මගේ බිරිය අප්සාරි රට වටේ ගිහින් මට දූවරු 24ක් ම හොයලා දුන්නා | Page 3 | සිළුමිණ

මගේ බිරිය අප්සාරි රට වටේ ගිහින් මට දූවරු 24ක් ම හොයලා දුන්නා

- අපි හුස්ම ගන්නෙ, ආදරය කරන්නේ ක්‍රිකට් වලින් 
- ඔව්, අපි ජීවත් වෙන්නේ ක්‍රිකට් වලින් තමයි 

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා මැලේසියාවේ දී ශූරතාව දිනා ගත්තේ ය. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මෙම වසරේ මැද භාගයේ එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා සිටී. මෙම කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න සමඟ ‘ක්‍රීඩා‘ සංවාද ගත වූයේ කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන් හා ඔහුගේ පෞද්ගලික තොරතුරු සාකච්ඡා කිරීම සඳහා ය.

කාන්තා ක්‍රිකට් පුහුණු කිරීම සම්බන්ධයෙන් ඊළඟ සැලසුම කුමක් ද?

අපි ක්‍රීඩිකාවන්ට කෙටි කාලීන වශයෙන් සති 06 ක නිවාඩුවක් දුන්නා. නැවත ක්‍රිකට් පුහුණුවීම් ආරම්භ කරන්නේ පෙබරවාරි 07 දා. අපි පළමුව සිතන්නේ ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධවයි. කොවිඩ් වසංගතය හමුවේ ක්‍රීඩිකා-වන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවත්වාගෙන යන්න තමයි එම නිවාඩුව අපි ඒ අයට දුන්නේ. ඊට පස්සේ මැයි මාසයේ පකිස්තාන් සංචාරයක් තියෙනවා. තව අවුරුදු 03කින් ලෝක ක්‍රිකට් ශුරතාව තියෙ-නවා. ඒ වෙනුවෙන් ඉලක්ක කර ගෙන පුහුණු කටයුතු ආරම්භ කරනවා.

ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් සමඟ සසඳද්දී අපේ අයගේ තත්ත්වය කොහොම ද? 

ඇත්තටම චමරිව ලෝකයේ ඕනම ක්‍රිකට් ලෝලියෙක් දන්නවා. ඇයට හොඳ පිළිගැනීමක් තියෙනවා. ක්‍රීඩා ලෝලීන්ගේ ආදරයට පාත්‍ර වුණු චරිතයක් තමයි චමරි කියන්නේ. එයාට ඕනැම රටකට ගිහින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න මේ වන විටත් හැකියාව තිබෙනවා. ඇය වගේම හොඳට ක්‍රීඩා කරන තවත් ක්‍රීඩිකාවන් අපේ කණ්ඩායමේ ඉන්නවා. ඉදිරියේ දී ඒ අයත් කැපී පෙනේවි. අපේ පන්දු යවන්නියන්, පන්දු රකින්නියන් හා පිතිකාරිණියන් අතර කැපී පෙනෙන කීප දෙනෙක් ම ඉන්නවා.

මැලේසියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දැක්වූ දක්ෂතා ගැන මොකද හිතන්නේ?

එහි දී අපි තරග 4කට මුහුණ දුන්නා. ස්කොට්ලන්තය, මැලේසියා, කෙන්යා යන රටවල් සමග තරග වැදී ජයග්‍රහණය ලබා ගත්තා. අවසන් මහා තරගය බංග්ලාදේශයත් සමග පවත්වා එයිනුත් අපි ජයග්‍රහණය කළා. ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට අපි නෙදර්ලන්තය සමඟ

තරග වැදිය යුතු ව තිබුණා. මේ වන විට අපි ඒ තරග පහම ජයග්‍රහණය කර අවසන්. ඉන්පසු තව කණ්ඩායම් 9ක් සමග ක්‍රීඩා කළ යුතු ව තිබෙනවා. අප්‍රේල්වලින් පසු අඛණ්ඩව අදාළ රටවල් සමඟ තරග වැදීමට සූදානම් විය යුතුයි.

අපේ ක්‍රීඩිකාවන් පිටියට ගෙන්වා ගැනීමේ අභියෝග නැද්ද? විශේෂ-යෙන් ඔවුන්ගේ මවුපියන්ගෙන් මෙන්ම තරුණියන් වශයෙන් ඔවුන්ගේ ආදරවන්තයින්ගෙන් වගේ?

ඇත්තෙන්ම කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය භාරව ඉන්නේ අප්සාරි තිලකරත්නයි. ඈ ලබාගත්තු අත්දැකීම්වලට අනුව ඈත එපිට ගම්මානවල මවුපියෝ කිසිදු පැකිලීමකින් තොරව තම දියණියන් පුහුණුවීම්වලට යොමු කරවනවා. නමුත් කොළඹ ආශ්‍රිත දෙමවුපියෝ සිය දියණිවරු පුහුණුවීම්වලට එවන්න ටිකක් අදිමදි කරනවා. සමහරවිට ඒ ඔවුන් අධ්‍යාපනය මත ම දරුවන් යොමු කිරීමේ බලාපොරොත්තුව නිසා දෝ කියලා මට හිතෙනවා. අපි විශේෂයෙන්ම බලන්නේ කාන්-තාවන්ගේ ආරක්ෂාව. නිවෙසින් පාන්දර පිටත්වන දරුවන් සවස 4.30 හෝ 5.00 වෙන විට නිවාස වලට යවන්නයි අපි උත්-සාහ කරන්නේ. අපේ සැලැස්මට අනුව විනය හා ආරක්ෂාව අපි ඒ අයට උපරිමයෙන්ම සලසලයි තියෙන්නේ. ඈත එපිට දරුවන් පාසල් නියෝජිතවරිය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතවරියකගේ ආරක්ෂාව යටතේ අදාළ නේවාසික ස්ථානයට යොමු කෙරෙනවා. ඒ හැම තැනකම ජීව බුබුළක් තුළයි කටයුතු කෙරෙන්නේ. ඒවා ආරක්ෂිතයි, සුරක්ෂිතයි.

