පෑන අවි­යක් කර­ගත් පත්‍ර­ක­ලා­වේ­දියකුගේ සමු­ගැන්ම කුල­රත්න කුරු­කු­ල­සූ­රිය | Page 2 | සිළුමිණ

පෑන අවි­යක් කර­ගත් පත්‍ර­ක­ලා­වේ­දියකුගේ සමු­ගැන්ම කුල­රත්න කුරු­කු­ල­සූ­රිය

කොරෝ­නා­වට ගොදsු වූ කුල­රත්න කුරු­කු­ල­සූ­රිය මාධ්‍යෙ­ව්දියා

 

සිරිල් ලියනාරච්චි

 

මිනිස්සු එති... යති... එහෙත් ලෝකය හැල්මේ ගමන් කරයි. මේ අය අතරින් සමහරුන් ඉතිහාසයේ මතකයේ ගිලී යන අතර ඇතමෙක් ජනහදවතේ ගැඹුරින් නිදන් වෙති. එබඳු එක්තරා විශේෂී චරිතයක් පසුගියදා අනපේක්ෂිත ලෙස බිහිසුණු කොවිඩ් මාරයා ගේ වසඟයට පත්ව මැයි 29 දිවියෙන් සමුගත්තේය.

 

ඒ අන් කිසිවෙක් නොව පත්තර සගයන් අතර ‘කුලේ’ යන ආදර නාමයෙන් හැඳින්වුණ පාණදුරේ කුලරත්න කුරුකුලසූරියයි. දින තුන හතරක් තුළදී තමා එම මාරක රෝගයට ගොදුරු වුණ බව නොදැනම ඔහු නික්ම ගියේය. ඔහු අප අතරින් වෙන්ව ගියත්, ඔහු වෙන්ව ගිය බව කිසිවකුට නොහැඟෙයි. ඒ ජනතාවගේ දුක, කඳුළ, සුසුම හා අසාධාරණය කොතැනද ඔහු එතැන සිටි නිසාය.

ඔහුගේ පෑන තියුණු කඩුවක් මෙන් අසාධාරණය හමුවේ නිබඳවම එසවුණේ ය.

පාණදුරේ සාගර මාවතේ පදිංචිව සිටි කුරුකුලසූරිය ගේ තෝමිස් පෙරේරා හා ටී. ගේටින් ප්‍රනාන්දු යන මාපිය යුවළට දාව පවුලේ අට වැනි දරුවා හැටියට කුලරත්න කුරුකුලසූරිය 1944 ජූලි මස 02 දා උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ පාණදුරේ උපාධ්‍යාය විදුහලෙනි. ඔහු විවාහ වී සිටියේ බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල විෂය භාර අධ්‍යක්ෂවරිය (විශ්‍රාමික) වන කාංචනා මාධවී කුරුකුලසූරිය සමඟ ය. එකම පුතා කලක් දිවයින පත්‍රයේ මාධ්‍යවේදියකු මෙන් ම, ධීවර අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම්වරයකු වන අංජන කෞෂල්‍ය කුරුකුලසූරිය යි.

ලේඛන කලාවට කිසිදු නෑකමක් නැති පවුලක නව දෙනෙකුගෙන් යුතු පවුලේ අටවැනියා ලෙස උපත ලැබූ කුලරත්න කුරුකුලසූරිය පෑන අතට ගත්තේත් පුංචි කාලයේදී ස්වකීය සහෝදරයකුට සිදුවූ බලවත් අසාධාරණයක් නිසාය. ඔහුගේ බාල මල්ලී සෙල්ලම් කළ බෝලය ඇදී ගියේ අසල තිබූ පොලිස් අධිකාරිතුමා ගේ බංගලාව පිහිටි වත්තටය. කොලු කුරුට්ටෝ බෝලය හඹා ගිය අතර කෝපවූ පොලිස් අධිකාරිවරයා කොලු රෑන පන්නා ආවේය. සියල්ලන් ම පසුනොබලා හැරී දිව ගිය අතර, දස වියැති සොහොයුරා පොලිස් ග්‍රහණයට හසුවුණේය. දරුවාට අසල තිබූ පොල් ගසක් බදා ගන්නට නියම කළ අධිකාරිවරයා, තම අසුන්ට තලන කසයෙන් පුංචි දරුවාට ප්‍රහාර එල්ල කළේය.

