දිමුත් පසුකර රූට් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානය දිනයි | Page 3 | සිළුමිණ

දිමුත් පසුකර රූට් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානය දිනයි

 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉකුත් වසරේ එනම් 2021 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පාකිස්තානයේ වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි ද, ක්‍රීඩිකාව වශයෙන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිති මන්දනා ද නම් කළේය. ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්‍රියේ දී අෆ්රිඩිට ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය ද, මන්දනාට රේචල් හේහෝ ෆිලින්ට් සම්මානය ද පිරිනැමෙනු ඇත.

ගෙවීගිය වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය පාකිස්තාන කඩුලු රකින ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් විසින් දිනාගත්තේ ය. ඔහු පසුගිය වසරේ තරග 29 ක දී ලකුණු 1326 ක් රැස් කළේ 73.66 ක කැපී පෙනෙන සාමාන්‍යයක් සහ 134.89 පහර වේගයක් සමඟිනි. ඔහු 2021 විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය අවසන් පූර්ව වටයට යන ගමනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ය,

එම වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත වී තිබූ නාම අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නම ද ඇතුළත්විය. ඊට අමතරව එංගලන්ත කඩුලු රකින පිතිකරු ජෝෂ් බට්ලර් සහ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ද නිර්දේශිත නාම අතරට අයත් වූ හ.

එසේම 2021 වසරේ ටී.20 ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය එංගලන්තයේ ටැමී බෝමන්ට් විසින් දිනා ගත්තාය. ඇය 2021 දී විශිෂ්ට අර්ධ ශතක තුනක් ඇතුළුව තරග 9 ක දී ලකුණු 303 ක සාමාන්‍ය 33.66 ක් ලබා ගත්තා ය. ටැමී බෝමන්ට් 2021 දී එංගලන්තයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූ අතර සමස්තයක් ලෙස තුන්වන වැඩිම ලකුණු ලාභියා විය.

ටෙස්ට් වරම් හිමි නොවූ රටවලට අදාළ වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේ ඕමාන කණ්ඩායමේ නායක සීෂාන් මක්සූඩ් ය. ඉහළම තත්ත්වයේ තුන් ඉරියව් ක්‍රීඩකයා 2021 වසරේ ජාත්‍යන්තර තරග 13 ක දී ලකුණු 316ක් සහ කඩුලු 21 ක් දවා ගෙන තිබෙන්නේ සාමාන්‍යය 18.80 ක් රඳවා ගනිමිනි.

ටෙස්ට් වරම් නොමැති රටවල් අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඔස්ට්‍රියාවේ ඇන්ඩ්රියා මායි ෂිප්‍රෙඩා සම්මාන දිනා ගත්තා ය. ඇය විස්සයි20 තරග අටකදී ලකුණු 361 ක් රැස් කළේ සාමාන්‍ය 51.57ක් සහ 102.55ක ප්‍රහාරක වේගයක් රඳවා ගනිමින් වන අතර එයට එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ඇතුළත් විය.

මේ අතර වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ 26 හැවිරිදි දකුණු අප්‍රිකාවේ ජැනමන් මාලන්ය. ඔහු ජාත්‍යන්තර තරග 17 ක දී ලකුණු 715 ක් රැස් කළේ 47.66 ක විශිෂ්ට සාමාන්‍යයක් සහ 101.85 ක ප්‍රහාරක වේගයක් සහිතවය. පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකා ෆාතිමා සානා සම්මාන දිනා ගත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසයි. සානා 2021 වසරේ ජාත්‍යන්තර තරග 16 ක දී 23.95 ක සාමාන්‍යයකින් කඩුලු 24 ක් දවාගත් අතර සාමාන්‍යය 16.50 ක් රඳවා ගනිමින් ලකුණු 165 ක් ලබා ගත්තා ය.

වසරේ (පිරිමි) ක්‍රිකට් ක්‍රීඩකයා

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය - පකිස්තානයේ ෂහීන් අෆ්රිඩි

වසරේ (පිරිමි) ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා - එංගලන්තයේ ජෝ රූට්

වසරේ (පිරිමි) එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා - පකිස්තානය බාබර් අසාම්

වසරේ (පිරිමි) විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා - පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන්

වසරේ නැගී එන (පිරිමි) ක්‍රිකට් ක්‍රීඩකයා - දකුණු අප්‍රිකාවේ ජැනමන් මාලන්

වසරේ (පිරිමි) ටෙස්ට් නොවන රටවල ක්‍රිකට් ක්‍රීඩකයා - ඕමාන කණ්ඩායමේ නායක සීෂාන් මක්සූඩ්

වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව - රේචල් හේහෝ ෆිලින්ට් සම්මානය - ඉන්දියාවේ ස්ම්‍රිතා මන්දනා

වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව - දකුණු අප්‍රිකාවේ ලිසෙල් ලී

වසරේ කාන්තා ටී.20 ක්‍රිකට් ක්‍රීඩිකාව - එංගලන්තයේ ටැමී බෝමන්ට්

වසරේ නැගී එන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව - පාකිස්තානයේ ෆාතිමා සානා

වසරේ කාන්තා ටෙස්ට් නොවන රටවල කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව - ඔස්ට්‍රියාවේ ඇන්ඩ්රියා -මායි ෂිප්‍රෙඩා වසරේ විනිසුරු - දකුණු අප්‍රිකාවේ මාරයිස් ඉරැස්මස්

Comments