සෞඛ්‍ය වර්ජනය ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | Page 2 | සිළුමිණ

සෞඛ්‍ය වර්ජනය ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1 මෙවැනි වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක වෘත්තීිය ඉල්ලිම් වෙනුවෙන් ජනතාව ප්‍රාණ ඇපයට ගෙන වැඩවර්ජන සිදු කිරීම සාධාරණයි ද? 
2 පසුගිය දිනක අවසන් වූ සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය නිසා රෝගී සත්කාර ඒකකයන්ටත් බාධා විය, මෙවැනි වැඩවර්ජන ක්‍රියාත්මක කරමින් ජනතාව අසීරුතාවට පත් කිරීම සුදුසු යැයි ඔබ සිතනවාද? 
3 කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ අසාර්ථක කිරීමේ යම්කිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඇතැම් පාර්ශ්වයන් චෝදනා කරනවා නේද? 
4 මේ කාලය පුරා ඇති වූ වැඩවර්ජන සංවිධානය වූ දින වකවානු දෙස බැලීමේදී, වැඩ වර්ජකයන්ගේ ඍජු ඉල්ලීම්වලට වඩා ඒවා මෙහෙයවන්නන්ගේ පටු දේශපාලනික අරමුණු මුල් වී ඇති බව කියැවෙනවා. ඒ අදහසට ඔබ එකඟද? 
5 නිරෝධායන පනතට මුවාවී වෘත්තිය අරගලවල යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම නොව වෘත්තිකයන්ගේ ගැටලුවලට පොදු ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව වෘත්තිය සමිති නායකයන්ගේ අදහස? එසේ කිරීමෙන් වැඩවර්ජන අවම කළ හැකිද?

වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

1 අපි ප්‍රථමයෙන් අගය කළ යුතුයි; සෞඛ්‍ය අංශයේ සියලු සේවකයන් රජයේ නිලධාරීන් ත්‍රිවිධ හමුදාව විශේෂ කැපවීමක් කළා; මේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා. ඒ අයගේ ජීවිතය පරදුවට තියලා විශේෂ කැපකිරීම් කළා. ඒ විශේෂ කැප කිරීම් සහ සේවය අපි අනිවාර්යයෙන් ම ඒය අගය කළ යුතුයි.

පළමු කොරෝනා අවදියේ සිට කරන ලද සේවය, කරන ලද කැප කිරීම් වලට අපි රජයක් ලෙස ස්තුතිවන්ත විය යුතුයි. නමුත් මෙවැනි අසීරු අවස්ථාවකදි සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවය අත්‍යවශ්‍ය වෙලාවක මෙවැනි වැඩ වර්ජන කිරීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

වැඩ වර්ජන ක්‍රියාවට නැංවිමට පෙර මෙවැනි අවස්ථාවකදී සාකච්ඡා මාර්ගයෙන් ඔවුන්ගේ ඉල්ලීම් වඩා හොඳ විදිහට දිනා ගන්නවා නම් තමයි වඩාත් සුදුසු කියලා මම හිතන්නේ.

2. ඇත්ත වශයෙන්ම ඒ සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරිමක් නැහැ. විශේෂයෙන් සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනය දීර්ඝකාලීනව අඛණ්ඩව පවතිනවා. විවිධ අවස්ථාවලදී ඒම වෘත්තියේ ම ඇතැම් පිරිස් නිසා සහ විවිධ වෘත්තීය කණ්ඩායම් ගැටුම් නිසා මේ තත්ත්වය තීව්‍ර වෙලා තියෙන්නේ.

එහෙත් ඒ සියලු ම රාජ්‍ය සේවකයන්ට පොදු ප්‍රතිපත්තියක් අවශ්‍යයයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවත්, රාජ්‍ය වැටුප් සහ කාර්ය සාධන කොමිසමත්, කළමනාකරණ සේවා දෙපාර්තම්න්තුවත් අදාළ නිළධාරීන් හා බහුපාර්ශ්වීය සංවිධානයන් සමඟ සාකච්ජා කරලා දීර්ඝ කාලීන වශයෙන් රටේ සමස්ත රාජ්‍ය සේවයට ගැළපෙන පරිදි විසඳුම් සෙවිය යුතුයි.

