ඇඩිලේඩ් හි කෝපි විකුණන කොදෙව්වේ විස්මිත මැජික්කාරයා ඔහු ය කාල් හූපර් | Page 3 | සිළුමිණ

ඇඩිලේඩ් හි කෝපි විකුණන කොදෙව්වේ විස්මිත මැජික්කාරයා ඔහු ය කාල් හූපර්

‘ඔහු ෂේන් වෝන්ට පෙර පිතිකරුවා සමඟ ගැටුමකට ඇමිනුණේ ය. එහෙත් වෝන් මෙන් ප්‍රතිවාදී පිතිකරුවා හා උරණ ලෙස හැසිරෙමින් නොවේ. ඔහුගේ විශාල දෙනෙත් පිතිකරුවාගේ මනස කියැවීමට ඔහු සැමවිටම උපයෝගී කර ගත්තේ ය. යකඩයන් රෑනට බිඳ දැමීමට නොහැකි වන බොහෝ කඩුලු ඔහු බිඳ දැමුවේ ප්‍රතිවාදී පිතිකරුවාගේ මනස මනාව කියැවීමකට ලක්කරමිනි. විටෙක ඔහු එක් අතකට දඟකවන පන්දුව ඊළඟ මොහොතේ ක්ෂණයෙන් අනෙක් පසට කරකවා පිතිකරුවා අන්දමන්ද කළේ ය. අද මෙන් නොව එදා ක්‍රිකට් රිද්මය බොහෝ වෙනස් වූ හෙයින් ඔහු ක්‍රියාවට නැංවූ උපක්‍රම ලෝකයේ ප්‍රබල පිතිකරුවන් දණ ගස්වනසුළු විය. මේ එදා පිටියේ වීරයකු වුව ද මහා නුග ගස් වැනි සුප්‍රකට වේග පන්දුයවන්නන් යට දැවැත් වනස්පතියකු බවට පත්වීමට ඉඩ නොලද එහෙත් සැබැවින්ම විශිෂ්ට ක්‍රීඩකයකු සේ දැක්විය හැකි බටහිර ඉන්දීය කොදෙව්හි කාල් හූපර් සම්බන්ධව ය.‘

විසි වැනි සියවසේ අග භාගයේ ක්‍රිකට් ලොව අතික්‍රමණය කළ ක්‍රිකට් කණ්ඩායමකි බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම. ලොව පළමු එක්දින ලෝක කුසලාන ද්විත්වයටම හිමිකම් කියන්නට සමත් වීම, සුපිරි පිතිකරුවන්, පන්දු යවන්නන් ඇතුළුව අග්‍රගණයේ ක්‍රිකට් පුරාවෘත්ත රාශියක් ලොවට දායාද කිරීම වැනි කරුණු ගණනාවක් නිසා ක්‍රිකට් ලෝකය තුළ ඔවුන් අතිශයින් ම ජනාදරයට පත් විය. ලෝක ක්‍රිකට් භූමිකාව තුළ බටහිර ඉන්දීය කොදෙව් නාමයෙන් බිහි වූ ක්‍රිකට් පුරාවෘත්ත ගණන එකක් දෙකක් නම් නොවේ. එකක් දෙකක් නොවන එම ක්‍රිකට් පුරාවෘත්ත ලැයිස්තුවෙහි කාල් හූපර් ට ද හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.

1966 දෙසැම්බර් මස 15 වැනි දා බටහිර ඉන්දිය කොදෙව් ගයනා හි උපන් කාල් ලෙවල්ලින් හූපර් කුඩා කල සිටම තරමක් සන්සුන් අයකු විය. එම සන්සුන් දිවි

පෙවෙත ඔහු ක්‍රිකට් පිටියෙහි ගෙවූ දශක එකහමාරක කාල පරාසය තුළ ද ඔහු තුළින් මනාව දිස් විණි. හූපර් ගති පැවතුමින් ශාන්ත වූ නමුත් ක්‍රිකට් පිතිකරණයෙන් නම් එතරම් සන්සුන් බවක් ප්‍රකට කළේ නැත. එකල ලොව බිහි වූ ප්‍රවේගකාරී ම පිතිකරුවන් ලැයිස්තුවේ හූපර් නාමය ඉදිරියෙන් ම සටහන් වී තිබිණි. අප මෙම ලිපියට ඇතුළත් කරන්නේ හූපර්ගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂි සිදුවීම් කීපයකි.

