කොවිඩ් අස්සේ අහස උසට ගිය මස්-මාළු-කිරි-බිත්තර මිල | Page 2 | සිළුමිණ

කොවිඩ් අස්සේ අහස උසට ගිය මස්-මාළු-කිරි-බිත්තර මිල

වමේ සිට - අති­රේක ලේකම්- පශු සම්පත් වෛද්‍ය නිරෝ­ෂන් ගමගේ, අධ්‍යක්ෂ අභි­ජ­නන  වෛද්‍ය සාග­රිකා සුම­න­සේ­කර, නිලූකා ෆාම් හී අධි­පති එස්.එම්.ඒ.ඩබ්.මායා­දුන්න සහ සමස්ත ලංකා කුකුල් ව්‍යාපා­රි­ක­යන්ගේ සංග­මයේ  සභා­පති අජිත් ගුණ­සේ­කර

 

 

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සමඟ එය පාලනය සඳහා මුළු රටටම සංචරණ සීමා පනවා මේ වන විට සති තුනක පමණ කාලයක් ගත වී තිබේ. සංචරණ සීමා ක්‍රියාත්මක වීමත් සමඟ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සම්පාදනය සඳහා රජය විවිධ පියවර ගත් අතර එහිදී කිරි, බිත්තර, මස් හා මාළු වැනි ආහාර පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඒවා කඩිනමින් ජනතාවගේ පරිභෝජනය සඳහා සැපයීමටද කටයුතු යෙදුණු අතර, ඒ සඳහා ජංගම වෙළෙඳුන් වෙත විශේෂ අවසරයක්ද ලබා දෙන ලදී.

 

ඒ අනුව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි, බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී කිරි, බිත්තර හා මස් නිෂ්පාදන වෙළඳපොළ වෙත කඩිනමින් යොමුකිරීම සඳහා කටයුතු යොදා තිබුණු අතර අදාළ නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙඳුන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා පශු වෛද්‍ය කාර්යාල හරහා සෘජුව අවසර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී. යම් අයකුට කිරි, බිත්තර හා මස් ආශ්‍රිත නිෂ්පාදනවලට අමතරව සත්ත්ව ආහාර හා බෙහෙත් ප්‍රවාහනයට අවශ්‍ය අවසරයද ඉහත කාර්යාල මඟින් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර ජංගම එළවළු හා පලතුරු අලෙවි රථ පවත්වාගෙන යන රථ හිමියන්ට කිරි, බිත්තර,මස් හා මාළු අලෙවි කිරීම සඳහා ද අවසරය ලබා දීමට ද බලධාරීහු පියවර ගත්හ.

මේ ජංගම වෙළෙඳුන් සඳහා පැන නගින බාධා විසඳීම සම්බන්ධව ද පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සුවිශේෂ අවධානයක් යොමු කර තිබුණු අතර; විෂය භාර අමාත්‍ය ඩී බී හේරත්ගේ උපදෙස් මත ඒ සඳහා ක්‍රියාත්මක වීමට විශේෂ දුරකථන අංක තුනක් (3)ද හඳුන්වා දෙන ලදී. සංචරණ සීමා පැවැත්වෙන කාල සීමාව තුළ අවසර ගැනීම් සම්බන්ධව වෙළෙඳුන්ට මතුවන ගැටලු විසඳා දීම එහි ප්‍රමුඛ අරමුණ වූ අතර අතිරේක ලේකම්- පශු සම්පත් වෛද්‍ය නිරෝෂන් ගමගේ (දුරකථන අංකය- 0772672015), අධ්‍යක්ෂ- අභිජනන වෛද්‍ය සාගරිකා සුමනසේකර (දුරකථන අංකය- 0718101904 ) හා අධ්‍යක්ෂ ජනරාල්- සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෛද්‍ය හේමාලි කොතලාවල ( දුරකථන අංකය- 0718589004) දුරකථන අංක තුන මෙහිදී ප්‍රකාශයට පත් විය.

වසංගත රෝහ තත්ත්වයේ ව්‍යාප්තිය තුළ බාධාවකින් තොරව පාරිභෝගික ජනතාවට සිය නිෂ්පාදන සැපයීමට හැකි වීම පිළිබඳව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර "සිළුමිණ" සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සංචරණ සීමා ක්‍රියාත්මක කළ ද පාරිභෝගික ජනතාවට අවශ්‍ය කුකුළු මස්, බිත්තර, කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අඛණ්ඩව ලබා දීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති කාර්ය සාධක බළකාය හා පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය තම සංගමයෙන් ඉල්ලා සිටි බවයි.