4. මේ අවස්ථාවේදී මේ රට අපහසුතාවට පත් වී ඇති අවස්ථාවකදි සෞඛ්‍ය සේවකයන් ලෙස වඩාත් සංවේදී ව කටයුතු කළ යුතුයි කියලා මම හිතන්නේ.

ඒ හා සම්බන්ධෙයන් පිටුපසින් සිට ගෙන දේශපාලන ප්‍රයෝජන ගන්නවා ද කියන කාරණාව පිළිබඳව මම දැනුම්වත් වීමක් හෝ ඒ් සම්බන්ධයෙන් මට පැහැදිලි අවබෝධයක් නැහැ.

5. ඉතාම පැහැදිලිව ජනතාවාදි රජයක් ලෙස අපි වෘත්තීය සමිති නායකයන් වැඩ වර්ජකයන් අපි මර්දනය නොකළ යුතුයි. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඒ අයගේ විරෝධතා සහ ඉල්ලීම් වෙනුවෙන් අවස්ථාව ලබාදිය යුතුයි. නිරෝධායන නීති රීතිවලට අනුකූලව මේ අවස්ථාවේ එය කළයුතුය නැති ද යන්න පිළිබඳව සෞඛ්‍ය සේවාවේ කාර්ය භාරයක් .

එමෙන්ම වෘත්තිමය ගැටලු සඳහා විසඳුම් සෙවීමට පොදු ප්‍රවේශයක් අවශ්‍යයි. පැලැස්තර විසදුම් සෙවීම නොකළ යුතුයි. මා ඉහතින් සඳහන් කරන ආකාරයට අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් පොදු ප්‍රවේශයක් මේ ගැටලු සඳහා ලබාදිය යුතුයි.

සියලු ම දෙනාම එකතු වී සමස්ත රාජ්‍ය සේවයේ සහ අෙනකුත් ආයතනවල පවතින ගැටලුවලට විසඳුම් සෙවිය යුතුයි. ගැටුම් ඇතිවන ආකාරයට තාවකාලික විසදුම් පැලැස්තර නොදිය යුතුයි.

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

1 ජනතාව සම්බන්ධයෙන් වැඩිම වගකීමකින් යුතුවන්නේ රටක ආණ්ඩුවයි. මැතිවරණයකදී ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය බලයෙන් තාවකාලිකව පත් කර ගන්නා ආණ්ඩුවේ නියෝජිතයන්ට පවරනු ලබනවා. එහිදි ජනතාවට බලපාන ප්‍රශ්නවලදි එම ප්‍රශ්න මතුවීමට ඉඩ නොදී නිරාකරණය කරගැනීම ආණ්ඩුවේ වගකිමයි. කොවිඩ් වසංගතය මධ්‍යයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් දැඩි කැපවීමකින් කටයුතු කළා. ඒ අය තමන්ට හිමි වියයුතු ප්‍රවාහන දිමනා අතිකාල දිමනා ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කරුනු පදනම් කරගෙනයි මේ මෑතකදි පැවැති වැඩවර්ජනයන් දියත් කළේ. අනෙත් සියලුම වැඩවර්ජනත් එවැනිම ඉල්ලීම් මත තමයි සිදුවන්නේ.

ඇත්ත වශයෙන්ම මේවා උද්ඝෝෂණ තුළින් නොව එම අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන්නන් සඳහා හිමි විය යුතු වරප්‍රසාදවෙයි. සෞඛ්‍ය සේවකයන්ට ඉල්ලනකල් ඉන්න අවශ්‍ය නැහැ,මේ දේවල් දිය යුතුයි. සෞඛ්‍ය සේවාවේ එක් වෘත්තියක් පමණක් නොවෙයි, ශ්‍රේණි ගණනාවක් සිටිනවා. වෘත්තිය සමිති විසින් ජනතාව ප්‍රාණ ඇපකරුවන් කරගෙන නොවෙයි; මා දකින්නේ නම් වෘත්තිය සමිතියක් දෙකක් ආණ්ඩුව සහ ජනතාව ප්‍රාණ ඇපයට අරගෙන තියනවා.

ආණ්ඩුව ඒ කිහිපදෙනාගේ පදයට නටන කොට අනික් අය මේ වගේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා කියලා හිතන්නට අවශ්‍යයි. ගොවිතැනත් බතක් කරගෙන හිටපු ජනතාව පාරට ඇදලා දැම්මේ කවුද? නිවැරදි තීන්දු ගන්න ක්‍රමවේදයක් තියෙනවා, වී වගාවට පොහොර නැතිනම් බලන් ඉදිද්දි ගස් මැරෙනවා, නම් කහ ගැහෙනවා නම් වල් පැළ වැවෙනවා, නම් ගොවියාට ගැටළු එනවා.

