ක්‍රිකට් පිටියේ ගලිවරයා සහ ලිලිපුට්ටා | සිළුමිණ

ක්‍රිකට් පිටියේ ගලිවරයා සහ ලිලිපුට්ටා

 

යෝධ ගලිවරයා සහ කුඩා ලිලිපුට්වරුන් මුල් වරට අපිට හමු වූයේ ගලිවර චාරිකා නමැති මනඃකල්පිත එහෙත් අපූරු නවකතාවෙනි. එය සාහිත්‍ය ලොවට එළි දැක්වූයේ 1726 වසරේ දී ය. එය ලොවට දායාද කළේ අයර්ලන්තයේ ජොනතන් ස්විෆ්ට් (1667-1745) විසිනි.

සැබෑ ලෝකයේ දී ත් ගලිවරයන් සහ ලිලිපුට්වරුන් හමුවෙති. එය ක්‍රීඩා ලොවටත් අදාළ ය. නමුත් එය දුලබ ය. එය දුලබ වන්නේ ගලිවරයන් සහ ලිලිපුට්වරුන් එක ම කණ්ඩායමකට ක්‍රීඩා කරන විට දී ය. එම අතිශය දුලබ දසුන මීට සති කිහිපයකට පෙර දක්නට ලැබිණි. ඒ සංචාරක ඉන්දීය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ය.

බොක්සිං දින ටෙස්ට් තරගය වූ එය පැවැත්වූයේ දෙසැම්බර් 26 සිට 30 දක්වා ය. ඒ සෙන්චුරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගණයේ දී ය. තරගයෙන් ඉන්දියාවට ලකුණු 113 ක පහසු ජයකි.

එසේ වූවත් බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ අවසන් දිනයටයි. එහි දී දකුණු අප්‍රිකානු පරාජය වළක්වා ගැනීමට ගලිවර-යෙක් සහ ලිලිපුට්වරයෙක් උත්සාහ කරන ලදී. දෙවැනි ඉනිමේ දී 08 වැනි කඩුල්ල සඳහා ඔවුහු තණතිල්ල තුළ දී හමු වූහ.

මෙහිදී ගලිවරයා වූයේ නවක ක්‍රීඩක මාර්කෝ යැන්සන්ය. හෙතෙම අඩි 6 අඟල් 8 ක් උසැති දැවැන්තයෙකි. ලිලිපුට්වරයා වූයේ ටෙම්බා බවුමාය. ඔහු අඩි 5 අඟල් 4 ක් උසැතිය. ඒ අනුව මේ වන විට ජාත්‍යන්තරව ක්‍රීඩා කරන උසැතිම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට මාර්කෝ හැඳින්විය හැකි ය. ඒ වගේම බවුමා කුඩාත ම ක්‍රීඩකයින් අතරට නිතැතින්ම එක් වෙයි.

මාර්කෝ යැන්සන්ගේ මංගල ටෙස්ට් තරගයත් මෙය විය. දෙවැනි ඉනිමේ දී හෙතෙම ලකුණු 13 ක් රැස් කර ගත්තේය. ඔහු තවමත් 21 හැවිරිදිය. දකුණතින් පන්දුවට පහර දෙයි. වමතින් වේග පන්දු යවයි. ඔහු තුන් ඉරියව් හපනෙකි.

ටෙම්බා බවුමා 31 හැවිරිදි ය. මෙම දෙවැනි ඉනිමේ දී ඔහු නොදැවී ලකුණු 35 ක් රැස් කර ගත්තේය. ඔහුත් දකුණත් පිතිකරුවෙකි. දකුණතින් මඳ වේග පන්දු යවයි. ඔහු ජාත්‍යන්තරව ක්‍රීඩා කරන්නේ 2014 වසරේ සිට ය. හෙතෙම වත්මන දී එක්දින සහ 20-20 තරගවල දී ජාතික නායකයා ය. ටෙස්ට් තරගවල උපනායකයා ය.

ඔහු සතුව විශේෂ වාර්තා කිහිපයකුත් තිබේ. ටෙස්ට් ශතකයක් රැස් කළ ප්‍රථම කළු ජාතික දකුණු අප්‍රිකානුවා ඔහු ය. එමෙන්ම දකුණු අප්‍රිකානු නායකත්වයට ස්ථීරව පත් කළ ප්‍රථම කළු ජාතිකයාත් ඔහු වේ. තවද තම මංගල එක්දින ජගත් තරගයේදී ශතකයක් රැස් කළ දෙවැනි දකුණු අප්‍රිකානුවාත් ඔහු ය.

 

 

Comments