දරුවා මර වේදනාවෙන් මර හඬ තලද්දී, ඔහු ජයග්‍රාහී ලීලාවෙන් ඉවතට ගියේය. අහිංසක ගැමියන් වූ දරුවාගේ දෙමාපියන්ට කලුගලේ ඔළුව ගසා ගන්නට බැරි වුණත්, ඔවුහු අසාධාරණය හමුවේ නීතියේ පිළිසරණ පතා උසාවි ග‍ියේය, වැඩිහිටියන් ඒ මඟ යද්දී, කුඩා දරුවා ගේ අයියා වූ එවකට ‍පහළොස් හැවිරිදි කුලරත්න පිහිට පතා දිව ගියේ, ගමේ ජීවත්වූ පත්‍රකලාවේදියකු වන ආතර් යූ. අමරසේන වෙතය. මේ අසාධාරණය ලෝකයට හෙළි කළ යුතු බව ඔහුගේ පුංචි හිත හඬගා කිව්වේය.

එහි අවසාන ප්‍රතිඵලය වූයේ පොලිස් අධිකාරිවරයාට එරෙහිව දරුවා ගේ පියා උසාවි යෑමත්, ‘සුනිල් නඩු කියයි’ යන සිරස්තලය යටතේ එවක තිබූ පුවත්පතක ප්‍රවෘත්තියක් පලවීමත් ය. නඩු වාර්තා පත්‍රවල පළවූ අතර නඩුවෙවන් පසු, පොලිස් අධිකාරිවරයා සේවයෙන් ඉවත්ව ගිය අතර තව අහඹු සිදුවීමක් සිදුවුණේ ය‍. ඒ පත්‍ර කලාවේ අංකුරයක් මතු වීමය. ඒ අන් කිසිවෙක් නොව කුලරත්න කුරුකුලසූරියයි.

හෙතෙම එවකට පාණදුරේ ඓතිහාසික රන්කොත් විහාර පින්බිම ඇසුරේ තිබූ උපාධ්‍යාය පාසලේ ජ්‍යෙෂ්ඨ පංතියේ සිසුවකු විය. ඔහු පාසල් සාහිත්‍ය සංගමයේ සභාපති ලෙස ‘රිදී සීනු’ නමින් පාසල් සඟරාවක් ද පළ කළේය. ආතර් යූ. අමරසේන අතදීම නිසා ඔහුට ‘දවස’ පත්‍රයේ රෝහණ ගමගේ හමුවට යාමට මග පෑදුණේය‍. එහි අවසාන ප්‍රතිඵලය වූයේ වසර විස්සක් වනවිට ම පත්‍ර කලා ලෝකයට පා නැගීමට ඔහුට මංපෙත් විවර වීමය.

ලියන එක වචන පේළියකට සත හතර ගණනේ ලබාගැනීමට කැමැත්ත පිට දවසට බැඳී දවස, සවස ආදී පත්තරවල අධිකරණ වාර්තාකරුවකු හැටියට පන්නරය ලැබූ ඔහු ලංකාදීප, ලේක්හවුස්, ලක්බිම, නවලිය හා දිවයින පත්‍රවල සිය මෙහෙවර ඉටු කළේය. එහෙත් ඔහුගේ පත්තර ලෝකයේ නිම්වළලු පුළුල් වූයේ ලියන්නට නිදහස අතදිගහැර ලබාදුන් ‘දිවයින’ වහල යට ය.

දිවයින කර්තෘ එඩ්මන් රණසිංහ වරක් පැවසූ පරිදි ඔහු ඉතාමත් දක්ෂ අධිකරණ වාර්තාකරුවෙකි. විශේෂාංග ලේඛකයෙකි. එමෙන් ම ගවේෂණාත්මක පුවත්පත් කලාව ප්‍රිය කරන්නෙකි. බලය ඇත්තවුන් හා බලය අහිමිවූවන් අතර මතුවන ගැටලුවලදී ඔහුගේ පෑන නිතැතින්ම එක්වුණේ පීඩාවට ලක්වූ පාර්ශ්වයට යහපතක් වන ආකාරයෙනි.