ගොවිතැන මත තමන්ගේ ජිවිකාව තියන මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද? ආණ්ඩුවට තියෙන්නේ එන ප්‍රශ්න විසඳීම පමණක් නොවෙයි, අනාගතයේදිත් ඇතිවිය හැකි ප්‍රශ්න වලට කටයුතු කරන යාන්ත්‍රණයක් විය යුතුයි. ජනතාවගේ බදු මුදල්වලින් ඒ අයට වැටුප් දීලා වාහන දීලා තෙල් දීලා දේශීය විදේශීය පුහුණුව දීලා තියෙන්නේ බදු මුදල් වලින් ඒ අයගේ සල්ලිවලින් නොවෙයි මේ පහසුකම් ලැබෙන්නේ.

උද්‍ඝෝෂණ වලට හේතු කාරණාවලට පිළිතුරු දෙන්න ඕන ආණ්ඩුවක්.

2 . ඕනෑම වැඩවර්ජයකදී ජනතාව අනිවාර්යෙන් පීඩාවට පත්වෙනවා. එයයි වැඩවර්ජනයක ස්වභාවය. වැඩවර්ජනයකින් ජනතාවක් පිඩාවට පත්වන්නේ නැතිනම් ඇත්ත වශයෙන්ම සාමාන්‍ය වර්ජන නැති කාලයක ඒ අයගේ සේවාව ජනතාවට ලැබෙනවාද? කියලා ගැටලුවක් තියෙනවා. ජනතාවට ලැබෙන සේවාවක් අඩපණ වුණාම තමයි වැඩ වර්ජනයක් එන්නේ. ඒනිසා කුමන අයගේ ආණ්ඩු කාලයෙදිත් වැඩ වර්ජන වෙන්න පුළුවන්, වැඩ වර්ජනවලදි බලයේ ඉන්න ඕනෑම ආණ්ඩුවක් කියන්නේ මේ දේ තමයි. මේ අවස්ථාවේ කරන්න හොඳ නැහැ. වැඩ වර්ජන නිසා ජනතාව පිඩාවට පත්වෙනවා වැනි කතා ඕනෑම කෙනකුට කියන්න පුළුවන්, මේවා සියලු ආණ්ඩු යටතේ සිදු වුණා. මේවා අනෙක් දේශපාලන බලවේගවල කුමන්ත්‍රණ කියලා ඕනෑම පවතින ආණ්ඩුවක අය කියනවා. නමුත් මේ ආණ්ඩුවෙ බෝල එහාට මෙහාට පාස් කරනවා විතරයි, කිසිම ප්‍රශ්නයක් විසඳිලා නැහැ. වැඩවර්ජනයන්ට පෙර වෘත්තිකයන්ගේ ඉල්ලීම් ඉටු කළ යුතුයි.

3අද ඇති වී තියෙන ප්‍රශ්නය සෞඛ්‍ය සේවක ප්‍රශ්න නෙමෙයි, වැක්සින් දිහා බලා වැඩවර්ජන කළා නොවෙයි. වෘත්තිකයන් මේ රජයේ අනෙකුත් සේවාවන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගණනාවක් තිබුණා. කොවිඩ් පළමුවැනි රැල්ල සිට හෙද හෙදියන් අතුරු වෛද්‍ය සාමාන්‍ය සේවකයන්ගේ සේවාවන් තාක්ෂණවේදයට අයත් පිරිස පී.එච්.අයි. මහත්වරුන් මේ අය කොයිතරම් පිඩා වින්දද? කියලා ඉහළ පුටුවල ඉන්න අය පහළට බැහැලා බැලුවා නම් පේනවා.

ඒවගේම පළමු රැල්ල පැමිණි වෙලාවේ නින්ද නැතුව දිවා රෑ වෙහෙසුණා. අපි දුටුවා කොතරම් කැපවීම් කළා ද කියලා. අපි දන්නවා කාර්ය සාධක බලකායක් තියෙනවා. මේ අයට මේ දේ දැනෙන්නේ නැත්තේ ඇයි? ගොවිතැන ගැන අබමල් රේණුවක් දන්න කෙනෙක් කුඹුරකට බැහැලා තියන කෙනෙක් දන්නවා එක එක කාලයේ අවශ්‍ය පොහොර.

