ෆාබෙස් ආයෙමත් ඇවිදින්? | Page 3 | සිළුමිණ

ෆාබෙස් ආයෙමත් ඇවිදින්?

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරිත්වයට නිත්‍ය පුහුණුකරුවෙක් පත්කරගැනීම සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ වෙනුවෙන් සුදුසුම පුහුණුකරුවා කවුරුන්ද යන්න සෙවීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය දා කටයුතු කළේ ය. මේ අතර වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකා පිලේ හිටපු පුහුණුකරුවකු වූ පෝල් ෆාබේස් යළිත් වරක් එම තනතුරට පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් තැබෙන සටහනකි.'

2014 විස්සයි විස්සයි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලාංකික අපි කාටවත් අමතක නෙවන තරගාවලියක්. අවසන් වරට ක්‍රිකට් ලෝක කුසලානයක පහස විඳගත්තේ ඒ වසරෙයි. ඉතින් ඒ අවස්ථාව අප කෙලෙස අමතක කරන්න ද?

ඒ කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණුකාරිත්වය දැරුවේ පෝල් ෆාර්බේස්. ඔහු 2007 වසරේ ජූලි මාසයේ දී සහය පුහුණුකරුවා වශයෙනුයි ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන්නේ. ඔහු සහය වෙන්නේ එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හෙබවූ ට්‍රෙවර් බේලිස්හටයි.

2012 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු එම තනතුරෙන් හදිසියේ ඉවත් වීමත් සමඟ පෝල් හට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකාර වගකීම පැවරෙනවා. 2014 විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වීම ඔහු තමන් වෙත පැවරුණු නව වගකීම අති දක්ෂ ලෙස ඉටුකළ බවට කදිම සාක්ෂියක්.

කෙසේ නමුත් ෆාබේස් 2014 වසරේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු ධුරය හැර යන්නට තීරණය කළේ ය. ඒ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකාර ධුරයට පත් වෙමිනි.

2019 වසරේ නැවතත් එංගලන්තයට සමු දෙන ඔහු ඒ වන විට හිස්ව පැවති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාර ගැනීමට ද අපේක්ෂාවෙන් පසු වුණේ ය. නමුත් එය අපේක්ෂාවක් පමණක් විණි. කෙසේ නමුත් මිකී ආතර් ගේ සමුගැනීමෙන් අනතුරුව හිස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය සඳහා පෝල් ෆාර්බේස් යළි පත් වන්නට බොහෝ ඉඩ ප්‍රස්ථා ඇතැයි මේ වනවිට ඉඟි පළ වී තිබේ.

කවුද ෆාබේස්?

පෝල් ෆාර්බේස් ක්‍රිකට් ක්‍රීඩාවේ බෞතිස්මය ලබන්නේ එංගලන්තයේ කෙන්ට් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක් ලෙසය. ඔහු ක්‍රීඩා කළේ 1987 – 1995 අතර කාලය තුළය. ඒ පිතිකරුවෙක් මෙන්ම කඩුලු රකින්නෙක් වශයෙනි.

1987 – 1989 අතර කාලයෙහි කෙන්ට් ක්‍රීඩා සමාජයත් 1989 සිට 1995 වසර දක්වා මිඩ්ල්සෙක්ස් ක්‍රීඩා සමාජයත් ඔහු නියෝජනය කළේ ය. ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිකට් ජීවිතය දේශීය ක්‍රීඩා උදෙසා පමණක්ම කැප කළ පෝල් පුහුණුකරුවෙක් ලෙස සමාජගත වන්නේ අනූව දසකයේ අග භාගයේ දී ය. නමුත් විස්මයට කරුණවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ වසර 8 ක අත්දැකීම් සහිත පෝල් මුලින්ම පුහුණුකරුවෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ පාපන්දු ක්‍රීඩාවෙන් වීම නිසාය. ඔහු හැම්ප්ටන් නමැති පාසලක අවුරුදු 15 න් පහළ පාපන්දු පුහුණුකරුවෙක් ලෙස වසර 2 ක කාලයක් කටයුතු කර තිබේ.

ඉන්පසුව තමා ක්‍රිකට් බෞතිස්මය ලැබූ කෙන්ට් සමාජයේ පුහුණුකරුවෙක් වන්නට ඔහුට අවස්ථාව උදා වූයේ ය. එහි ද වසර ගණනාවක් කටයුතු කරන පෝල් 2007 වසරේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා එක් වන්නේ ය.

කෙසේ නමුත් 2009 වසරේ ඔහුට භයංකර අත්දැකීමකට ද මුහුණ දෙන්නට සිදු වූයේ පකිස්තානයේ ලාහෝර් නුවර දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට මැදිවෙමිනි. එහිදී ෆාබේස් ද තුවාල ලැබීය.

කලක් ඔහු කෙන්ට් ක්‍රීඩා සමාජයේ පළමු කණ්ඩායමේ පුහුණුකාරිත්වය දැරූ තර පසුව යෝක්ෂෙයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකාර ධූරයට පත්විණි. 2013 දෙසැම්බර් 20 වැනි දා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූ ඔහු 2014 වසර දක්වාම එම ධුරයේ කටයුතු කළේ ය. ඒ අතර කාලය තුළ ආසියානු ක්‍රිකට් කුසලානය සහ විස්සයි20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව විසින් දිනාගනු ලැබිණි.

එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු වශයෙන් ඔහු ප්‍රධාන පුුහුණුකාර තනතුර හෙබ වූ පීටර් මුවර්ස් ට සහාය විය. 2016 වසරේ දී පීටර් මුවර්ස් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් නෙරපා හැරි අතර එහිදී වැඩ බලන ප්‍රධාන පුහුණුකාර තනතුරට පත් වන්නේ පෝල් ෆාබේස් ය.

ඒ තරග කිහිපයක් උදෙසා පමණි. නවසීලන්තයට එරෙහිව පැවති එක්දින තරගාවලිය එංගලන්තය 3-2 ක් ලෙස ජයගන්නේ ෆාබේස්ගේ පුහුණු-කාරීත්වය යටතේය. ඉන් අන-තුරුව එංගලන්තයේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත්වූ ට්‍රෙවර් බේලිස් ගේ සහාය පුහුණුකරු වන්නට ෆාබේස්ට අවස්ථාව උදා විණි.

2019 වසරේ දී එංගලන්තයේ ක්‍රිකට් පුහුණුකරු වෘත්තියෙන් සමුගත් පෝල් ෆාබේස් වොවික්ෂයර් සමාජ ක්‍රිකට් කණ්ඩායමෙ ක්‍රීඩා අධ්‍යක්ෂක ධූරයට පත් වූයේ ය. එදා මෙදා තුර ක්‍රිකට් පුහුණුකාර ධුරයේ හසල අත්දැකීම් සම්භාරයක් ඇති ෆාබේස් හට ශ්‍රී ලංකාව සමඟ පවතින්නේ ද ගැඹුරු හා සමීප සම්බන්ධතාවයක් බව පැහැදිලිය. එහෙයින් නැවතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සේවය සපයන්නේ නම් එය දුරගමන් සොයන යොවුන් ක්‍රීඩකයන්ගෙන් බහුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ස්ථාවර ගමනක් පිටත්ව යාමට අනර්ඝ ශක්තියක් වන්නට හැක.

 

Comments