ඔහුගේ ඡන්ද සලකුණ ‘සමනලයා’ වූ අතර ඡන්ද ව්‍යාපාරයේ තේමා පාඨය වූයේ “ගම හදන්න සමනලයාට ඡන්දය දෙන්න”යන්න ය. මේ නිසා ඔහු ගමේ ප්‍රකට වූයේ ‘සමනලයා‘ නමිනි. සමනලයා මේ ඡන්දයෙන් සුළු ගණනකින් පරාජය වූ ඔහු 1997දී ජාඇල ප්‍රාදේශීය සභාවට තරග කොට ජය ගත්තේය.
දයාට ගම සමඟ ද පන්සල සමඟ ද තිබුණේ ගහට පොත්ත මෙන් සමීප සම්බන්ධයකි. වල්පොල ශ්‍රී ගුණානන්ද දහම් පාසලින් අධ්‍යාපනය ලැබූ ඔහු ආගමික හා සාමාජික කටයුතුවල නිරත වී සිටියේය. 19 වැනි වියේ සිටම මාධ්‍ය ලෝකයට සම්බන්ධ වන ඔහු අදත් ඒ අත්දැකීම් ගැන කතා කරන්නේ කුහුලෙනි.
“මම පුවත්පත් ජීවිතය ආරම්භ කරන්නේ වාර්තාකරුවෙකු හැටියට. මුලින්ම ගම්සභා, ප්‍රාදේශීය සභා, උසාවි, නගර සභා, කොළඹ නගර සභාවලින් පටන් ගෙන ජනාධිපති හා අගමැති රැස්වීම් දක්වා වාර්තාකරණයේ යෙදුණා. දේශපාලන පක්ෂයක් ලෙස කිට්ටු සම්බන්ධතා පැවැත්වූයේ සමසමාජය සමඟයි. මේ කාලය තුළ ඇන්.ඇම්, කොල්වින්, ඉලංගරත්න, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ දක්වා ප්‍රකට දේශපාලන චරිත සමඟ සමීපව සම්බන්ධතා පැවැත්වීමට මට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ මහින්ද රාජපක්ෂ මහතා සභාපතිව සිටි කාලේ එහි ලේකම් වූයේ මායි. මේ සම්මේලනයේ ක්‍රියාකාරිකයකු වූ ජැක්සන් සේනාරත්න දක්ෂ වොලිබෝල් හා එල්ලේ ක්‍රීඩකයෙක් මෙන් ම පුවත්පත් කලාවේදියෙක්.
“තමුසෙට හොඳට ලියන්න පුළුවන්නේ, කැමැති නැද්ද ‘ඇත්ත’ පත්‍රයට බැඳෙන්න.”
“මම කැමැතියි ජැක්සන් මහත්තයා”
“එහෙනං ‘ඇත්තේ’ රාගම වාර්තාකරු හැටියට ඉල්ලුම් පත්‍රයක් මට ගෙනත් දෙන්න.”
මට ඒ තනතුර ලැබුණා. මගේ පත්‍ර කලා ජීවිතය පටන් ගන්න පදනම දැම්මේ ජැක්සන් සේනාරත්න. ඔහු පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘ. එදා ඔහු සමඟ ‘ඇත්තේ’ සිටි බී.ඒ. සිරිවර්ධන, එච්.ජී.එස්. රත්නවීර, සිරිලාල් කොඩිකාර, නිව්ටන් සෙනෙවිරත්න, බුද්ධිසිරි කීර්තිසේන, යූ.ඊ. පෙරේරා, බෙනට් රූපසිංහ, නිමල් ගුණරත්න, ඩී.බී. ඒකනායක අමරසේකර වැනි ප්‍රවීණයන් මෙන්ම පසුව පත්‍රයට එක්වූ සුනිල් සී. ද සිල්වා, දයා ලංකාපුර, සිරිලාල් චූලවංශ, ජස්ටින් වැලිකන්ද, ගුණසිරි සිල්වා, සුමිත් යහල්මුල්ල, ලලිත් වැලිවිටගොඩ මගේ මාධ්‍ය ජීවිතයේ ආරම්භකයන්.”
දයා සෝමසිරිගේ පත්‍ර කලා ජීවිතයේ වියැකී ගිය සිහිනය ලෙස ඔහු පවසන්නේ, අත ළඟට පැමිණ ආපසු ගිය මාධ්‍යවේදීන්ගේ විශ්‍රාම වැටුප පමණක් නොව මාධ්‍යවේදීන්ට ලබා ගැනීමට තිබුණු වරප්‍රසාද හා තිබුණු අයිතීන් පවා අහිමිවීමය. මේ වනවිට දයා ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස විශාල ඡන්ද ගණනකින් තේරී පත්ව සිටියේය.
