
මේ මස 21 වැනිදා යළි පාසැල් අදියර 4 ක් යටතේ විවෘත කිරීමට නියමිත කාරණය සහ ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවට ආණ්ඩුව ලබා දී තිබෙන විසඳුම ගැන පසුගිය දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමු විය.
ඇමෙරිකානු සංචාරය නිසා පසුගිය සති දෙකක ම කොවිඩ් කමිටුවේ රැස්වීමට සහභාගී වන්නට ජනාධිපතිවරයාට නොහැකි විය. එහෙත් පසුගිය සතිඅන්තයේ පැවැති කොවිඩ් රැස්වීමට ජනාධිපතිවරයා ඉතා උනන්දුවෙන් සහභාගී විය.
එන්නත්කරණය ගැන දැඩි උනන්දුවක්
ජනාධිපතිවරයා මෙහිදී ඉතා උනන්දුවෙන් විමසා සිටියේ මේ වන විට රට පුරා එන්නත්කරණය සිදුවී තිබෙන ආකාරය ගැන තොරතුරු ය.
ඒ සම්බන්ධයෙන් තොරතුරු සියල්ල භාරව සිටිය නිලධාරියා වගු හා ප්‍රස්තාර දිගහරිමින් ගණන් මිනුම් පෙන්වා දෙමින් ඒ පිළිබඳව හොඳ විස්තරයක් කළේය.
"මට දැනගන්න ඕනේ පිටපළාත්වල කොහොමද මේ එන්නත්කරණය සම්බන්ධයෙන් දැන් තියෙන අලුත් තත්ත්වය කියන එකයි."
මෙම රැස්වීමට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු ද පැමිණ සිටියහ.
මේ නිලධාරීතුමා කරපු විස්තර කිරීම් ගැන ඕගොල්ල එකඟයි ද ඔය කියන තරම් හොඳින් ඔයගොල්ලොන්ගේ පළාත්වල එන්නත්කරණය වෙලා නම් හොඳයි. එකඟයිද මේ කතාවට.
"මාතර සංඛ්‍යා ලේඛන ගැන නම් අඩුපාඩු කීපයක් තියෙනවා. සමස්තයක් හැටියට ගත්තම. තොරතුරු හරි. දකුණේ අධ්‍යක්ෂවරයා කීවේය.
ඉන් අනතුරුව සියල්ලෝම කතාබහ කළේ 20 - 30 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස එන්නත්කරණය සම්බන්ධයෙන් දැක්වූ අඩු උනන්දුව ගැනය.
මේ ගොල්ලන්ව එන්නත්කරණයට යොමු කරන්න උදව් අරගන්න ඒ පළාතේ පී එච් අයිලා. පළාතේ සුව නිලධාරිනියන් යොදාගෙන මේ වැඩේ සම්පූර්ණ කරන්න බලන්න" ජනාධිපති උපදෙස් දුන්නේය.
ඇල්ලේ ගුණවංශ හිමි හමුවන්න ජනපති යයි
පසුගිය බ්‍රහස්පතින්දා සවස 4.30ට පමණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට පැමිණියේය. ඒ එහි අධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වීමටය. එම සාකච්ඡාව පැය 3කට ආසන්න වේලාවක් සුහද අයුරින් පැවැත්වී තිබේ.
රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදි. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එය ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඊට අමතරව රටේ ආර්ථිකය, දේශපාලනය, කොවිඩ්වලින් පසු තත්ත්වය, එන්නත්කරණය හා ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මෙම සාකච්ඡාව ජනාධිපතිවරයා හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අතර පමණක් සිදුවී තිබීම විශේෂත්වයකි.
අනුරාධපුරයේදී හිමිනමකට පොරොන්දුවක්
ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සර උත්සවය මෙවර සමරන්නට සූදානම් කර තිබුණේ අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තුවේ මූලස්ථානයේ දී ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ හේතු කීපයක්ම නිසා මේ උත්සවය ගජබා මූලස්ථානයේ පවත් වන්නට තීරණය කළේද මීට මාස කිහිපයකට පෙර සිට ය.
උත්සවය යෙදී තිබුණේ 10 වැනි ඉරිදා උදේ 9.00 සිට බැවින් ජනාධිපති ගෝඨාභය ඊට කල්වේලා ඇතිව සහභාගී වන්නට සූදානමින් සෙනසුරාදා හවස අනුරාධපුරය බලා පිටත්ව ගියේය. ටිකක් නිවිහැනහිල්ලේ උඩමලුව හා රුවන්වැලිසෑය වැඳපුදාගන්න ජනාධිපතිවරයාට අවශ්‍ය විය.
