කොවිඩ් සමයේ ඇඟ­ලුම්හල් තත්ත්වේ | Page 5 | සිළුමිණ

කොවිඩ් සමයේ ඇඟ­ලුම්හල් තත්ත්වේ

 

 

රට පුරා සංචරණ සීමා පනවා ඇති පසුබිමක වුවද, ආර්ථික ක්‍රියාවලියට සෘජු බලපෑමක් ඇති නිෂ්පාදන ක්‍රියාවලීන් පවත්වාගෙන යාම සඳහා ඉඩ හසර ලබා දීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව,රටට විදෙස් විනිමය රැගෙන එන ප්‍රබල අංශයක් වන ඇඟලුම් කර්මාන්තයට ද, සිය නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත වීමට අවස්ථාව උදා විය. පෙර ලෙසම නොවූවත් ගැම්මක් ඇතිව සිය කර්මාන්තවල යෙදෙන අල්ප පිරිසක් සමඟ වැඩ කිරීමෙන් කර්මාන්තකරුවන්ට යම් ජවයක් ලැබුණද, මුහුණ දෙන්නට සිදුව ඇති ප්‍රශ්න සහ අභියෝග හමුවේ ඇඟලුම් පිටරට යැවීමෙහිලා ඔවුහු මහා සටනක නියැළී සිටිති.

 

ඇඟලුම් ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශ්ව කිහිපයක් සමඟ මේ කතා බහ පෙළ ගැසෙනුයේ, එලෙස අභියෝග හමුවේ ඉදිරියට ඇදෙන ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්තමානය විමසනු පිණිස ය.

පවතින අතිශය අභියෝගකාරී පසුබිම හමුවේ බ්‍රැන්ඩික්ස් සමූහය ඊට මුහුණ දෙන ආකාරය, එහි සමූහ මූල්‍ය අධ්‍යක්ෂ, හසිත ප්‍රේමරත්න පැහැදිලි කළේ මෙලෙසිනි.

" මේ පවතින තත්ත්වය තුළ අපේ එකම ෆැක්ටරියකටවත් සාමාන්‍ය වේගයෙන් දුවන්නට බැහැ. ඒ පමාවීම තුළ ඇණවුම් විශාල වශයෙන් අවලංගු වෙනවා. නමුත්, සියලු බාධක මැද යම් ප්‍රමාණයකට වැඩ කරගෙන යනවා වගේම, ඒ වැඩ කරන සේවකයන් ටික දෙනාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ ඉහළින්ම ක්‍රියා කිරිම තමයි, මේ දවස්වල අපි මුහුණ දී තිබෙන විශාලම අභියෝගය.

අද වන විට ඇමෙරිකාව ඇතුළු යුරෝපයේ අපේ ලෝක වෙළෙඳපොළ ගැනුම්කරුවන්ගේ තත්ත්වය ඉඳුරාම වෙනස් වී තිබෙනවා. ඔවුන් සිය රටේ එන්නත්කරණ වැඩසටහන හරහා, ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් තිබෙනවා. දැන් ඔවුන් සාප්පු යන තත්ත්වයට ඇවිත්. ඒ නිසාම, ශ්‍රී ලංකාවටත් ඇණවුම්වල අඩුවක් නැහැ. අවාසනාවකට එසේ ඇණවුම් තිබුණත්, ඒ ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීම සහ බෙදා හරින්නට බැරි ප්‍රශ්නයයි, අපට තිබෙන්නේ. ඉතින්, ඉල්ලුම තිබුණට සැපයුම නැති නම්, ඒ ඇණවුම් මොන තරම් වටිනවා වුණත්, ඒවා අවලංගු වී යන එක නවත්වන්න බැහැ.

