ත්‍රිත්ව ක්‍රීඩාවට දක්ෂ ත්‍රිත්ව විදුහලෙන් බිහි වූ අභිමානවත් ක්‍රීඩකයෙක් | Page 3 | සිළුමිණ

ත්‍රිත්ව ක්‍රීඩාවට දක්ෂ ත්‍රිත්ව විදුහලෙන් බිහි වූ අභිමානවත් ක්‍රීඩකයෙක්

 

‘දක්ෂ ක්‍රීඩකයන් සොයා පාසල් ක්‍රීඩා පිටිය වෙත යන ‘ක්‍රීඩා’ පුවත්පතේ පියවර යටතේ අප පළමු ව මධ්‍යම පළාත වෙත ගමන් කරද් දී මුලින් ම අපට ලැබුණු හොඳ ම තොරතුර වූයේ මහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනය කරමින් ක්‍රීඩා පිටිය ආලෝකවත් කරන ක්‍රීඩකයකු සම්බන්ධව ය. ඔහු නමින් ෂෙහාන් හසංජ සිරිසෝම ය. මේ ඔහුගේ ක්‍රීඩා ජීවිතය ඇසුරින් තැබෙන සටහනකි.

ෂෙහාන් ඉගෙන ගන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ය. දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසලක් වන ත්‍රිත්ව විද්‍යාලයේ සැබෑ ම ශිෂ්‍යයකු වශයෙන් ඔහුව හැඳින්විය හැකියැයි අපට සිතේ. ඒ ඔහුගේ ක්‍රීඩා දක්ෂතා සම්බන්ධයෙන් අපට ලැබුණු තොරතුරු සමාලෝචනය කරද් දී ය.

‘මම මේ පාර උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. ක්‍රීඩාවයි අධ්‍යාපනයයි සමබරව කරන්න අසීරු වෙන තැන් තිබෙනවා. විශේෂයෙන් රග්බි ක්‍රීඩාවේ නියැළෙ දී පාඩම් අතපසු වෙන්න තියෙන අවස්ථාවන් වැඩියි. ඒත් මම කිසිසේත්ම අධ්‍යාපනය අවතක්සේරුවේ දාන්නේ නෑ. හැකි උපරිම ආකාරයෙන් උසස් පෙළ විභාගය සමත් වන්නයි සැලසුම.’ අප හා සාකච්ඡාවට එළඹෙමින් ෂෙහාන් කීවේ ය.

2002 වසරේ උපත ලබා ඇති ෂෙහාන් පේරාදෙණිය, පහළ ඊරියගම පදිංචිව සිටින අතර ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලබන්නේ ය. 2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔහු එය සමත් වූයේ ඒ සාමාර්ථ තුනක්, බී සාමාර්ථ හතරක් සහ සී සාමාර්ථ දෙකක් හිමි කර ගනිමිනි.

‘මට ක්‍රීඩාව වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරන්න සිද්ධ වුණා. ඇත්තම කියනවා නම් මගේ වැඩි නැඹුරුව ක්‍රීඩාව බවට පත්වද්දී අධ්‍යාපනය යම් පමණකට පැත්තකින් තැබුවා. නමුත් ඒක මගේ සාමාන්‍ය පෙළ විභාගයට බලපෑමක් වෙන්න මම ඉඩ දුන්නේ නෑ. කොහොමත් අපේ විදුහල තුළ ලබා දුන්නු අධ්‍යාපනය මට සැලකිය යුතු ප්‍රතිඵලයක් මත සාමාන්‍ය පෙළ විභාගය සමත් වන්නට උපකාර වුණා. ඒ නිසා මට ඉංග්‍රීසි, ඉතිහාසය හා සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය කියන විෂයන්ට විශිෂ්ට සාමාර්ථ ගන්න හැකි වුණා. බුද්ධාගම, සිංහල භාෂාව හා සාහිත්‍යය, විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන් වෙනුවෙන් බී සාමාර්ථත් ගණිතය හා චිත්‍ර කියන විෂයන් දෙකට සී සාමාර්ථත් ලබා ගනිමින් උසස් පෙළ කරන්න සුදුසුකම් ලබා ගත්තා. එතැන දී මම උසස් පෙළ විභාගයේ දී තෝරාගත්තේ වාණිජ්‍ය විෂය ධාරාව හදාරන්නයි.’ ෂෙහාන් ක්‍රීඩා වෙත පැවසුවේ ය.

