අර්බුදයට විකල්ප මඟක් | සිළුමිණ

අර්බුදයට විකල්ප මඟක්

- සංවත්සර උලෙළ ජූලි 3 වැනිදා මහරගමදී
- කොමියුනිස්ට් පක්ෂයට දැන් වසර 80යි

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මෙරට ජනතාවගේ හදවතේ නිදන් වී ඇත්තේ පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කළ රටේ යහපත ප්‍රාර්ථනා කරන දේශපාලන පක්ෂයක් ලෙසිනි. එවැනි අභිමානවත් පක්ෂයක 80 වැනි සංවත්සරය ජූලි මස 3 වැනිදාට යෙදී ඇත.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භය මෙරට කම්කරු පන්ති සටන් සහ අධිරාජ්‍යවාදයට එරෙහි නිදහස් සටනට විශාල වශයෙන් බලපෑම් කළ වාමාංශික ව්‍යාපාරය හා බැඳී පවතී. ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍යමන්ත්‍රණ සභාවට මොරවක් කෝරලය නියෝජනය කරමින් තේරී පත් වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයන් මෙරට සමාජවාදී ව්‍යාපාරයේ පුරෝගාමි නායකයකු විය. ලංකාවේ මුල්ම වාමාංශික පක්ෂය ලෙස ලංකා සම සමාජ පක්ෂය 1935 දෙසැම්බර් 18 දා බිහි වන විට දොස්තර වික්‍රමසිංහ එහි ආරම්භක නායකයකු විය. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ 1938-39 වකවානුවේ මතුව තිබූ දෘෂ්ටිමය මතභේද 1939 වන විට උග්‍ර වූයේ දෙවැනි මහා ලෝක යුද්ධය ඇරඹීමත් සමඟය. මෙම මතගැටුම් ලංකා සමසමාජ පක්ෂයට ද බලපෑ අතර, 1940 අප්‍රේල් 18 වැනිදා සමසමාජ පක්ෂයෙන් ඉවත් වූ දොස්තර වික්‍රමසිංහ ඇතුළු කොමියුනිස්ට්වාදීහු 1943 ජූලි 3 වැනිදා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය බිහි කළහ. 

මෙරට කොමියුනිස්ට් පක්ෂයේ නිල ආරම්භය එසේ වුව ද කොමියුනිස්ට් ව්‍යාපාරයේ ආරම්භය 1930 දශකය දක්වා ඈතට දිවෙයි. සූරියමල් ව්‍යාපාරය (1933), කොළඹ කම්කරු සමාජය (1940), සමාජවාදී එක්සත් පක්ෂය (1940) ලෙස අවධි කිහිපයක් පසුකරමින් ඉදිරියට ආ කොමියුනිස්ට් ව්‍යාපාරය වසර 2023දී දේශපාලන පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වසර 56ක්ද, ආණ්ඩු පක්ෂයේ ආණ්ඩු 3ක් යටතේ වසර 24ක් ද කටයුතු කර ඇත. රටේ සමාජ, දේශපාලන සහ ආර්ථික සංවර්ධනයට දායක වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ඍජුවම තමන්ගේ ප්‍රතිපත්ති සහිත ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවද එදා සිට මේ දක්වා එම පක්ෂයේ මූලිකත්වයෙන් ජනතාවට ලබා දුන් වරප්‍රසාද බොහෝය. මේ වන විට විශාල පක්ෂයක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව නොලැබුණත් ප්‍රතිපත්තිමය වශයෙන් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන අත්දැකීම්, පරිණතභාවය ඉතා විශිෂ්ට බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