“මේ කාලයේ ධර්මසිරි සේනානායක මහතා ජනමාධ්‍ය ඇමැති ලෙස පත්වීම ජනමාධ්‍යවේදීන් හැටියට අප සැලකුවේ අප ලද ජයග්‍රහණයක්, භාග්‍යයක් ලෙසයි. ඔහුගේ සහෝදරයා රත්න දේශප්‍රිය සේනානායක මහතා ලංකාදීප පත්‍රයේ නියෝජ්‍ය කතුවරයෙක් හැටියට කටයුතු කරද්දී පත්‍රවලට ලිව්ව මාධ්‍යවේදියෙක්. ඒ වගේම ඔහු ඇමැතිවරයකු වගේම හොඳ මහත්මයෙක්. අපි ඔහුගෙන් ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම් අතර ජනමාධ්‍ය පුහුණු ආයතනයක් ඇති කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම, මාධ්‍යවේදීන්ට වෘත්තියවේදීන්ගේ තත්ත්වය ලබාදීම ආදි යයි. සංගමයේ වැඩ කටයුතු කිරීමට කොටුවේ ගොඩනැඟිල්ලක් ලබාදීමට ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට පැවරුවා. ක්‍රියාත්මක කිරීමට සැලසුම් සියල්ලන්ටම කණ කොකා ඇඬුවේ ය. හිටි හැටියේ ජනමාධ්‍ය ඇමැතිවරයා මාරු කොට අලුත් ඇමැතිවරයා ලෙස මංගල සමරවීරගේ ආගමනය නිසා මාධ්‍යවේදීන් වෙනුවෙන් කරගෙන ගිය ව්‍යාපෘති ගණනාවක්ම ඇණ හිටියා.“ යැයි දයා කණස්සල්ලෙන් කීවේය.
දයා සෝමසිරි ‘ජන දින’ පත්‍රයට බැඳීමෙන් පසු එහි ඉරිදා පුවත්පත වන ‘ජන සතිය’ පුවත්පතේ සිනමා, කලා, ළමා, නාට්‍ය හා සාහිත්‍ය වැනි විශේෂාංග අංශය භාරව තිබුණේ ඔහුටය. මේ, ඒ ගැන දයාගේ මතකයයි.
“ඒ කාලයේ ‘ජනදින’ නම් සමසමාජ පක්ෂය නියෝජනය කරන පුවත්පතේ සේවය කළ අය අතර ටී.බී. ඉලංගරත්න, පී.බී. අල්විස් පෙරේරා, සුගතමුණි ඥාණසිරි, පියල් වික්‍රමසිංහ, හේම ද සිල්වා, විවියන් ගුණවර්ධන, නිමල් හොරණ, මහින්ද අබේසුන්දර, මියුලන් පෙරේරා, සුගතපාල සෙනරත් යාපා, කරුණාරත්න අමරසිංහ, විමලවීර පෙරේරා, උපාලි රූපසිංහ, දයානන්ද කුමාරදාස, ඉන් කිහිප දෙනෙක්. දවසක් චිත්‍රපට නළු නිෂ්පාදක බැප්ටිස් ප්‍රනාන්දු තවත් චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ නීල් රූපසිංහ සමඟ මා හමුවීමට ආවේ අසාධාරණයක් ගැන රටටම කියන්න යන ඉල්ලීම කරන්නයි.
බැප්ටිස් ගේ ‘ටිකිරා’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත පළමු වැනි ප්‍රදර්ශන මණ්ඩලයෙන් එය ඉවත් කොට ‘පුරන් අප්පු’ චිත්‍රපටය ඒ සඳහා තෝරාගත් බව චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබුණි. ‘පුරන් අප්පු’ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අධ්‍යක්ෂණයක්. නියෝජ්‍ය ඇමැති ටිරෝන් ප්‍රනාන්දු ගේ නිෂ්පාදනයක්. බැප්ටිස් ට වූ මේ අසාධාරණය ‘ජන සතියෙන්’ මම රටටම හෙළි කළා. සංස්ථාව මේ පුවතින් කලබල වුණා. පසුව බැප්ටිස්ගේ චිත්‍රපටය පළමු වැනි ප්‍රදර්ශන මණ්ඩලයේ ප්‍රදර්ශනය වූ අතර ‘පුරන් අප්පු’ තිර ගත කිරීම සඳහා පස් වැනි ප්‍රදර්ශන මණ්ඩලයක් සංස්ථාව ආරම්භ කළා. හොඳ චිත්‍රපට ප්‍රදර්ශන කිරීමේ පරමාර්ථයෙන් ඇරඹූ පස්වැනි මණ්ඩලය බිහිකිරීමට මටත් පුරෝගාමී වන්නට ලැබීම සතුටක්.”