ඒ අනුව, සමහර පළාත්වල අපේ කර්මාන්තශාලා වැඩ කරන්නේ 30% ක ප්‍රමාණයක් විතරයි. සමහර ඒවා 30- 70 % දක්වා පමණයි. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා 21ක, සෘජු සේවකයන් 43,000ක් සිටින අතර, ඔවුන්ගෙන් යැපෙන ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවනවා. මේ වෙලාවේ, සමස්ත ඇඟලුම් ක්ෂේත්‍රය වෙනුවෙන් අපිට තිබෙන ඉල්ලීම තමයි, මේ කර්මාන්තයේ නියැළෙන සේවක පිරිසට කොවිඩ් එන්නත ලබා දෙන්න කියන එක, මේ වෙලාවේ රටට ඩොලර් ආදායම් ඕනේ. අපනයන ආදායම් උපයන්න නම්, අපේ කර්මාන්ත ටික සක්‍රීය වෙන්න ඕනේ. සේවක පිරිස ලෙඩ නොවී වැඩට එන්න ඕනේ. ඔවුන් ආවොත් විතරයි, අපිට පිටරට ඇණවුම් ටික සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ.

ඒ නිසා, සමස්ත ඇඟලුම් ක්ෂේත්‍රය වෙනුවෙන් අපි ඉල්ලන්නේ දැනට ඇඟලුම් කර්මාන්තයේ 10-12%කට පමණ දී තිබෙන කොවිඩ් වැක්සීනය සමස්ත සේවක පිරිසට ම ලබා දෙන්න කියලයි.

ඒ වගේම, ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන සේවක පිරිස රෝගී තත්ත්වයකට මුහුණ පාන්නට සිදු වුවහොත්, ඒ අයට රෝහල්ගත වීමට අවස්ථාවක් ලබා දෙන්න කියන එකත් අපේ ඉල්ලීමක්.

මොකද, අපිට හැකි සෑම ආකාරයකින් ම අපි කොවිඩ් පාලනය සඳහා රජයට සහාය දක්වා තිබෙනවා. 2020 අප්‍රේල්වල අපේ පූනානි ෆැක්ටරිය, නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා අපි රජයට දුන්නා. පසු ගිය ඔක්තෝබරයේ, රඹුක්කන පින්නවල තවත් ෆැක්ටරියක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා ලබා දුන්නා.

නවීකරණය කොට, ළඟදීම වැඩ පටන් ගන්නට සිටි සීදුව ෆැක්ටරියත්, අපේ ව්‍යාපාර අරමුණු පසෙකලා පසු ගිය දා, ඇඳන්1200 ක් දැමිය හැකි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස රජයට බාර දුන්නා. ඒ, අපේ සේවක සේවිකාවන්ටත් මේ රෝගය වැලඳුණොත් ප්‍රතිකාර ලබන්නට නිශ්චිත තැනක් තිබෙන්නට ඕනේ කියන චේතනාව ඇතිව.

මින් වසර තිහ හතළිහකට පමණ පෙර නිදහස් වෙළඳ කලාප ආරම්භ වූයේ ම ඇඟලුම් කර්මාන්තය ඉලක්ක කරගෙන වුව ද, අද ඒවායේ අඩුවෙන්ම ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලා වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, මේ වන විට රට පුරා ඇති නිදහස් වෙළඳ කලාප ගණන 13කි. ඉන් කටුනායක කලාපයේ කර්මාන්ත ශාලා 79ක් ඇති අතර, එම 79 න් ඇඟලුම් කර්මාන්තශාලා ඇත්තේ 12 ක් පමණි. ඉතිරි සියලුම කර්මාන්තශාලා නියැළී සිටින්නේ, ඉලෙක්ට්‍රොනික්, ෆයිබර්, රබර්, පරිගණක ආශ්‍රිත නිෂ්පාදන වැනි විවිධාකාර වූ ක්ෂේත්‍රවලය.

අභියෝග හමුවේ ඉදිරියට යන කලාපවල වර්තමානය පිළිබඳ, නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන් ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, ධම්මික ප්‍රනාන්දු පැවසුවේ මෙවැනි අදහසකි.