ජාතික නිදහස ලබා ගැනීම සහ සමාජවාදය ස්ථාපිත කිරීම මූලික අරමුණු කොට ගනිමින් බිහිවූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නිදහස් අධ්‍යාපන හා නිදහස් සෞඛ්‍ය සේවා පිළිබඳ අදහස් රාජ්‍යමන්ත්‍රණ සභාව තුළ ඉදිරිපත් කොට ඒ වෙනුවෙන් රට තුළ ජන මතයක් නිර්මාණය කිරීමට කටයුතු කළේ කොමියුනිස්ට් පක්ෂයේ පුරෝගාමී නායකත්වය දුන් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයන් ය. 1945, 1946, 1947 මහා වැඩවර්ජනවලට කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂ නායකත්වය දුන් අතර, පැය 08 වැඩ දිනය, විශ්‍රාම වැටුප, නිවාඩු හා අතිකාල දීමනා වැනි වෙසෙස් අයිතීන් රැසක් වැඩ කරන ජනතාවට දිනා දුන්නේය. කම්කරු පන්ති ව්‍යාපාරයේ ලංකා සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවල නායකත්වයෙන් සිදු කෙරුණු 1953 හර්තාලය මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයේ මහා අරගලයක් විය. 1957/58 වකවානුවේ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නායකත්වයෙන් පෞද්ගලික අංශයේ සිදුවූ වර්ජනවල ඉල්ලීම වූයේ අර්ථසාධක ක්‍රමයක් පිහිටුවීමයි. එම සටන්වල ප්‍රතිඵලයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල පිහිටුවනු ලැබුණු අතර, ඒ සඳහා ද කොමියුනිස්ට් පක්ෂය පුරෝගාමී විය. ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ජවිපෙ විසින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරීන් 43 දෙනකු ඝාතනය කරනු ලැබිණි. එල්. ඩබ්ලිව් පණ්ඩිත, ජෝර්ජ් රත්නායක, නීතිඥ ජේ.එම්. දේශප්‍රිය බණ්ඩාර, හෙන්රි පමුණුව, කේ. ඒ. ඩී. සද්ධාතිස්ස, ජේ.ඊ. ගුණසේකර, නාරංදෙණියවත්තගේ විජේරත්න සහ උපුල් සද්ධාතිස්ස ඒ අතරෙන් කිහිප දෙනෙකි.

ජයග්‍රහණ, පසුබෑම් සහ විවිධාකාර අභියෝග අතරින් මහජනතාවගේ හදවතට සමීප වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය 80 වැනි සංවත්සරය පවත් වන්නේ ජාතික සහ ගෝලීය අභියෝග රැසකට රට මුහුණ දෙමින් තිබෙන පසුබිමකදීය. ජූලි 3 වැනිදා පස්වරු 2.30ට මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන 80 වැනි සංවත්සරික උත්සවයේදී එහිදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 'ඉදිරි මඟෙන් ඉදිරියට' නැමැති විකල්ප සංවර්ධන වැඩපිළිවෙළ කෘතියක් ලෙස ජනගත කෙරෙන අතර, ඒ පිළිබඳ පක්ෂයේ නියෝජ්‍ය සභාපති, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන විරසිංහ මෙසේ පැහැදිලි කළේය.

"පක්ෂයේ 80 වැනි සංවත්සරයේ ප්‍රධාන වැඩසටහන ලෙස එම විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වෙන්නේ ජාතික මට්ටමේ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන්. මෙවැනි විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳ පක්ෂයක් විදිහට අපි ජනාධිපතිවරණයේදී වගේම කොවිඩ් සහ ආර්ථික අර්බුද සමයේත් දිගින් දිගටම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කළා. ජූලි 4 වැනිදා අපි දකුණු ආසියානු කලාපයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන්ගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර සමුළුවක් පවත්වනු ලබනවා. එහිදී ගෝලීයකරණය සහ කලාපයේ සාමය පිළිබඳ අර්බුද සහ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ලබනවා. එයට ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, චීනය වැනි රටවල නියෝජිතයන් සහභාගි වෙනවා. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් එවැනි ජාත්‍යන්තර සමුළුවක් පවත්වනු ලබන්නෙ පළමු වරට වීමත් විශේෂත්වයක්." 

80 වැනි සංවත්සරය උත්සවයේදී එළිදකින 'ඉදිරි මඟෙන් ඉදිරියට' කෘතිය පිළිබඳ අප පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකරගෙන් වැඩිදුර විමසීමක් කළෙමු.