. තමන්ට ඡන්දය දීලා ආණ්ඩු හදනකොට ජනතාව හුගාක් බුද්ධිමත්, නමුත් ජනතා ප්‍රශ්නන එනවිට කියන්නේ ජනතාව කවුරුන් හෝ විසින් මෙහෙයවනවා කියලයි මම කියන්නේ. මේ උද්ඝෝෂණය කරන්නේ මාස 17ක් කලින් ඡන්දය දිපු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් දිපු ජනතාව ඇතුළත්වයි. වැඩිම ප්‍රතිශතයකින් ඡන්දය දුන්නා මේ ගොවිතැන් කරන ප්‍ර දේශවලවල ගොවි ජනතාව.

ඒ ජනතාව කවුරු හරි කියනවා නම් කුපිත කරන්න පුළුවන් නම් ඒ ජනතාවට කරන නිග්‍රහයක් කියලා මම හිතන්නේ. දේශපාලන ව්‍යාපාර ලෙස ජවිපේ අපිට කවුරුන් හෝ කිව්වොත් ඒ ප්‍රශ්නය සාධාරණ නම් ඒ ප්‍රශ්නය අපි නියෝජනය කරනවා,

4 ආණ්ඩුව මේ සියල්ල කරන්නේ නිරෝධායනය ඉදිරියට දාගෙනයි, ආණ්ඩුව කියනවා ආසාදිතයන් අඩුවෙන් වාර්තා වෙන්නේ නෑ කියලා.කොවිඩ් අඩුවෙලා නම් මොකටද මිනිස්සු එකතු වෙන එක නවත්තන්නේ. පාරේ බස්වල පොල්පටවලා වගේ යනවා; කොච්චියෙත් පිරිලා ඉතිරිලා යනවා. මේ උද්ඝෝෂණ කරන්නේ මාස්ක් එක දාගෙන මිටරයේ පරතරය තියාගෙන. මම අහන්න කැමැතියි අවසර දීලා තියනවානේ දැන් සම්භාහන ආයතන විවෘත කිරීමට; ඒ සම්භාහන මධ්‍යස්ථාන වල මීටරයේ පරතරය ඇතුවද ඒ දේවල් කෙරෙන්නේ කියලා.

5 මේ වෙලාවේදි නිරෝධායන නීතියක් දැම්මේ උද්ඝෝෂණ තහනම් කරන්න ජනතාව මර්දනය කරන්න. රටේ අර්බුද විසඳගන්න බැරිව ආණ්ඩුව අසරණ වෙලා; ජනතාවට රැකියා නැති වෙලා; ව්‍යාපාර නැති වෙලා; ගොවියාට අද ජීවත් වෙන්න විදහක් නැහැ. ඉදිරියේදි ආහාර ප්‍රශ්නයක් එන්න පුළුවන්. අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් ජනතාවගේ මර්දනයට දාපු නීතිය හෙට සෞඛ්‍ය අමාත්‍යංශයට යොදා ගන්නවා. ඒ වගේම සමාජ ජාල ක්‍රියාකාරකයින්ටත් මේ දේම වෙනවා. මේ මර්දනය දිගින් දිගටම යන්න පුළුවන්. ජනතාව ඉදිරි මැතිවරණය වලදි මේ දේවල් වලට පිළිතුරු දෙයි කියලා අපි දන්නවා.

සමඟි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න

1. මෙවැනි වසංගත අවස්ථාවකදී මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ජනතාවට වන අපහසුතාව ගැන ඉතාමත් කනගාටුයි. මේ ගැටලුව මතුවන්නේ මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්වලට වෘත්තිකයන් ඇද දමන්නේ කවුද? යන ගැටලුව අපිට මතුවෙනවා.

එක් කණ්ඩායමකට පමණක් වෘත්තිය අයිතිවාසිකම් හිමිවිය යුතුද යන්න ගැටලුවක්. ඇතැම් වෘත්තිය සමිති ආණ්ඩුවත් සමඟ එකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා ඒ අයට පමණක් නොයෙකුත් දීමනා ලබා දුන්නාම අනෙක් කණ්ඩායම් එළියට බහින එක නවත්තන්න පුළුවන්ද?