ඒ අතර එම යන ගමනේදී සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන්නට ද ජනාධිපතිවරයා අමතක කළේ නැත. සඳහිරු සෑය ඊළාම් යුද්ධය අවසන් කර, එම යුධ ජයග්‍රහණය සමරනු වස් ඉදි කරන්නට පටන්ගත් ස්තූපයකි. පසුගිය කාලයේ එහි ඉදිකිරීම් කටයුතු ගැන සොයා බලන්නට ජනාධිපතිවරයාට නොහැකි විය. මේ අවස්ථාව ඒ සඳහා යොදා ගන්නට ජනාධිපති කල්පනා කළේ ඒ නිසාය. මම ඊයේ රෑ රුවන්වැලිසෑය වඳින්න ගිය වෙලාවේ මට මුණ ගැසුණා තරුණ හාමුදුරු නමක්. උන්වහන්සේ එක්ක මම කතා කළා. උන් වහන්සේ හරි අපූරු කතාවක් කිව්වා.
"ඔබතුමා බලයට පත්වුණාට පස්සේ මේ රට එක රටක් එක නීතියක් යටතට ගනී කියලා අපි හිතුවා. කෝ තාම එහෙම වෙලා නෑ."
"මම උන්වහන්සේට පොරොන්දු වුණා ඉදිරි කාලය තුළ අපි එහෙම කරනවා කියලා. ඉදිරි කාලය තුළ අපි ඒ පිළිබඳව කැප වෙලා වැඩ කරනවා. රටට එක නීතියක් හඳුන්වලා දෙනවා වගේම ඒ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා.
උත්සව සභාව ඇමතීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සෙසු අමුත්තන් සමඟ හමුදා මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක් වූයේය. නව පරිපාලන ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීමක් ද එම අවස්ථාවේ සිදු විය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩාංගණය විවෘත කරන අවස්ථාවේදී එම ක්‍රීඩාංගණයට අවශ්‍ය ක්‍රීඩාගාරය සඳහා මුල්ගල් තැබීමක් ද සිදු විය. එම අවස්ථාව සනිටුහන් කරමින් යුද හමුදාවේ ඒකක දෙකක් අතර සුහද ක්‍රිකට් තරගයක් ද සිදුවිය.
ක්‍රිකට් තරගය සඳහා ගජබා රෙජිමේන්තුව එක් පැත්තකිනුත් පොදුවේ යුද හමුදා කණ්ඩායම තව පැත්තකිනුත් සහභාගි වූහ. මෙහිදී ගජබා හමුදා කණ්ඩායම තිසර පෙරේරා විසින් මෙහෙයවන ලද අතර පොදු හමුදා කණ්ඩායම අජන්ත මෙන්ඩිස් ගේ නායකත්වයෙන් ක්‍රීඩා කළහ.
ජනපති ක්‍රිකට් ගසමින් කීවේ මොනවාද?
ජනාධිපති ගෝඨාභය ද මෙම අවස්ථාවේ ක්‍රිකට් පිත්තක් අතට ගෙන පන්දු කීපයකට පහර දෙමින් ක්‍රීඩකයෝ උද්යෝගිමත් කළහ.
ජනාධිපතිවරයා සෑහෙන කලකට පසුව ඉතා නිදහසේ සැහැල්ලුවෙන් සිටින ආකාරය බොහෝ දෙනාගේ නිරීක්ෂණයට හසු විය.
උත්සවයට පැමිණ සිටි පැරණි හමුදා නිලධාරීහූ බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාගේ සමකාලීන මිතුරෝ වූහ.
"මට මේක ඇතුළට ආවම දැනෙන්නේ මගේ මහ ගෙදරට ආව වගේ. ජනාධිපතිවරයා කියද්දී ගජබා රෙජිමේන්තුවේ ම සෙසු සමකාලීන නිලධාරීන් අතීතය මතක් කරමින් බොහෝ විස්තර පවසන්නට වූහ.
ගජබා රෙජිමේන්තුව හදන්න මේ ඉඩම තෝරා ගන්නත් මං මැදිහත් වුණා. ජනාධිපතිවරයා තවත් රහසක් අනාවරණය කළේය.
නිරීක්ෂණ චාරිකාව අතරතුර ගජබාවේම හිටපු අණදෙන නිලධාරීවරයකු වන මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුවිය. යුද හමුදාවේ 72 වැනි සංවත්සර උත්සවය මේ ආකාරයෙන් උදය වරුවේ පැවති උත්සව සභාවට පමණක් සීමා වූයේ නැත. වැඩසටහන් එදින රාත්‍රී වනතුරු ද පැවැත්විණි.