උපන් දින තෑග්ග

සිය උපන් දින සැමරුම් අතර 21 වැනි උපන්දින සැමරුම කාල් හූපර්ට අමතක නොවන එකක් විය. ඔහු සිය 21 වැනි උපන් දිනය යෙදුණු 1987 දෙසැම්බර් 15 වැනි දින තම කුලුඳුල් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වෙමින් සිටීම ඊට හේතුවයි. ඉන්දියාව සමඟ පැවැති එම තරගය දෙසැම්බර් 11 වැනි දා ආරම්භ වූ නමුත් වඩාත් ම දෛවෝපගත සිද්ධිය වූයේ හූපර් පළමුවෙන්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ තරගයේ 4 වැනි දිනය වූ සිය උපන්දිනය යෙදුණු දෙසැම්බර් 15 වැනි දා වීම ය.

ලකුණු 5000 - කඩුලු 100- උඩ පන්දු 100.

ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ එක්දින සහ ටෙස්ට් තරග පමණක් පැවැති යුගයක ක්‍රීඩාවෙහි නිරත වූ කාල් හූපර් එම දෙඅංශයෙහි ම අද්විතීය වාර්තාවකට හිමිකම් කියයි. තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස දස්කම් ප්‍රකට කළ හූපර් එක්දින සහ ටෙස්ට් තරගවල දී කඩුලු 100 ක් උඩ පන්දු 100 ක් සහ ලකුණු 5000 සීමාව ඉක්මවා ගිය ලොව පළමුවැන්නා බවට පත් විණි. එක්දින තරගවලදී ලකුණු 5761 ක් කඩුලු 193 ක් සහ උඩපන්දු 120 ක් ද ටෙස්ට් තරගවලදී ලකුණු 5762 ක් කඩුලු 114 ක් සහ උඩපන්දු 115 කට ද හූපර් හිමිකම් කියයි.

අර්බුද මැද සමුගැන්ම

1987 සහ 1992 වසරවල පැවැති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි සඳහා හූපර් සහභාගී වූ නමුත් එහි දී ඔහු දැක්වූ දක්ෂතා ඉතාම අල්ප විය. 1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සංචිතයට ඔහුගේ නම ඇතුළත් කර තිබුණත් ලෝක කුසලාන තරගාවලිය ආසන්න වෙත් ම ඔහු සංචිතයෙන් ඉල්ලා අස් විය. 1999 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ සංචිතයෙන් ද ඔහු ඉල්ලා අස් වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ද දැනුම් දෙමිනි.

සිය පුතුගේ හදිසි රෝගී තත්ත්වයක් වෙනුවෙන් කාලය කැප කරන්නට සිදුව

තිබීම නිසා ඔහු හදිසියේ එම තීරණය ගෙන තිබිණි. නමුත් එපමණක් නොව හූපර්ගේ සමුගැනීමට එසමයෙහි ඔහු බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ඇති කරගෙන තිබූ නොහොඳ නෝක්කාඩුකම ්ද ඉවහල් විණි. 1998 වසරේ දී හූපර් සහ බ්‍රයන් ලාරා ගෙවීම් ප්‍රශ්නයක් මුල් කර ගෙන දකුණු අප්‍රිකානු සංචාරයකින් ඉවත් වන්නට ද කටයුතු කර ඇත.

ඒ අනුව හූපර් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් නමුත් වසර 2කට පමණ පසු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් සමඟ එකතු විය.

2003 ලෝක කුසලාන තරගාවලියට නායකයා වීම

2001 වසරේ හූපර් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයට පුනරාගමනය විය. පුනරාගමනය ඔහුට වඩාත් සුබ වූ අතර ඒ වකවානුවෙහි බටහිර ඉන්දිය කොදෙව් පිලෙහි නායකත්වය ද ඔහුගේ කර මත පැටවිණි. 2003 වසරේ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙහි නායකයා වූයේ ද කාල් හූපර් ය. එහිදී නායකයෙක් ලෙස ඔහු අසාර්ථක වූ අතර කොදෙව් පිලට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ම ඉවත් වන්නට සිදු විණි. 2003 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව හූපර් කොදෙව් පිලේ නායකත්වයෙන් පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද විශ්‍රාම ගත්තේ ය.

පුහුණුකරුවෙක් ලෙස

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් හූපර් පසුව පුහුණුකරුවෙක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට නැවත පිවිසුණි. සීපීල් තරගාවලියෙහි ගයනා වොරියර්ස් කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කලක් කටයුතු කළේ ය. අද වන විට ඔහු සිය බිරිය සහ දරුවන් සමඟ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි කෝපි අවන්හලක් පවත්වාගෙන යමින් සන්සුන් දිවියක් ගෙවමින් සිටී.

 

Comments