"දේශපාලන පක්ෂයක් විදිහට ලංකාවේ පළමුවරට එවැනි විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් මීට පෙර ඉදිරිපත් කළේත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයයි. ඒ, 1955දී 'ඉදිරි මඟ ප්‍රකාශය' නමින්. එතකොට පක්ෂයේ ප්‍රධාන ලේකම් දොස්තර වික්‍රමසිංහ. ඒක ප්‍රධාන පක්ෂවලටත් ලොකු බලපෑමක් කළා. විශේෂයෙන් බහුකාර්ය යෝජනා ක්‍රම, වාරිමාර්ග, කෘෂිකර්මය සහ පරිසරය සම්බන්ධයෙන් එම පොතේ සඳහන් ඇතැම් කරුණු විශ්වවිද්‍යාලවලත් වෙනත් තැන්වලදීත් විශාල කතාබහකට ලක්වුණා වගේම එහි සඳහන් යම් යම් කාරණා එක් එක් රජයන් විසින් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක කළා. මට මතකයි ගාමිණී දිසානායක මහවැලිය විවෘත කරනකොට මට කිව්වා, "අපි තමයි මේක කළේ, ඔබතුමාගේ නායකයාගේ සිහිනය සැබෑ වුණේ අපි කරපු දෙයින් කියලා.

"ඇත්තටම ඉදිරි මඟ ප්‍රකාශය තුළ ඒ සියල්ලම ඇතුළත් වෙලා තිබුණා. ඒ වගේම එහි ඇතුළත් බොහෝ දේවල් වෙනත් ආණ්ඩු විසිනුත් ක්‍රියාත්මක කරලා තියෙනවා. සාමුහික ප්‍රයත්නයක් වන එවැනි පර්යේෂණාත්මක කෘතියක් මේ දක්වා මෙරට දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරලා නැහැ. පක්ෂයේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් මෙවර අපි ඉදිරිපත් කරන 'ඉදිරි මඟෙන් ඉදිරියට' කෘතිය 1955දි අපි ඉදිරිපත් කළ 'ඉදිරි මඟ' ප්‍රකාශනයේම ඉදිරි දිගුවක්. ජූලි 3 වැනිදා සංවත්සර උත්සවයේදී අපි ඒ කෘතිය ජනාධිපති ඇතුළු සියලු දේශපාලන පක්ෂ නායකයන්ට පිරිනමනවා. ඒ තුළින් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන අලුත් මතවාදයක් ගොඩනැඟීම අපේ අරමුණයි. අපේ පක්ෂය තවත් එක දේශපාලන පක්ෂයක් පමණක් නෙවෙයි, පක්ෂ ව්‍යාපාරයක්. සමාජවාදය අපේ දිගුකාලීන අරමුණ වුණත් ඊට මෙහා රටේ ආර්ථික, සමාජයී පැවැත්ම වෙනුවෙන් අපි කටයුතු කරනවා. "

ඩිව් ගුණසේකර කෘතහස්ත, කීර්තිමත් දේශපාලනඥයෙකි. දිගුකාලීන අත්දැකීම් සහ පළපුරුද්ද අනුව වත්මත් ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ප්‍රායෝගික යෝජනා රැසක් ඔහු සතුය.

"පවතින අර්බුදයෙන් ගොඩ එන්න හැමෝම කතා කරන්නේ ණය ගැනීමයි ගෙවීමයි ගැනයි. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ. නිෂ්පාදන නැතුව ඩොලර් උපයන්න බැහැ. 1977න් පස්සෙ අපේ රටේ ඉදිරි ගමනට බලපෑ පරාජයන්, පසුබෑම් තියෙනවා. ජාත්‍යන්තර සාධක ඒ සඳහා බලපා තියෙනවා. තවමත් අපිට තියෙන්නෙ ආනයන ආර්ථිකයක්. 1978 ඉඳලම අපේ රටේ අපනයනවලට වැඩිය ආනයන වැඩියි. නිෂ්පාදන ආර්ථිකයක් නැතිව අපිට මේ අර්බුදයෙන් ගොඩඑන්න අමාරුයි. අපි වැනි කුඩා රටක් ඉහළම ජාතික ප්‍රමුඛතාව දිය යුත්තේ මානව සම්පත ප්‍රවර්ධනයටයි. අපි ජීවත් වෙන්නෙ ස්වාභාවික සම්පත් පිරුණු රටක. ඒවා දියුණු කරන්න මානව සම්පත අවශ්‍යයි. මානව සම්පත සංවර්ධන කරන්න අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, තාක්ෂණය වැඩි දියුණු කිරීම අත්‍යව්‍යශයි. මේ හැර වෙන මඟක් නැහැ. මේ වගේ ප්‍රායෝගික කාරණා රැසක් අපි අපේ 'ඉදිරි මඟෙන් ඉදිරියට' කෘතිය තුළින් අවධාරණය කරනවා".

Comments