එම කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසද ප්‍රකාශයට පත් කළ අතර තම සංගමයේ සාමාජිකයන් උනන්දුවෙන් යුතුව එම කටයුතුහි නිරත වන බවද ඔහු පැහැදිලි කළේය. කෙසේ වුවත් පවතින සංචරණ සීමා නිසා කුකුළු මස් නිෂ්පාදනය වැඩි වශයෙන් සිදු කෙරෙන ප්‍රදේශ වලට ගොස් එම නිෂ්පාදන මිලදී ගැනීම හා බෙදා හැරීම අසීරු කාර්යයක් වී ඇති බව ද; ඇතැම් අවස්ථාවල පාරිභෝගික ජනතාවට අලෙවි කර ගැනීමට නොහැකිව තම නිෂ්පාදන අපතේ දැමීමට සිදු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතාවගේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා සිය ගොවිපළවල් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද පැවැසූ සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර එම ගොවිපළවල් හි සේවයේ නිරත සියලුම සේවක සේවිකාවන් වෙත කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේදී ප්‍රමුඛස්ථානයක් ලබා දෙන ලෙසද රජයෙන් හා බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කළ අතර හිඟයකින් තොරව සිය නිෂ්පාදන පාරිභෝගිකයන්ට ලබා දෙන්නට ඒ අනුව පහසුවෙන්ම හැකියාව ලැබෙන බවද අවධාරණය කළේය.

පවතින වාතාවරණය තුළ කුකුළු මස් හා ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම හා එම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වන කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රකට ගොවිපළක් වන නිලූකා ෆාම් හී අධිපති එස්. එම්. ඒ. ඩබ්. මායාදුන්න සඳහන් කර සිටියේ සිය නිෂ්පාදන බෙදාහැරීමේදී හා ප්‍රවාහනයේදී මතු වන ගැටලු විසඳා දීම සඳහා හඳුන්වා දී ඇති වැඩපිළි‍ෙවළට තම ප්‍රසාදය පිරිනමන බවයි.

මේ වන විටත් ගොවිපළවල් හි කුකුළු මස්, කිරි හා බිත්තර නිෂ්පාදන තොග වශයෙන් ගොඩ ගැසී ඇති බව ද ප්‍රවාහනයේදී හා බෙදාහැරීමේදී එල්ල වී ඇති දුෂ්කරතා නිසා එම නිෂ්පාදන විශාල වශයෙන් අපතේ දැමීමට සිදුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ජංගම වෙළෙඳුන් සඳහා පැන නඟින බාධා විසඳීම සම්බන්ධව අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළි­‍ෙවළ පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යක්ෂ අභිජනන වෛද්‍ය සාගරිකා සුමනසේකර ප්‍රකාශ කර සිටියේ කොවිඩ් වසංගතය නිසා ව්‍යවසායකයන්ට නිෂ්පාදන අලෙවි කර ගැනීමට අසීරුතා මතු වී තිබීම පිළිබඳව අවධානය යොමු කරමින් කුකුළු මස්, බිත්තර, කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනයේදී ජංගම වෙළෙඳුන් මුහුණ දුන් ප්‍රශ්න ගණනාවක්ම දුරකථන අංක හඳුන්වා දීමේ වැඩපිළි­‍ෙවළ ක්‍රියාත්මක වීමෙන් පසු පහසුවෙන්ම විසඳා ගැනීමටද හැකියාව ලැබුණු බවයි.

අතිරේක ලේකම්- පශු සම්පත් වෛද්‍ය නිරෝෂන් ගමගේ ද මෙම වැඩසටහන් පිළිබඳව අදහස් දැක්වූ අතර එහිදී ඔහු අවධාරණය කර සිටියේ ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා මතු වුවද කුකුළු මස්, බිත්තර, කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත වන ව්‍යවසායකයන් ආරක්ෂා කර ගැනීමද පාරිභෝගික ජනතාවට අඛණ්ඩව එම නිෂ්පාදන සැපයීමද ඉලක්ක කර ගනිමින් අමාත්‍යාංශයක් ලෙස හැකි උපරිමයෙන්ම මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට කැපවීමෙන් කටයුතු කර ඇති බවයි.

කුකුළු මස් හා බිත්තර වැනි නිෂ්පාදනයන්හි මිල ගණන් මේ මොහොත වන විටත් විශාල වශයෙන් වැඩි වී ඇති බවට පාරිභෝගික ජනතාව චෝදනා කරන බවද පැවසූ ඔහු මෙම වැඩසටහන්හි සාර්ථකත්වය මත ඉදිරියේදී රටපුරා පාරිභෝගික ජනතාවට ඉතාම සාධාරණ මිල ගණන් යටතේ මෙම සියලුම නිෂ්පාදන මිලදී ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

 

Comments