''මේ වෙනකොට හැම වෙළෙඳ කලාපයක් ම පාහේ වැඩ පටන් අරන්. රටේ බොහෝ අපනයන සහ විදේශ ආදායම් පහළ වැටී තිබිය දී වෙළෙඳ කලාප පමණයි, මේ වන විටත් අඛණ්ඩව විදේශ විනිමය යම් ප්‍රමාණයක් හෝ රටට උපයා දෙන්නේ.

ලංකාවේ කිසිම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් සිය ආයතන පවත්වාගෙන යෑම සඳහා, දිනපතා එහි වැඩ කරන සේවකයන්ගේ පී. සී. ආර්. පරීක්ෂණවලට වියදම් කරන්නේ නැහැ. නමුත් BOI ඇතුළේ තිබෙන වෙළෙඳ කලාපවල හිමිකරුවන්ට සිදුවී තිබෙනවා, තමන් විසින් වියදම් දරාගෙන සේවකයන්ගේ පී. සී. ආර්. පරීක්ෂණ දිනපතාම කරන්නට. සෞඛ්‍ය අංශ වලට අනුව, දිනපතා 1%ක් සහ සතිපතා 5% ක් වශයෙන් මෙම පී. සී. ආර්. පරීක්ෂණ කළ යුතුයි.

2020 අප්‍රේල් සිට මේ දක්වා, නිදහස් වෙළෙඳ කලාප ආයතන සියල්ල රුපියල් බිලියන එක හමාරක්, මෙම පී. සී. ආර්. පරීක්ෂණ සඳහා වියදම් කර තිබෙනවා. එය සුළුපටු මුදලක් නෙවෙයි. මේ සියල්ල දරා ගන්න වෙන්නේ ආයෝජකයන්ට. ආයෝජන මණ්ඩලය හැකි සෑම සහයෝගයක්ම අපිට ලබා දෙනවා. නමුත් රජය මේ පිළිබඳ කිසිදු සැලකිල්ලක් මෙතෙක් දක්වා නැහැ.

අනික, රජය කොවිඩ් අරමුදල ආරම්භ කරද්දී, එයට නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන් ලෙස අප විශාල මුදලක් පරිත්‍යාග කළා. රට පවත්වාගෙන යන්න මෙපමණ දායකත්වයක් දෙන කලාප ඇතුළේ සහ පිට ගම්වලත් ආයෝජනය කොට තිබෙන ආයෝජකයන්ට, රජය විසින් මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ අනුව, පී. සී. ආර්. පරීක්ෂණ නොමිලේ සිදු කිරීමත්, ශ්‍රමිකයන්ට එන්නත් ලබා දීමට පියවර ගැනීමත් අනිවාර්යෙන් කළ යුතුයි.

ඒ වගේම, නැව් ගත කිරීම්වලදී මීට වඩා පහසුකම් ලබා දෙන ලෙසත් අප ඉල්ලා සිටිනවා. මේ වන විට උද්ගතව තිබෙන කොළඹ වරායේ තදබදය නිසා, බොහෝ නැව් සමාගම් ඒ අයගේ කාල සටහන්වල වෙලාව ඉකුත් වීමේ හේතුව මත, කොළඹ වරාය මඟහැර වෙනත් වරායන් වෙත යනවා. ඉන් පස්සෙ ලංකාවට නැවත අමුද්‍රව්‍ය ටික ගෙන්වා ගන්න වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා

නැව් සමාගම් නියෝජිතයෝ අනවශ්‍ය ලෙස, අසාධාරණ ගාස්තු අය කරනවා. රජය මේ නැව් සමාගම් වලට බලපෑම් කළ යුතුයි. ඒ සඳහා මැදිහත් විය යුතුයි. විදේශ නැව් සමාගම්වල නියෝජිතයින් මෙරට සිටිනවා. ඔවුන් පනවන නැව් ගාස්තු සම්බන්ධයෙන් රජයේ කිසිදු මැදිහත්වීමක් නැති නිසා, ඔවුන් රිසිසේ ඒවා අවභාවිත කරනවා..."

