අපූරුයි දුලබයි | සිළුමිණ

අපූරුයි දුලබයි

 

මීට වසර ගණනාවකට පෙර ඕස්ට්‍රේලියාවේ තස්මේනියානු ප්‍රාන්තයේ පාසලක් තිබුණේ ය. එම කාලයේ එහි සිටි විදුහල්පතිවරයාට විශාල ගැටලුවකට මුහුණදීමට සිදු වී තිබිණි.

“අනේ මන්දා මේ ළමයි නිසා මට පුදුම කරදරයක් නේ තියෙන්නේ,” හෙතෙම නිතරම සිතුවේ ය. එමෙන් ම සිය සමීපතම මිතුරන්ටත් ඒ පිළිබඳ පැවසී ය. ඒ අතරින් ඇතැමුන් පැවසුවේ “ඔය වයසේ දී ළමයි ඔහොම තමයි” යනුවෙනි. එහෙත් තවත් පිරිසක් විදුහල්පතිට උපදෙස් ලබාදෙනු ලැබූ හ. “පාසලක විනය තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ළමුන් ඉදිරියේ තදින් ක්‍රියා කරන්න” ඔවුහු පැවසූ හ.

එසේ නම් විදුහල්පතිවරයාට සහ ගුරු මණ්ඩලයට ඇති වී තිබුණු ගැටලුව වූයේ කුමක් ද? එය නම් පාසල් කාලය තුළ දී ඇතැම් සිසුන් ඉගෙනීම පසෙක ලා අසැබි ප්‍රකාශන කියැවීමට හුරු පුරුදුවී සිටීම යි.

අවසානයේ දී විදුහල්පතිවරයා තීරණයක් ගත්තේ ය. එනම් අසැබි ප්‍රකාශන පාසල තුළ දී බලන සිසුන්ට එරෙහිව දැඩි ලෙස විනය පියවර ගැනීමට ගුරුවරු ගුරුවරියන්ට අවශ්‍ය උපදෙස් සහ බලතල පැවරීමයි.

දිනක් විනය භාර ගුරුවරයෙක් සිය රාජකාරිය සඳහා පන්තියෙන් පන්තිය පරීක්ෂා කරමින් සිටියේ ය. එක්වරම හෙතෙම පන්තියක් අසල නතර විය. ඔහුගේ උකුසු ඇස් යොමුව තිබුණේ එම පන්තියේ කෙළවරකට වී සිටි සිසුවෙක් දෙසට ය.

එම මොහොතේ දී අදාළ පන්තියේ ගුරුවරයා පාඩමක් උගන්වමින් සිටියේ ය. එසේ වූවත් සිසුවා ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැත. ඔහු කරන්නේ සඟරාවක් කියවීමයි.

එතෙක් පන්තියෙන් පිටතට වී සිටිය විනය භාර ගුරුවරයා වහාම පන්තියට පැමිණ එහි ගුරුවරයා හමු වූයේ ය. පසුව ගුරුවරු දෙදෙනාම සිසුවා වෙතට ගිය හ. මින් කලබලයට පත් සිසුවා වහාම තම අතේ තිබූ සඟරාව අසල තිබුණු සිය පාසල් බෑගයට දැමුවේ ය.

“ඔයා මොනවා ද කරන්නේ? යමු විදුහල්පති ළඟට” එසේ පවසමින් විනය භාර ගුරුවරයා සිසුවාත් ඔහුගේ බෑගයත් රැගෙන විදුහල්පති වෙතට ගියේ ය.

විදුහල්පතිවරයා විසින් බෑගය විවෘත කරනු ලැබිණි. ඔහු ඒ තුළ තිබූ සඟරාවක් පිටතට ගත්තේ ය. එය අසැබි ප්‍රකාශනයක් ද? නැත. එය ක්‍රිකට් ක්‍රීඩා සඟරාවකි. එදා පාසල් පන්ති කාමරය තුළ දී සඟරාවක් හොරෙන් බැලුවේ රිකී පොන්ටිං ය. පොන්ටිං පසු කලෙක ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ට ම පිතිකරුවෙක් පමණක් නොව නායකයකු බවට ද පත් විය.

 

Comments