ජාතික මට්ටමේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තුවක් තියනවා. කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ඒ තත්ත්වය වඩා ශක්තිමත් තැනකට ගෙනෙන්න බැරි ද?

ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට කාණ්ඩ 3කට කොන්ත්‍රාත් පදනම ක්‍රියාත්මකව තියෙනවා. ජාතික, නැඟී එන, සංවර්ධනය වන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ එය ක්‍රියාත්මකයි. මේ මෑතක දී ජාතික කොන්ත්‍රාත්තු මිල ගණන් ඉහළ දැම්මා.

පාසල්වල කාන්තා ක්‍රිකට් වැඩි දියුණු කරන්න පාසල් කාන්තා ක්‍රිකට් සංගමය කාලයක් තිස්සේ කතා කරනවා. ඔබ පුහුණුකරුවකු වශයෙන් පාසල් වල කාන්තා ක්‍රිකට් වැඩි දියුණු කරවන්න මොනවද යෝජනා කරන්නේ ?

මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය එකතුව විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කර තියෙනවා. දිස්ත්‍රික් මට්ටමින් මෙන් ම පළාත් මට්ටමින් පුහුණුකරුවන් හොඳ නියාමනයක් පවත්වාගෙන යනවා. පාසල් ක්‍රීඩිකාවන් දිස්ත්‍රික් තරගවලට හා පළාත් තරගවලට යොමුකර දක්ෂ ක්‍රීඩිකාවන් තෝරා ගැනීම් සිදුවෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පාසල් වලට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අවශ්‍ය සියලු ආම්පන්න ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.

ඔබ මීට පෙර චමරි ගැන කතා කළා. අපිට හැමදාම චමරිගෙන් ම යැපෙන්න බෑනෙ. චමරි මතම ඉන්න බැහැ නේ. කොහොමද පසු පෙළක් හදන්නේ?

ඔව්, ඇත්තටම ඔව්. අපේ සංවර්ධ-නයත් සමඟ අපි බලන්නේ චමරිගේ පීඩනය අඩු කරන්නේ කොහොම ද කියලයි. ඇයට තමන්ගේ ක්‍රීඩාව නිදහසේ කර ගෙන යන්න ඉඩ සැලැස්වීමයි. අපේ කණ්ඩායමේ තවත් දක්ෂ ක්‍රීඩිකාවන් ඉන්නවා ඒ අය චමරි ඉවත් වන වෙලාවට ඇවිත් පීඩනය අඩු කළා. එවැනි ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නවා. මට දියණියන් නැහැ. නමුත් මගේ බිරිද අප්සාරි රටපුරා ගොස් ජාතික මට්ටමේ ක්‍රිකට් දියණියන් 24 ක් මා ඉදිරියට ගෙනත් තියෙනවා. ඒ දැරිවියන්ගේ අනාගතය ශක්තිමත් කරද්දී දෙවැනි පෙළක් නිර්මාණය වෙනවා.

ඒ කියන්නේ මහත්තයයි නෝනයි දෙන්නම කාන්තා ක්‍රිකට්වලින් නේද ජීවත් වෙන්නේ?

ඔව්, ඇත්තටම ඔව්. අපි ඉතාම සතුටින් තමයි මේක කර ගෙන යන්නේ. අපි හුස්ම ගන්නෙත් ක්‍රිකට් එක්ක. අපි ආදරය කරන්නේ ක්‍රිකට් එක්ක. දැන් අපිට පුතාල තුන්දෙනෙක් ඉන්නවා. ලොකුපුතා දුලිදු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දවැනියා රවිදු යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ ක්‍රිකට් ක්‍රීඩා කරනවා. පොඩි පුතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 17න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

ඔබටත් කොවිඩ් වැලඳුනා. ඒ මැලේසියා යන්න කලින්. එහෙනම් කොහොම ද ඒක පාලනය කර ගෙන මැලේසියා ගියේ?

මට කොවිඩ් හැදුනේ ජනවාරි 02 දිනයි. මට වෛද්‍යවරු සම්පූර්ණ සහ-යෝගය ලබා දුන්නා. මා ජනවාරි 11 සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් සුවපත්ව ඇතැයි තහවුරු වීමත් සමඟ විවේක ගන්න කියද්දී ක්‍රිකට් තරගය බැලීමට මැලේසියාවට පැමිණෙන ලෙස ක්‍රීඩි-කාවන් ගොඩක් මට කතා කළා. ඒ නිසා මම විවේක නොගෙන මැලේසියා ගියා. ගිහින් අපේ කණ්ඩායම සමඟ ජයග්‍රහණයේ සතුට සජිවී ව අත්දැක්කා. මට ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්.

Comments