මාස් හෝල්ඩිංග්ස් යනු, විදේශ ඇණවුම් මත රඳා පවතින, මෙරටට ඩොලර් උපයන තවත් දැවැන්ත ම ඇඟලුම් කර්මාන්තශාලාවකි. මාස් හෝල්ඩිංග්ස් සමූහයේ සභාපති, මහේෂ් අමලීන් මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

" පවතින අර්බුදකාරී තත්ත්වයත් සමඟ ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යාමේදී අපිටත් ප්‍රශ්න නැතුවා නෙවෙයි. නමුත් රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් ලැබෙන සහයෝගය නිසා අපි අමාරුවෙන් හරි මේවා පවත්වාගෙන යනවා.

සමාජ දුරස්ථභාවය සහ නිවැරැදි සෞඛ්‍යය මාර්ගෝපදේශන පවත්වාගෙන යෑමට හැකි වන අයුරින් අපි කර්මාන්තශාලාවල මැෂින් පවා දුරින් දුරින් ස්ථානගත කොට තිබෙනවා. මේ නීති රීතිවලට අප අනුගත වී සිටින්නේ, මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ, පසු ගිය අවුරුද්දේ මාර්තුවේ සිටයි. යම් විදියකින් අපේ සේවක සේවිකාවන් අසනීප වුණොත් ඒ අය වෙනුවෙන්ම ඉහළ පහසුකම්වලින් යුතු ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනකුත් අපි පවත්වාගෙන යනවා.මේ සමහර ඒවා රටේ පොදු ජනතාවටත් නොමිලේ සේවය ලබා ගන්නට පුළුවන් ආකාරයෙන් රජයට බාර දුන් ඒවා. පල්ලෙකැලේ අපේ ඇඳන් 1,000කින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයත්, එවැනි එකක්. ඊට අමතරව, රජයේ රෝහල් ගණනාවක කොවිඩ් වාට්ටු සඳහා අප හැකි උපරිම අයුරින් අනුග්‍රහකත්වය දී තිබෙන්නේ, මේ අභියෝගය ජය ගන්නට රජය දරන වෑයමට අත්වැලක් ලෙසින්.

ඉතින්, අපේ පැත්තෙන් කරන්නට පුළුවන් සෑම දේම අපි කර තිබෙන බවත් කිව යුතුයි. මාස් සමූහයේ, කර්මාන්තශාලා 57ක,98,000ක් වන සේවකයන්ගේ ජීවිත ආරක්ෂාව වගේම, ඔවුන්ගේ පවුල්වල උදවිය ගේ ආරක්ෂාවත්, ඒ අයගේ දෛනික ජීවිතයත් නොවැටී පවත්වා ගෙන යන්නට අපි හාම්පුතුන් සහ කර්මාන්තකරුවන් ලෙස උදව් කළ යුතුයි.

ඇත්තටම, මේ වෙලාවෙත් අපිට හොඳින් ඇණවුම් ලැබෙනවා. නමුත් සේවක පැමිණීම අඩු නිසා, ඒවා සම්පූර්ණ කර ගැනීමේ ගැටලු තිබෙනවා. මේ ප්‍රශ්නය අපි බොහොම ඉක්මනින් විසඳා නොගතහොත් ලංකාවට ලැබෙන ඇණවුම් විශාල ප්‍රමාණයක් වෙන රටවලට ඇදී යෑමේ අවදානමක් තිබෙන බවත් කිව යුතුයි..."

කර්මාන්තශාලා හිමිකරුවන් සහ ඉහළ කළමනාකාරිත්වය කුමක් ප්‍රකාශ කළත්, පවතින තත්ත්වය ඉඳුරා වෙනස් එකක් බවයි, නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසන්නේ

" ඇඟලුම් කර්මාන්තශාලාවල අද තිබෙන්නේ, පළමු රැල්ලේ දී මුහුණ දුන් 50% ක පිරිසක් පමණක් වැඩ කරන තත්ත්වය නෙවෙයි. දැන් සම්පූර්ණ සේවක පිරිස ගෙන්වා, ඔවුන්ගේ සම්පූර්ණ ධාරිතාවට අනුව වැඩ කළ හැකියි.