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පසුගිය (12) දින පස්වරුවේ ගුරු - විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය. වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති එදිනට දින 93 ක් පුරා මෙම අරගලයේ නිරතව සිටියි. අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමට මැදිහත් වූ අග්‍රාමාත්‍යතුමා අද දිනයේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට කැඳවා මෙම විසඳුම් යෝජනාව ඉදිරිපත් කළේය.
ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක එකවරම 2023 වර්ෂයේ අය වැය මඟින් එම වසරේ දී ද ලබාදීමටත් මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් යෝජනා කළේය.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුව පිළිබඳව රජය සංවේදි වන බවත් වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව තමන් පිළිගන්නා බවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පැවසීය.
කොවිඩ් - 19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම් සීමා වීම නිසා එකවර මෙම ඉල්ලීම් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍යතුමා පැවසීය.
වෘත්තිය සමිතිවලින් අගමැතිට පැසසුම්
දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යාමේ අවශ්‍යතාව මත රජය මෙම විසඳුම් යෝජනාව හෝ ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ පැවසීය.
2021.08.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කළ තීරණ ද ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. ඒ අනුව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06 ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද මෙම හමුවට වැඩම කර සිටීම ද විශේෂත්වයකි.
අග්‍රාමාත්‍යවරයාගේ විසඳුම පිළිගැනීමට නොහැකි බවට ඇතැම් වෘත්තීය සමිති නියෝජතයන් ප්‍රකාශ කළ ද තවත් වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටින්නේ කොවිඩ් ලෝක වසංගතය හේතුවෙන් රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක දී අසීරුවෙන් හෝ මෙවැනි විසඳුමකට අග්‍රාමාත්‍යවරයා යොමු වීම ප්‍රශංසනීය කාරණයක් බවයි.
ඇමති බැසිල් මේ දිනවල පෙරළන පොත්?
සමාන්‍යයෙන් පොත් පෙරළනවා යනුවෙන් යම් කෙනෙකුට ප්‍රකාශ කරනු ලබන්නේ එම පුද්ගලයාගේ සූදානම් වීම පිළිබඳවයි.
තමන්ගේ පළමුවැනි අය - වැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ දිනවල සූදානම් වෙමින් සිටී. නොවැම්බර් මස 12 වැනිදා 2020 සඳහා වන අය - වැය පාර්ලිමේන්තුවට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොවිඩ් ලෝක වසංගතය හේතුවෙන් ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව තිබීම හේතුකොට ගෙන මෙවර අය - වැය කුමන ආකාරයක් ගනීද? බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් එම අභියෝගයට කෙසේ මුහුණ දේවිද? යන කාරණය දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී තිබේ.
කොවිඩ්වලින් ඇතිවූ ආර්ථික අර්බුදයකට වසංගතයකින් මුහුණ දෙමින් රටේ ආර්ථික ශක්තිමත් කිරීමටත් ජනතාවට යම් සහන සැලසීමටත් ආර්ථික වර්ධන වේගය ඇතිකොට අය - වැය පරතරය අවම කිරීමත් තමාගේ ඉලක්කය බවත් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ සියලුම මාධ්‍ය ලේකම්වරුන් සමඟ පැවති හමුවකදීය.
"මං මේ දවස්වල අය - වැය කතා කිහිපයක්ම කියෙව්වා. ජේ.ආර්. ජයවර්ධනයන්ගේ මුදල් ඇමති ලෙස අය - වැය ඉදිරිපත් කළාට පසුව මේ රටේ හර්තාලයක් ඇතිවුණා. මං හිතන්නේ 53 හර්තාලය.
1960 ගණන්වල පීලීක්ස් ඩයස් බණ්ඩාරනායකයන් මුදල් ඇමති ලෙස අය - වැය ඉදිරිපත් කළාට පසුවත් රටේ ප්‍රශ්න වගයක් වැඩිවුණා.
මං ඒ අය - වැය කතා කියෙව්වා. මං අය - වැය ඉදිරිපත් කළාට පස්සේ රටේ එහෙම තත්ත්වයක් ඇති නොවෙන්නයි මං අය - වැය ඉදිරිපත් කරන්නේ.
ජේ.ආර්. ජයවර්ධනගේ අය - වැය ඉදිරිපත් කළාට පසුව රටේ හර්තාලයක් ඇතිවුණා. පීලීක්ස් ඩයස් බණ්ඩාරනායක අය-වැය ඉදිරිපත් කළාට පස්සේ මුදල් ඇමතිකමෙන් යන්න වුණා. ඒවා ගැනන් අවධානය යොමු කරන්න ඕන නිසා මං ඒ අය - වැය කතා කියෙව්වා."