ඒ අනුව ඔහු ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය හා ආර්ථික විද්‍යාව යන විෂය ධාරාව යටතේ මෙම වසරේ දී උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත ය. ෂෙහාන් ත්‍රිත්ව විද්‍යාලයේ ත්‍රිත්ව ක්‍රීඩා වීරයා වන්නේ රග්බි, මලල ක්‍රීඩා හා පිහිනුම් යන ඉසව් ත්‍රිත්වයෙන් ඔහු දක්ෂතා දැක්වීම නිසා ය. ඒ අතරින් ඔහු මූලිකව ම සිදු කරන ක්‍රීඩාවන් ද්විත්වය වන්නේ රග්බි හා මලල ක්‍රීඩා ය. දෙවැනි ක්‍රීඩාව ලෙස පිහිනුම් ක්‍රීඩාවේ නිරත වේ.

සමස්ත ලංකා පාසල් වර්ණ ප්‍රදානයේ දී 2019 වසරේ වර්ණලාභියකු බවට පත්වන්නට ෂෙහාන්ට හැකි වූයේ මෙම ක්‍රීඩා දක්ෂතාවය හේතුවෙනි. එසේම 2017 වසරේ ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ වර්ණ ලාභියකු වීමට ද ඔහුට හැකි විණි. ඊට පෙර කලාප වර්ණ ලාභියකු වශයෙන් ෂෙහාන් තෝරාගනු ලැබුණේ මධ්‍යමපළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016 වසරේ දී ය.

ත්‍රිත්ව විද්‍යාලයීය සම්මාන

දිවයිනේ ජනප්‍රිය පාසලක් වන ත්‍රිත්ව විදුහල 2012 වසරේ දී ඔහුගේ ක්‍රීඩා දක්ෂතා අවබෝධ කර ගනිමින් විශිෂ්ටත ම කනිෂ්ට ක්‍රීඩක සම්මානයෙන් ඔහුව පුදනු ලැබුවේ ය. එය අන්තර් මධ්‍ය වයස් කාණ්ඩයේ විශිෂ්ටත ම ක්‍රීඩක සම්මානයට තෝරාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 15 ක් විය.

මේ අතර රග්බි ක්‍රීඩාවේ විශිෂ්ට දක්ෂතා පළ කරන ක්‍රීඩක-යකු වශයෙන් ඔහු 2017 වසරේ දී අවුරුදු 16 න් පහළ සමස්ත ලංකා රග්බි තරගාවලියේ දී තරගාවලියේ වීරයා බවට පත්වීම සිහිපත් කළ යුතු ය. එසේම උස පැනීමේ ඉසව්වෙන් 2019 වසරේ මධ්‍යම පළාත් තරගාවලි වාර්තාවට හිමිකම් කියන්නේ ද ෂෙහාන් ය. එසේම 2016 වසරේ දී ඔහු නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමින් එම තරගාවලිය ජයගනු ලැබීය.

ෂෙහාන් ලැබූ ජයග්‍රහණ අතුරින් 2011 වසරේ මධ්‍යම පළාත් පිහිනුම් ශූරයා වන්නටත් ඔහුට හැකි විණි. ත්‍රිත්ව විදුහලේ වඩා ජ්‍යෙෂ්ටත ම ක්‍රීඩකයා වශයෙන් සැලකෙන්නේ ද ඔහු ම වීම විශේෂත්වයකි. පාසල තුළ විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් කැපී පෙනෙන ඔහු නායකත්වයේ දක්ෂතා නිරන්තරයෙන් ප්‍රකට කරණ ක්‍රීඩකයෙකි. එකී නායකත්වය ක්‍රීඩා ක්ෂේත්‍රයේ දී පමණක් නොව පාසල් කනිෂ්ට ශිෂ්‍ය නායකයකු වශයෙන් ද කටයුතු කරමින් ඔහු ප්‍රකට කර තිබේ.