කවි කොළ විකුණන්න ගොස් හොම්බෙන් ගිය හැටි දයා සෝමසිරි විස්තර කළේ ඉතා සැහැල්ලුවෙන් වුණත් එහි යට තිබුණේ පත්‍ර කාරයකුගේ ශෝචනීය කතා පුවතකි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දය උපයෝගී කර ගනිමින් විපක්ෂ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම මෙරට ප්‍රගතිශීලී මෙන්ම මැදිහත් ජනතාවගේ විරෝධයට හේතුවූ කාලයයි මේ. ශ්‍රීලනිප මඟින් පවත්වන රැස්වීම්වලදී සහ ගම්වල ගෙයක් ගානේ යමින් කවි කොළයක් රු. 2 කට අලෙවි කිරීමට දයා සහ රාගම සෝමරත්න බටුවත්ත සහෝදරයා සැලසුම් කර තිබුණත් රජය හදිසි නීතිය පනවා ඒ වෙනුවෙන් පැවැත්වූ විපක්ෂයේ රැස්වීම් අවලංගු කර තිබුණි.
“පැරණි කවි කොළ සම්ප්‍රදායට අනුව තාලයට ගායනා කළ හැකි කවි කොළ අරන් අපි දෙන්නා වේයන්ගොඩ බස් නැවතුම් පළේත්, දුම්රියෙන් බැස එන මගීන්ටත් විකුණමින් සිටින අතර පොලිස් ජීප් රථයක් හිටි ගමන් අප දෙන්නා අසල නතර කළා.
“මොනවද ඔය කොළ?”
“කවි කොළයක්”
“තමුසෙලා දන්නෙ නැද්ද හදිසි නීතිය දාල බව?”
“මේවා නොවික්කොත් අපේ ගෙදර අය බඩගින්නේ මේක අපේ රස්සාව.”
“අද හොම්බෙන් තමයි යන්න වෙන්නේ. නගිනව ජීප් එකට.”
අපි දෙන්නව අරන් ගිහින් පොලිසියේ කූඩුවට දැම්මා. පැයකට පස්සේ ස්ථානාධිපතිගේ කාමරයට ගෙන ගියා.
“මේ කවි කොළය තමුසෙලා කොහෙන්ද ගත්තේ”
“ඕකේ ලිපිනය තියෙනවා. 457, යුනියන් පෙදෙස කොළඹ කියලා.”
“කවුද? කවි කොළය ප්‍රසිද්ධ කළ එක්කෙනා?”
“හෙක්ටර් අබේවර්ධන. ඕකේ නම තියෙනවා. එයා මහජන බැංකුවේ හිටපු සභාපති.”
පොලිස් ස්ථානාධිපති අපෙන් තව ප්‍රශ්න කිහිපයක් අහලා නිදහස් කළා. ඔහු රාගම පොලිසියට මාරුවෙලා එනකොට මම මාධ්‍යවේදියෙක්. ඔහු දෙවැනි වර හමුවූ විට මෙහෙම ඇහැව්වා.
“මට ඔයාව මතකයි...” ඔහු කල්පනා කළා. මම සිද්ධිය මතක් කළා.
“එදා ඔයාලව බේරලා යැව්වේ මම නේද?”
මම සිනාසුණා. ඔහුගේ නම අනුර සේනානායක. පසුව ගායකයෙකු ලෙස ද ප්‍රකට වූ ඔහු බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වුණා. ”
වමේ නායකයන් සිටි වේදිකාවක කතා වාර්තා කිරීමට දයා ගිය අවස්ථාවේ එම වේදිකාවට වෙඩි තබා, බෝම්බ ගැසූ සිද්ධියක් මතක ඇත්තේ ජීවිතයේ නොමැකෙන මතක සටහනක් ද සහිතවය. මේ සිද්ධියෙන් දයා ගේ ඇසකට තුවාල විය. ඔහු ක්ෂණිකව එතැන සිටි දරුවන් ද සමඟ බිම වැතිරී ඇත. ඒ සමඟම දෙවැනි හා තුන්වැනි පිපිරීම් හඬක් ඔහුගේ හිස්වලට ඉහළින් දෝංකාරය දුන්නේය. එක් සහෝදරයෙක් කෑගසන විටයි දයා දැක ඇත්තේ ඔහුගේ නළල පැත්තේ සිට ලේ දහරාවක් ගලා එන බව. මීගමු රෝහලට චිත්‍රපට නිෂ්පාදක පද්මසිරි කොඩිකාර විසින් ගෙන ගොස් ඇත්තේ විජයගේ මෝටර් රථයෙනි. රෝහලේදී වෛද්‍යවරුන් දයාට කියා ඇත්තේ ඇසකට දරුණු ලෙස තුවාල ඇති බවය. එක ඇසක පෙනීම නැතිව ඔහු තම මාධ්‍ය කටයුතුවල දිගටම නියැළුණේය.