2022 අය - වැය වෙනුවෙන් මෙම හමුව සංවිධානය කර තිබිණ.
මැතිවරණය ගැන බැසිල්ගෙන් ඉඟියක්
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ අය - වැය කතාත් මං කියෙව්වා. රජය ආයෝජනය කරන රාජ්‍ය ආයතනවලින් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැතිනම් ඒකත් ගැටලුවක්.
එදා ඇන්.ඇම්. පෙරේරා ඒක එක විදියකට තිබුණා නම් අද මං මුදල් ඇමතිවෙලා ඉන්නකොට ඒ කාරණය දහ ගුණයක් වෙලා තියෙනවා. ඒ අභියෝගය ජයගැනීමටත් අපි අවධානය යොමු කරනවා. අපේ ආණ්ඩුව හැමදාමත් දේශීය සම්පත් සුරැකපු ආණ්ඩුවක්." යනුවෙන් ද බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
ඇන්.ඇම්. පෙරේරා මුදල් අමාත්‍යවරයා වශයෙන් යම් දර්ශනයක් ඇතුව අය - වැය ඉදිරිපත් කළ බව ඇන්.ඇම්. පෙරේරා මුදල් අමාත්‍යවරයාගේ අය - වැය කතාවලින් පේනවා." යනුවෙන් ද බැසිල් රාජපක්ෂයන් කියා සිටියේය.
මෙහිදී දේශපාලන කරුණු කිහිපයක් ගැන ද කතාකළ බැසිල් රාජපක්ෂ කියා සිටියේ ඉදිරියේදී ද පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකින් ජයග්‍රණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවත් ඒ සඳහා සංවිධාන කටයුතු දැන් සිටම ක්‍රියාත්මක කරන බවයි.
පොහොට්ටුවේ සහෝදර දේශපාලන පක්ෂ සමඟ එකට එක් වී ගමන් කිරීමට කටයුතු කරන බවත් දේදුන්නේ ලස්සන පවතින්නේ විවිධ වර්ණ නිසා බවත් පොහොට්ටුවේ ද සහෝදර පක්ෂ සමඟ එක්ව ගමන් කරනු ලබන්නේ එවැනි ගමනක් බවත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ප්‍රකාශ කරන විට ඊට මාධ්‍ය ලේකම්වරුන්ගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නිතීඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
සජිත්ගෙන් “ගොවි හද ගැස්ම”
සජබ, බිමේ දේශපාලනය අරඹමින් විපක්ෂ නායක සජිත් ලුණුගම්වෙහෙරේ දී "ගොවි හද ගැස්ම" හරහා ගොවි ගැටලුවලට මැදිහත්වීම ඇරඹීය.
පසුව නොච්චියාගම, එප්පාවල හා බද්දේගම වඳුරඔ දී ද එය ක්‍රියාත්මක කෙරිණ. ගොවීන් පොහොර නැතිකමින් කේඩෑරි වූ වගාව ගෙනවිත් පොළොවේ ගසා ආණ්ඩුවට ශාප කළහ.
සැත්කමට බඳුන්වූ හරීන් යළි නිවසට පැමිණි පසු සැත්කමට අදාළව වීඩියෝවක් අන්තර් ජාලයට මුදාහැරි අතර එය බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළක් එක්කළ සංවේදී නිර්මාණයක් විය.
සජබ පක්ෂ නායක රැස්වීම කෝට්ටේ දී සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඉදිරි දේශපාලනය ගැන තීන්දු රැසකට එළඹිණ. "ඡන්දයකට ආණ්ඩුව බයයි.
ඉන්දියාවේ බලපෑමට හෝ පළාත් සභා තිබ්බොත් අපි ලොකු පිම්මක් පනින්න ඕනෑ" කිරිඇල්ල කීය. "ඉහළින් දිනන වැඩ පිළිවෙළකට යා යුතුයි. ජනතාවට ආණ්ඩුව තිත්ත වෙලා ඉන්නේ" සජිත් කීය.
රනිල් දිගටම ප්‍රතිසංවිධානයේ
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පසුගිය අඟහරුවාදා සවස සිරිකොත දී පැවැත්විණි. රුවන්, වජිර, රංගේ, අකිල, සාගල, ශමල් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර පක්ෂයේ ඉදිරි උපායමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් ඔවුහු සාකච්ඡා කළහ.