පිහිනුම් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු පාසල් ජීවිතය තුළ සම්බන්ධ වී තිබෙන්නේ 2008 වසරේ සිට ය. ඒ ඔහුට යන්තමින් අවුරුදු හයක් වද්දී ය. ක්‍රීඩාව කෙරේ ෂෙහාන් සතු ආදරය එමඟින් මොනවට පැහැදිලි කරවයි. පසුපස ආර ඉසව්වෙන් පිහිනුම් ජයග්‍රහණය වාර්තා කළ ඔහු එය ක්‍රීඩාව ඇරැඹි පළමුවැනි වසරේ දී ම එනම් 2008 වසරේ දී ආරම්භ

කළේ ය. ඊට පසු වසරේ ඩොල්ෆින්, ළය ආර ඇතුළු ඉසව්වන්-ගෙන් දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට ඔහුට සිදු වුණේ ය. මේ ආකරයෙන් මෙතෙක් පැමිණි ක්‍රීඩා ගමන් මගේ ෂෙහාන් තැබූ මං සලකුණු සුවිශාල ය. ඒවා අනාගතයේ ක්‍රීඩාව තුළින් විශිෂ්ටත්වයට පත්විය හැකි ක්‍රීඩකයකුගේ පෙර මඟ ලකුණු පළ කරන බව පිළිගත හැකි ය.

පොතට සිර නොවී සමාජය තුළ මුහුණ පෑමට ඇති තරගකාරිත්වය, එකිනෙකා පරයා යන්නට උත්සාහ ගන්නා සටන වෙනුවට ජය, පරාජය සමව ඉවසන අටලෝ දහමෙන් කම්පා නොවන මනා පෞරුෂයකින් හෙබි පුද්ගලයකු බවට පත්වන්නට හැකි වීම ෂෙහාන් ක්‍රීඩාව ඔස්සේ වගා කර ගත් විශිෂ්ටත්වයකි. තමන්ට නොලැබෙන දේ හෝ ලැබීමට තිබී ලැබී නැති කිසිවක් සම්බන්ධයෙන් කිසිවකු හා උරණ නොවන ඔහු ගුණධර්ම තමන්ගෙන් තම පාසලටත්, තම පවුලට, සමාජයටත් ලබා දීමේ අරමුණින් යුතුව කටයුතු කරන සැබෑ ‘ත්‍රිත්ව’ පුත්‍රයකු ලෙස දැක්විය හැකි ය

‘මට උවමනා යහපත් මනුෂ්‍යයෙක් වෙන්න. ක්‍රීඩාවෙන් මා උගත්තේ ඒ දේයි. ඉදිරියටත් ක්‍රීඩා කරන්න අපේක්ෂා කරනවා. මෙවර උසස් පෙළ විභාගයට මම පෙනී සිටිනවා. එතැනදී පාසල වෙනුවෙන් පාසලේ ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් කළ යුතු යුතුකම් සඳහා මම ගොඩාක් ඉදිරිපත් වුණා.’ ඔහු සිහිපත් කරන්නේ සතුටිනි. මේ කැපකිරීම්හි විශාලත්වය ඔහු ප්‍රකට කළේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආසන්නව තිබියදීත් පාසල් රග්බි කණ්ඩායම නියෝජනය කරන්නට කාලය වෙන් කර ගන්නට තරම් ඔහු නිරහංකාර වීම නිසා ය. එය තමන්ගේ අධ්‍යාපනය අභියෝගයට දමා ගැනීමක් වුව ද ඔහු තමන්ගේ අධ්‍යාපනයට ආදරය කරන්නේ යම් සේද පාසලට හා පාසලේ ක්‍රීඩාව වෙනුවෙන් ලබා දෙන දායකත්වයද එකසේ වැදගත් භාවයක් ඇති බව ප්‍රකට කළේ එසේය. ෂෙහාන් වැනි ක්‍රීඩකයන් විශිෂ්ට මානව සමාජයීය සමාජයක් නිර්මාණය කිරීමේ අනාගතය වෙනුවෙන් බිහිවූ අපූරු ක්‍රීඩාශීලි දරුවන් ය. අපි ‘ක්‍රීඩා’ පුවත්පත වෙනුවෙන් මෙවැනි විශිෂ්ට දරුවන්ගේ අනාගත ජීවිතයට සුබ පතන්නේ එළඹෙන කඩඉම් විභාග ද උපරිම ජයග්‍රහණයන්ගෙන් සරසා ගන්නට ඔහුට චිත්ත ධෛර්යය ලැබේවා යන ප්‍රාර්ථනය ද පෙරදැරිව ය.

 

Comments