වරක් ව්‍යාපාරික ධනපති තරුණයෙක් අහිංසක ගැමි යුවතියකට අතවරයක් සිදු කළේ ය. මෙහිදී පොලිසිය ද ධනවතාගේ පැත්ත ගත්තේය. කෙසේ හෝ නඩු විභාගයේදී නීතිපතිවරයා ද ඊට මැදිහත් විය. ඒ පැමිණිල්ල පැත්තට නොවේ. ධනවතාගේ පැත්තට ය‍. එදා කුරුකුලසූරිය මේ අසාධාරණය හමුවේ සිය පෑන මෙහෙයවා “ඇයට යුක්තිය ඉටු කරනු” මැයෙන් දිවයින ඉරිදා සංග්‍රහයට විශේෂ ලිපියක් ලීවා අපට මතකය‍. හදිසි බලවතුන් විසින් ස්වාභාවික මරණයක් හැටියට පෙන්වා යටකර දැමීමට උත්සාහ කළ ‘දෙනගම ඥානවතී’ නමැති අසරණ තරුණියන් වැනි තවත් අයගේ ඝාතනයන් පිළිබඳව සත්‍ය සොයා ලොවට හෙළිකරදී ඔවුනට සාධාරණත්වය ඉටුකරදීමට කුරුකුලසූරිය දැක්වූ එඩිතර භාවය අපට කිසිදින අමතක කළ නොහැක.

1989 දී රටපුරා මුදාහළ භීෂණයේ ගොදුරු බවට පත් ඇඹිලිපිටියේ අහිංසක සිසු දරුවන් 48 දෙනාහට යුක්තිය හා සාධාරණත්වය ඉටුකර දීමට ඔහු ක්‍රියා කළේ ‘මරණය’ හිස මත තබාගෙන ය. එමෙන් ම වසරක් පුරා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයෙහි ‘භීෂණයක සටහන්’ ලිපි පෙළ ද, හෝකන්දර එස්සැල්ලේ හා එප්පාවල සමූහ මිනිස් ඝාතන පිළිබඳව ද උසාවියෙන් ඇසෙන කතා හා ‘කිරිදරුවන් විකුණූ අම්මලා’ පිළිබඳව ද ඔහු ලියූ ලිපි පාඨකයින්ගේ හද බැඳගත්තේ ය. බෙහෙවින් අවංකව, පැවරුණු වගකීම් මැනවින් ඉටුකරන එඩිතර නිර්භීත පත්‍රකලාවේදීන් එදාටත් වඩා අද අවශ්‍ය යුගයකි.

හම්බන්තොට ග්‍රේෂන් නමැති තරුණයාගේ ඝාතනය, එවකට මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ උඩුගම රෝහලේ දොස්තරට කළ අමානුෂික පොලිස් පහරදීම ඔහුගේ පෑනට හසුවුණ සිදුවීම් ය. ප්‍රවෘත්ති හඹා යෑමේදී ඔහුට හතුරෙකු, මිතුරෙකු යැයි වෙනසක් නොවීය. ඔහු දුටුවේ අසාධාරණය පමණකි.

කුලරත්න පාණදු‍රේ ග‍ඟේ පාවී යන නන්නාඳුනන තරුණ මළ සිරුර ගැන දිවයිනට ලිව්වේය.එහි අවසානය බියකරු විය. 1991 වෙසක් පුර පසළොස්වක දින ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූයේ මේ පුවත ලියා දැක්වීම නිසා ය. හරියටම මාසයක් යනතුරු ඔහු පාණදුර පොලිස් අත්අඩංගුවේ සිටියේය. මසකට පසු ජූනි මාසයේ අග දිනක ඔහු එළියට ආවේ නඩුත් නැතිවය.

එළියට ආ සැනින් ඔහු භීෂණයක සටහන් විශේෂාංගයට තොරතුරු සොයා රටපුරා ගියේය. ගම්මාන පිටින් සමූල ඝාතනයට ලක් කළ මහනුවර, දිගන, මහවත්ත ප්‍රදේශවල මවුවරුන්ගේ කඳුළු කතාවලට සවන්දී ඔහු ඒවා ජීවමාන ලෙස දිවයින හරහා ජනතාව වෙත ප්‍රවේශ කළේය.

ඇඹිලිපිටියේ දරුවන් 48 දෙනා පණ පිටින් මරා පුච්චා දමමින් කළ සංහාරයේ වංහුං සොයා ඒ ප්‍රදේශයේ තේක්ක කැළේ හා ඒවා ඇසූ දුටුවන්ගේ ශෝකාලාප දෑසින් දැක, කනින් අසා ලියූ විශේෂාංග ඇසුරු කොට සංවේදී තොරතුරු එක් රැස්කොට කෘතියක් සම්පාදනය කළේය.

පොදු මානව සංහතියේ අභිවර්ධනය උදෙසා පෑන මෙහෙයවන පත්‍ර කලාවේදීන් විරල යුගයක ඔහුගේ සේවය අගය මෙපමණකැ’යි කිව නොහැකි ය.