ඒ නිසා ලැබෙන ඇණවුම් සම්පූර්ණ කිරීම තමයි, දැන් ඔවුන්ගේ අරමුණ. ඒ අරමුණු ඉටු කර ගන්නට නම්, ඔය කියන නිසි සෞඛ්‍ය විධිවිධාන හෝ ක්‍රමවේද පිළිබඳ සැලකිල්ලක් දක්වන්නට බැහැ. එහෙම සැලකිලි දැක්වුවහොත් අවශ්‍ය නිෂ්පාදන ඉලක්කය ලබා ගන්නටත් බැහැ.

මොකද පළමු රැල්ලේ දී කර්මාන්තශාලා වසා තබලා නැවත විවෘත කරද්දී විශාල සේවක සංඛ්‍යාවක් ඉවත් කළා. ඒ වගේම, ඉවත් වෙන තැනට පත් කළා. ඒ අයට ලැබිය යුතු දීමනා කිසිවක් දුන්නේ නැහැ. පැමිණීමේ දීමනා නැවැත්වුවා. වැටුප් ලැබුණේ බාගයයි. ප්‍රධාන පහසුකම්වත් ලැබුණේ නැහැ. ඔය සියලු දේ නිසා බොහෝ අය රැකියාවෙන් ඉවත් වුණා. ඒ අනුව, දැන් අඩු සේවක සංඛ්‍යාවකින් වැඩි නිෂ්පාදනයක් ගැනීමයි සිද්ධ වෙන්නේ. ඒ තත්ත්වය තුළ සමාගම්වලට ඔය කියන සෞඛ්‍ය විධිවිධාන පවත්වාගෙන යන්නට පුළුවන් කමක් නැහැ.

කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කොවිඩ් 19 වසංගතය පිළිබඳ කටයුතු කරන්නට පත් කළ ත්‍රෛපාක්ෂික කාර්ය සාධන කමිටුව තීරණය කළේ, සෑම ඇඟලුම් කර්මාන්තශාලාවකම කොවිඩ් 19 සම්බන්ධයෙන් කටයුතු කරන්නට සේව්‍ය - සේවා දෙපාර්ශ්වයෙන් ම සැදුම්ලත් කමිටුවක් පත් කළ යුතුයි කියා. නමුත් බහුතරය අද ඒ සෞඛ්‍යය කමිටු පත් කර නැහැ. ඔවුන් එසේ නොකරන්නේ, එවිට සේවක නියෝජිතයන් මෙම ප්‍රශ්න කමිටු ඉදිරියට අරන් එන නිසා. එවිට හාම්පුතුන්ට සිද්ධ වෙනවා, ඒවා ක්‍රියාත්මක කරන්නට. ඒ නිසා, ඔවුන් රජය කිව්වත් කමිටු පත් කිරීමෙන් වැළකී සිටිනවා. මේ රටේ ක්‍රියාත්මක ඇඟලුම් කර්මාන්තශාලා 350 ක් තිබෙනවා. අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් කෙනෙක් දෙන්නෙක් විතරයි, මේ කමිටු පත් පවත්වාගෙන යන්නේ.

කියන්න කනගාටුයි, එසේ පත් කළ කමිටුවලත් සේවකයන් ගේ පාර්ශ්වයට අදාළ නියෝජිතයන් තීරණයකොට තිබෙන්නේ, එම ආයතනවල මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින්. සේවකයන් විසින් පත් කරන නියෝජිතයන් කවුද කියන එක තීරණය කළ යුත්තේ, සේවකයන්. ඒකට මොකටද මානව සම්පත් දෙපාර්තමේන්තුව මැදිහත් වෙන්නේ. නිට්ටඹුවේ කර්මාන්තශාලාවක මානව සම්පත් දෙපාර්තමේන්තුව ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නම් ටිකක් නිවේදනය කොට ඒ අයට එන්න කියා කිව්වලු, ඕගොල්ලො තමයි, 'සෞඛ්‍යය කමිටු නියෝජිතයෝ' කියලා.