රජයේ වැඩ පිළිවෙළයි, වෙනස් වෙන්නට අවශ්‍ය වෙන්නේ. අපේ ආණඩුව කාලයේ 2015 වෛද්‍යවරුන්ගේ වැටුප් දීමනා වැඩිකිරීමේදී අනෙකුත් සියලුම සේවා කාණ්ඩ ගෙනල්ලා ඒ සියලු පාර්ශ්වයන්ට සියලුම දෙනාට කම්කරු පන්තිය දක්වා දීමනා ලබා දුන්නා.

අද වැනි තත්ත්වක් එදා නිර්මාණය වුණේ නැහැ, එදා අපි සියලු දෙනාට සමානව ඒ දේවල් ලබා දුන්නා. මේ රටේ සෞඛ්‍ය එදා අපිට පවත්වාගෙන යන්න පුළුවන් වුණේ, ඇතැම් වෛද්‍ය සංගම් සමඟ අපි රජයක් ලෙස ඒ අයගේ වුවමනා එපා කම් අනුව කටයුතු කළේ නැති නිසයි.

මේ අයත් සමඟ කටයුතු කරන්න ගියොත් තමයි මෙවැනි වැඩවර්ජන ඇතිවෙන්නේ. එකක් නොවෙයි මේ රජයට පක්ෂපාතිත්වය ඇති වෛද්‍ය සංගම් නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලොකු අර්බුද රැසක් ඇතිවෙනවා,

2. මෙහි සම්පුර්ණ වගකිම් බාරගන්න අවශ්‍ය රජය. දීමනා දෙන්න නැතිනම් වැඩ කරන්නේ නැහැ කියලා මේ කිසිදු වෘත්තිකයකු කිව්වේ නැහැ.

වෘත්තිමය ගැටලු කිසිවක් ඉල්ලන්නේ නැතිව වැඩ කරන විටයි වෛද්‍යාවරුන්ට පමණක් මේ වරප්‍රසාද ලබා දුන්නේ. මේ ලබා දිම් කරන විටම විපක්ෂයක් ලෙස අපිත් කිව්වා, මේ වැනි අත්‍යවශ්‍ය සේවාවල සියලු දෙනාම මහන්සි වෙනවා, ඒ නිසා සියලු දෙනාටම මේ වරප්‍රසාද ලබාදෙන්න කියලා.

මහජන සෞඛ්‍ය සේවකයන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශාල වගකීමක් අරගෙන කටයුතු කරනවා. ඒ අයගේ ජිවිත අවධානමක් තියනවා.

ක්ෂෙත්‍රයේ සිටිමින් මේ අයයි ජනතාව දැනුම්වත් කිරිම් කරමින් මේ සේවාවන් පවත්වාගෙන යන්නේ. මේ කිසිම දෙයක් නැතුව වෛද්‍යවරුන්ට පමණක් ඒ අයට හිතවත් වෛද්‍ය සංගම්වල බලපෑම අනුව වරප්‍රසාද දිමනා ලබා දුන්නාම, අනෙක් වෘත්තිකයන්ට එය අසාධාරණයක් බව දැනීම සාමාන්‍ය කරුණක්. ඒ වෛද්‍ය වෘත්තිය සමිතිවල අයත් දැන ගන්න අවශ්‍යයි මෙවැනි තත්ත්වකට ආණ්ඩුව පත් නොකළ ගත යුතුයි කියලා. මෙවැනි තත්ත්වයකට ආණ්ඩුව පත් වුණේ ඒ සංගම්වල ක්‍රියාකාරීත්වය නිසා; මේ සියලු දේවල්වලින් පිඩා විදින්නේ අහිංසක ජනතාවයි.

3. මේ එන්නත්කරණ වැඩපිළිවෙල වැඩවර්ජන නිසා අසාර්ථක වුණේ නැහැ. එන්නත්කරණයේදී ආණ්ඩුව අනෙක් රටවල් සමඟ සැසදීමේදි කොහොමත් අසාර්ථකයි. එන්නත් කිරිම් කිරීම් සිදුවන කාලයේ වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම නුසුදුසු නම් ඒ වෘත්තිය ක්‍රියාමාර්ගවලට ඒ අයව යොමු කිරීම ඊට වඩා නරකයි.

වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමේදි මෙවැනි තත්ත්වක් උදාවෙනවා කියා අදාළ අංශවල අය දැනගන්නට අවශ්‍යයි. අවුරුදු 12 සිටම එන්නත් කිරීම් පිටරටවල කෙරෙනවා. එන්නත් ලක්ෂ තුන්සිය හැටක් වත් ගෙන්විය යුතුයි. ලක්ෂ තිහක් තාම ගහන්න බැරිවුණා මේ ආණ්ඩුවට.

මේ වගේ තව දොළොස් ගුණයක් එන්නත් කළ යුතුයි. එන්නත් ටිකක් ආවාම මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් ගුවන්තොටුපළට යනවා. මේ දේවල් විහිළු. අපි කියපු කාලේ එන්නත් ගෙන්නලා මේ දේ කළා නම් අද එන්නත්කරණය කරලා ඉවරයි. මම වගකිව යුතු හිටපු සෞඛ්‍ය ඇමැතිවරෙයක් ලෙස කිව්වා ගිය අවුරුද්ද අවසාන වන විට එන්නත් හැදෙන නිසා 2021 මුලදි එන්නත් වෙළඳපොළට නිකුත් වෙනවා කියලා. ඇණවුම් නොකළොත් විශාල කාලයක් යනවා කියා අපි කිව්වා. මේ අය ඇණවුම් කරන කොට ලෝකයේ හැම රටක් ම එන්නත් කරලා ඉවරයි.

4- පටු දේශපාලන අරමුණුවල මෙහෙය වනවා කියන්නේ කොහොමද? මේ රටේ ජනතාව එහෙම මෙහෙයවන්න බැහැ. හේතු කාරණාවක් නැතුව මේ දේවල් ඕපපාතිකව සිදුවෙන දේවල් නොවෙයි.

උඩින් ඇවිල්ලා සිදුවන දේවල් නොවෙයි, මේ ප්‍රශ්න ඇති කරන්නේ කොහොමද? රජයේ අනුවන වැඩ නිසානේ මේ රටේ සියලු ප්‍රශ්න සිදුවෙන්නේ. ආර්ථිකය, සෞඛ්‍ය, කෘෂිකර්මය අධ්‍යාපනය සියලු ක්ෂේත්‍රවල ප්‍රශ්න මේ වගේ ප්‍රශ්න දවසින් දවස නිර්මාණය කරනවා ආණ්ඩුව. මේ ආණ්ඩුව ප්‍රශ්න නිර්මාණය කරනවා.

මේ අයම නිර්මාණය කරන ප්‍රශ්න වලට ජනතාව එළියට බැස්සා කියලා ඒ අයට බැණලා වැඩක් නැහැ. කවුද මෙය හදලා තියෙන්නේ.

පොහොර ප්‍රශ්නය, සෞඛ්‍ය සේවා ගැටලු ඇති කරලා තියෙන්නේ කවුද? මේ රජය විසින්මයි. එන්නත් නැතුව මිනිසුන් ගහ ගන්නවා. කවුද මේ තත්ත්වය නිර්මාණය කළේ. ලෝකයේ හොඳම සෞඛ්‍යා සේවාවක් තිබුණ රටක් ලංකාව කියන්නේ.

5. මේ වෘත්තිය සමිති නායකයන් සමඟ යම් විසඳුමක් ඇති කරගන්න යම් සංවාදයක් තිබිය යුතුයි. එකපාරට වැඩ වර්ජනය කරන්නේ නැහැ. වෘත්තිය ක්‍රියාමාර්ග ඇතැම් අය කල් දැම්මා. මේ වෘත්තිකයනුත් කැමති නැහැ; මේ වෙලාවේ මේ වැඩ වර්ජනය කරන්න.

අකමැත්තෙන් මේ අය මේ දේවල් කරන්නේ කියලා අපිට තේරෙනවා. මේ වගේ අවස්ථාවක ජනතාවට අත් වෙන ඉරණම දන්න නිසා මේ අය වැඩ වර්ජන කරන්න කැමැති නැහැ. පොරොන්දු ඉල්ලිම් නොලබා යම් කිසි පොරොන්දුවකට පැමිණ හෝ මේ ක්‍රියාමාර්ග නැවැත්වුවා. මේ අය සමග ඇයි රජයක් ලෙස කතා කරන්නේ නැත්තේ; එයයි වෙන්න ඕන. ආණ්ඩු විරෝධීන් කියලා හංවඩු ගහලා වැඩක් නැහැ. අත්අඩංගුවට පත් කරගැනීම් අපි හෙළා දකිනවා.

Comments