මරණයේ තර්ජන ලුහු බැඳ එද්දී ජනතාව වෙනුවෙන් සත්‍ය හෙළි කිරීමට තරම් එඩිතර පත්‍ර කලාවේදි‍යකු වූ කුලරත්න කුරුකුලසූරිය වැන්නවුන් අප අතර සිටීම ද භාග්‍යයකි. අසත්‍යය හා අසාධාරණය දැක දැකත්, එයට එරෙහිව හඬක් නොනඟන අය ජීවත්වීමේ භාග්‍යය පසක් කරදීමට ඔහු ඉවහල් විය. ඔහු කිවයුත්ත එඩිතරව පවසයි. කිසිවකුගේ මනාපයක් හෝ අමනාපයක් ගැන හෝ තැකීමක් නොකරයි. ඔහුගේ පෑන ඉතා ප්‍රබල ය. ප්‍රශ්නයේ මුලටම ඔහු පහර දෙයි. ඔහු පැතුවේ එකම දෙයක් පමණි. එනම් සමාජ සාධාරණත්වයයි. ඔහුගේ ජීවන ගමනේ එකම සටනත් එයයි. ඔහු කිසි දිනෙක කිසිවෙකුට හිස නැමුවේ නැත. ඔහු මුදල් පිටුපස හඹා ගිය කෙනෙක් නොවේ. ධාර්මිකව ලැබුණ දෙයකින් පමණක් සිය දිවි මඟ සරුකර ගත්තේ ය.

“හැටේ දශකයේ මුල් භාගයේ උසාවිවල නඩු විභාග වාර්තාකරණය නව මඟකට යොමු කිරීමට ‘පෙරගමන් කරුවා’ වූයේ ‘දවස’ හා ‘සවස’ පුවත්පත් ය. ඒ කාර්ය මනාව හැඳින වාර්තා කළ ප්‍රාදේශීය වාර්තාකරුවන් අතුරින් එක් අයකු කැපී පෙනුණි. ඒ කුලරත්න කුරුකුලසූරිය යොවුන් තරුණයා යි.

රට හෙල්ලූ නඩු තීන්දු ප්‍රකාශයට පත් කළ පාණදුර ‍මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්න මහතා හා මාලනී ගුණරත්න වැදගත් සාධාරණ යුක්තිය පසිඳලීම් හමුවේ මොහු ‍බෙහෙවින් සංවේදී විය. ඒවායින් මතුවූ යට කියැවෙන කතා පාදක කරගෙන ඔහු ‘උසාවියෙන් ඇසෙන කතා’ දිනපතා දිවයින පාඨකයින් වෙත ප්‍රවේශ කළේ ය. කොස් ගෙඩියක් කඩා ගත් අසරණයකුට සිදුවූ ජීවිත හානිය ඔහු කම්පාවට පත් කළේය. මහානාම තිලකරත්න විනිසුරුවරයා ලබාදුන් නඩු තීන්දුව පාදක කොටගෙන ඔහු, ‘කොස් ගෙඩිය මිනී මරයි’ යනුවෙන් ලියූ කඳුළු කතාව දිනපතා දිවයින පාඨකයින් ප්‍රකම්පනයට පත් කළේය.

කුලරත්න මහතා ලේඛනයට පමණක් නොව මනා සංවිධාන ශක්තියෙන් හෙබි කටයුතු කිරීමේ ශූරයෙකි. සමාජ‍ සේවාවන්හිදී කැපී පෙනුණ ඔහු දේශහිතෛෂී ජාතික සංවිධානයේ ලේකම් පදවිය ද හෙබවූයේය. යුද්ධය කෙරෙන කාලයේ ඔහු පාණදුරේ ‘මහනෙල් මල් ව්‍යාපාරයේ’ අරමුදල් රැස්කිරීමේ කාර්ය පටන් ගත්තේ පාණදුරේ එවක සිටි මහාධිකරණ විනිසුරු මාලිනී ගුණරත්න ආශිර්වාදය ඇතිව පාණදුරේ උසාවි සංකීර්ණයෙනි.

පාණදුරේ ප්‍රමුඛ බැංකු, දානපතියන් ගේ ආශිර්වාදයෙන් ඔහු එකී මෙහෙවර සිය කළුතර දිස්ත්‍රික් සංවිධානයේ සෙසු නිලධාරීන් හා සාමාජිකයින් සමඟ උරෙනුර ගැටී ඉටු කළේ ය.

 

Comments