සෞඛ්‍ය කමිටු පත් කරන්න ගත් තීරණයේ ම තිබෙනවා, එම ආයතනයේ වෘත්තිය සමිතියක් තිබෙනවා නම්, එම සෞඛ්‍ය කමිටුවල නියෝජිතයන් විය යුත්තේ වෘත්තීය සමිති නියෝජිතයන් පමණයි කියලා. හුඟක් කර්මාන්තශාලා රජයට හරි දේ කරන බව පෙන්වලා, තමන්ට අවශ්‍ය පරිදි, කළමනාකරුවන් සහ සුපවයිසර් තනතුරුවල අය සෞඛ්‍ය කටයුතු සඳහා පත් කරනවා.

මේ කළමනාකරුවන් සහ සුපවයිසර්වරු තමයි, වැඩ කිරීමේ දී 'ටාගට්' ලබා ගැනීම සඳහා සේවකයන්ට වැඩිම බලපෑමක් එල්ල කරන්නේ. ඉතින් මේ අයත් ටාගට් එක ගන්න විදිය මිසක්, සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය බලන්නේ නැහැ.

ඔය වගේ පසුබිමක් තුළ වැඩ කෙරෙන නිසා තමයි, ඇඟලුම් කර්මාන්තය කොවීඩ් 19 පතුරුවන තෝතැන්නක් බවට අද පත්ව තිබෙන්නේ.

ආර්ථිකය රැක ගන්නට ඕනේ නිසා මේ කර්මාන්තශාලා පවත්වාගෙන යන්න ඕනේ කියලා, ආණ්ඩුව කියනවා. ඒ කතාවට අපි එකඟයි. නමුත් එසේ කළ යුත්තේ, සේවකයන්ගේ ජීවිත මෙවැනි අවදානමකට ඇද දමලා නෙවෙයි. ආර්ථිකය රැකගන්නට කියලා, සේවකයන් බිල්ලට දෙන මේ කර්මාන්තශාලාවල වැඩපිළිවෙළ ගැන රජය මීට වඩා පියවර ගත යුතුයි.

දැනටමත් ඇඟලුම් සේවක සේවිකාවන් හය දෙනෙක් කොවීඩ් 19 හේතුවෙන් මිය ගිහින්. හාම්පුතුන් ගේ සිතැඟි පරිදි මේවා කරගෙන යන්නට ඉඩ දීමෙන් මිය යන්නේ, අසරණ සේවකයන්. කම්කරු අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කාර්ය සාධන කමිටුව ක්‍රියාත්මක කිරීමේ වගකීම් තිබෙන්නේ, කම්කරු දෙපාර්තමේන්තුවට. මේවා මේ විදියට වෙන්න ඇරලා, ඔවුන් නිශ්ශබ්දව සිටිනවා නම්, ඉදිරියේ දී ඇඟලුම් කර්මාන්තයේ සිදුවන සියලු මරණවලට වග කියන්න ඕනේ රජය.

රජයේ නීති රීති මැදිහත්වීම් නැති තැන, මේ මරණ ඉදිරියේ හාම්පුතුන්, කර්මාන්තකරුවන් නිකම්ම දෑත් පිහ දා ගන්නවා. අසරණ වෙන්නේ, ඒ ඇඟලුම් සේවිකාවන්ගෙන් යැපුණු වයසක දෙමවුපියන්, දූ දරුවන්.

රටට අපනයන ආදායම් ගේන මේ අය වෙනුවෙන් මැදිහත් වෙන එක රජයේ වගකීමක්..."

Comments