ප්‍රතිසංවිධාන වැඩසටහන පිළිබඳව දැනුම්වත් කරන තවත් රැස්වීමක් බදාදා උදේ බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක අජිත් අසේලගේ නිවසේදී පැවැති අතර වජිරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙම රැස්වීමට අම්බලන්ගොඩ සහ බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසවල එජාප ක්‍රියාකාරීන්ද සහභාගී කරවාගෙන තිබිණි.
රාජිත - වජිර හමුවක්
මේ අතර බ්‍රහස්පතින්දා සවස වජිර බොරැල්ල ජයරත්න මල් ශාලාවට පැමිණියේ අභාවප්‍රාප්ත සිය දිගුකාලීන මාධ්‍ය සගයකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායකගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය.
දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් මුණ ගැසුණු වජිර ඔවුන් සමඟ සාකච්ඡා කර සිය ශෝකය පළ කළේ වසන්ත ප්‍රිය රාමනායක සහ තමා අතර පැවැති දිගු කාලීන මිතුදම සිහිපත් කරමිනි.
අනතුරුව දේහයට ගෞරව කිරීම සඳහා පැමිණ සිටි දොස්තර රාජිත සේනාරත්න වජිරට මුණ ගැසිණි.
"ඉතින් කොහොමද වජිර" යැයි පවසමින් රාජිත එහිදී කතාවට මුල පිරුවේය. රටේ උද්ගතව තිබෙන වත්මන් දේශපාලන, ආර්ථික තත්ත්වයන් මෙන්ම ඉදිරි සැලසුම් හා ක්‍රියාමාර්ග පිළිබඳව දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැත්විණි.
දිනේෂ් සහෝදර පක්ෂ සමඟ
මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව, පක්ෂ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මහරගම පිහිටි පක්ෂ මූලස්ථානයේ දී පසුගිය රැස්විය.
රටේ අනාගතය වන ලක්ෂ හතළිස් හයක් වූ සිසු දරු පරපුර සඳහා අධ්‍යාපනය යළි යථාවත් කරමින් පාසල් නැවත ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ ගැන ද මෙහි දී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කළ අතර අධ්‍යාපන අමාත්‍යවරයා වන පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන ඒ ගැන මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
"මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ" සභාපතිවරයා ලෙස සභානායක දිනේෂ්, නව මිශ්‍ර ඡන්ද ක්‍රමයක් වෙනුවෙන් කරගෙන යන වැඩපිළිවෙළ තවත් මාතෘකාවක් විය.
"ආණ්ඩුවේ සහෝදර පක්ෂ සමඟ අදහස් හුවමාරු කරගැනීම දිගට ම කරගෙන යා යුතුයි" ම.එ.පෙ. නායකයාගේ අදහසට අනෙක් මධ්‍යම කාරක සභිකයන්ගේ එකඟතාව පළ විය.
ගොවි මහතුන්ට නාමල්ගෙන් සහතිකයක්.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වෙමින් පසුගිය (14) දින මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ ජනතාවගේ සෞඛ්‍ය හා අනාගත පරපුර ගැන සිතා රසායනික පොහොර භාවිතයෙන් ඉවත් විය යුතු බවයි.
කෘෂි කර්මාන්තය සඳහා පොහොරවල හිඟයක් ඇතිවී ඇති බවටත් කාබනික පොහොර යෙදීමෙන් ඇතිවෙන බලපෑම් සම්බන්ධයෙනුත් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
"කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විටත් අවශ්‍ය කාබනික පොහොර අදාළ ප්‍රදේශවලට යවා තිබෙනවා. මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, අනුරාධපුර, කුරුණැගල දිස්ත්‍රික්කවල මම පහුගිය දවස් දෙක ගත කළා. මේ දිස්ත්‍රික්කවලට මේ වන විට අවශ්‍ය පොහොර ප්‍රවාහනය කරමින් පවතිනවා.
පැහැදිලිවම අපි ආණ්ඩුවක් විදියට ගොවි ජනතාව සමඟ එකට ඉන්නවා. ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණයෙන් නිෂ්පාදිත කාබනික පොහොර ලංකාවට ගෙනැවිත් දැනට පළමු අදියරේ ලබා දෙනවා. ඉන් පසු අපේ රට තුළ මෙම පොහොර නිෂ්පාදනය කර අපේ රට පොහොරවලින් ස්වයංපෝෂිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.
පැහැදිලිව ම කාබනික පොහොර සම්බන්ධව තිරසාර විසඳුමක් අපි ලබා දෙනවා. ආණ්ඩුවක් විදියට අපි ගොවියන් ආරක්ෂා කරන්න බැඳී සිටිනවා, ඒ සඳහා මැදිහත් වෙනවා." යනුවෙන් ද නාමල් රාජපක්ෂ කීවේය.