“මම 1973දී ලේක්හවුස් එකේ රැකියාවට ගියා. එදා වෙනත් මාධ්‍ය ආයතනවලින් පැමිණි පිරිසක් එහි හිටියා. පෙරමුණේ තිලක, ධර්මසිරි ජයකොඩි, විමලවීර පෙරේරා, දයා නන්ද කුමාරදාස, ධර්මසිරි ගමගේ, උපාලි රූපසිංහ, කරුණාරත්න සපුතන්ත්‍රී, ධනසිරි සූරසේන, ගුණසෝම සමරසිංහ, නිමල් පිටිපන මට මතක් වන නම් ය. මම එදත්, පසුවත් තනතුරු හඹාගෙන ගියේ නැහැ. එහෙත් ‘රිවිර’ ප්‍රවෘත්ති කර්තෘ, ‘සිරිලක’කර්තෘ, ‘ඇස’කර්තෘ, ‘සම සමාජය’ කර්තෘ පදවිවල කටයුතු කළා.” දයා කීවේය.
දයා සෝමසිරි 1948 නොවැම්බර් 09 වැනිදා උපත ලබා ඇත. ඔහුගේ පියා වූ ඇම්. අන්දිරිස් මහතා කලක් හමුදාවේ සේවය කොට පසුව සුළු කර්මාන්ත සංයුක්ත මණ්ඩලයේ සුපර්වයිසර් කෙනෙකු ලෙස කටයුතු කොට ඇත. මව වූ ඩබ්ලිව්. ඇගිනෝනා ගෘහණියෙකි.
දයා හා ජයවතී විවාහ වන්නේ 1971 කැරැල්ල ඔන්න මෙන්න කියා තිබියදීය. කලක් තිස්සේ හැඳින සිටි ජයවතී අදත් දයාගේ අභාග්‍ය සම්පන්න කාලවලදී සෙවණැල්ල මෙන් දිරි දෙමින් සැමියා රැක බලා ගන්නීය. මේ යුවළට දරුවන් හතර දෙනෙකි.
වැඩිමහල් දියණිය ශ්‍යාමලී සමෘද්ධි නිලධාරිනියකි. දෙවැනි දියණිය සමන්මලී ‘දිනමිණ’ ප්‍රවෘත්ති කතුවරියකි. තුන් වැන්නී, නිශාමලී බස්නාහිර පළාත් සභාවේ කළමනාකාර සහායකවරියකි. බාල දියණිය රන්මලී ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ සේවය කරන්නීය. සෞම්‍ය නම් බාල පුතා ග්‍රාම නිලධාරියෙකි. දයා හා ජයවතී යුවළ මුනුපුරන් 4 දෙනෙකුගේ ද මිනිබිරියන් 2 කගේ ද සුරතල් බලමින් රාගම බටුවත්තේ පදිංචිව සිටී.
දයා සෝමසිරි පොත් කිහිපයක්ම ලියා ඇත. ‘අන්න අන්න හඳහාමි’ ළමා කවි පොතකි. ‘1987 ව්‍යවස්ථාව හා කොල්වින්’ දේශපාලන විග්‍රහයකි. ‘රිදී සීනුව’ සහ ‘ගුණ පිරි විජය’ කවි පොත් ය. ‘අහසින් ගිය සන්දන්ත’ ළමා කතාන්දරයකි. ‘නොසිදෙන මතක’ මතක සටහන් පොතකි.
තම පියා ගැන ‘දිනමිණ’ ප්‍රවෘත්ති කතුවරියක වන සමන්මලී ප්‍රියශාන්ති සිළුමිණට මෙසේ කීවාය.
“මුදලට, නිලයට, බලයට වඩා මනුස්සකම උසස් බව මම ඉගෙන ගත්තේ තාත්තාගෙන්. නිලතල ලැබුණත් නැතත් තාත්තා ඉන්නේ පටන් ගත් තැනයි. මම අටලෝ දහම බුදු දහමෙන් උගත්තත් එය අත්විඳින්නේ කොහොමද කියලා ඉගෙන ගත්තේ තාත්තාගෙන්. ඒ සියලු දේට එක සමානව මුහුණදීලා සිනාවෙන් ඉන්න හැටි මම ඉගෙන ගත්තේ තාත්තාගෙන්.
“තමා කරන දේට අවංක වෙන්න. හරි යන්න හෝ වරදින්න හෝ වැඩේ කරන්න. හැම දෙනාටම අවංක වෙන්න. හැකි පමණින් උදව් කරන්න. තමන්ට නැතත් අනුන්ට දෙන්න.”
තාත්තා අපට නිරන්තරයෙන් මේ උපදෙස් දුන්නා පමණක් නොවෙයි ඒ විදිහට ක්‍රියා කරලා ආදර්ශයෙන් පෙන්නුවා. මෙවන් පියෙකු ලැබීම දරුවෙකුට ආඩම්බරයක්.”