
“මහ මුදලිතුමයි ගම්මුලාදැනිතුමයි අපට පයින්ඩයක් එවලා තිබුණා නෙවැ ඔබතුමන්ව බැහැදකින්න කියල.”
“මෙච්චර සේනාවකට මම එන්ට කිව්වෙ නැහැ නෙව,” කීවේ හෙන්රි පාකර් (Henry Parker) මහතා ය. මේ කියන කාල වකවානුවේදි පාකර් මහතා නියැළී සිටියේ සිංහල ගැමි කතන්දර එකතු කිරීමෙහි ය. සිංහලෙන් අසා දැන ඒවා සරල ඉංග්‍රීසි බසට නැගීමට පාකර් මහතා තුළ තිබුණේ පුදුමාකාර ඇල්මකි.
“මෙච්චර සේනාවක් ආවට කමක් නෑ, ඒත් මෙතැන ඉන්නවාද කතන්දර කියන්න පුළුවන් අය?”
“ඉන්නවා,” කීවේ ගැමි නායකයා ය.
“අනිත් අය හිටියට කමක් නැහැ. කෝ බලන්න මේ මගේ ගාවට එන්න කතන්දර කියන්න පුළුවන් අය.”
වැඩිමහල් පිරිමි කීප දෙනෙක් පාකර් මහතා සමීපයට ගියහ.
“අපි ඉස්තෝප්පුවට යමු. ගිහිල්ල අපේ වැඩේ පටන් ගනිමු.”
පාකර් මහතාගේ කීමට අවනත වූ පිරිමි ටික ඉස්තෝප්පුවට ආහ. පාකර් මහතාගේ බංගලාවේ ආරච්චිල, නිල ඇඳුමෙන්ම සැරසී ඔවුන් හමුවේ පෙනී සිටින අයුරු පෙනින.
“ආරච්චිල, මේ වැඩේට අපට උපකාර කරාවි. හොඳයි. දවසකට එක ගානේ හොඳවයින් කතන්දර කිව්වත් කමක් නැහැ.”
හෙන්රි පාකර් මහතාට දැන් දැන් අපූරුවට සිංහල කට වහර හුරු බවක් කාටත් පෙන්නුම් කෙරිණ.
“කවුරු කවුරුත් මේ වැඩේට බාධා කරන්න එපා. අපේ ඒජන්තතුමා කරන්නේ බැරැරුම් කාරියක්,” කීවේ ආරච්චිල.
තමන් මෙතැනට නුවුවමනා බව දැනුණු ඇතැම්හු දිසාපති උයනේ ගස් යටට ගියහ. එහෙත් තම ගැමි නායකයා අද මේ මොහොතේ කියන්නට යන්නේ මොන කතාවක්දැයි බලාගැනීමේ දැඩි ඇල්මක් ඇති විය.
“උන්දැ කියන්නට යන්නේ අමල්බිසෝ කතාව ලු,” එක් ගැමියෙක් අනිත් ගැමියාට පවසනු ඇසිණ.
“නයිදේ ගුරුන්නාන්සේ කතන්දර කියන්න රුසියා.”
“ඒක මුළු ගම් දනව්වම දන්නවා.”
“ලොකු ඉස්කෝලෙ මහත්තයත් ඇවිල්ල උන්දැගෙන් කතන්දර අහගෙන යනවාලු.”
පාකර් මහත්මයා කලින්ම තම ආරච්චිලට පැවසූ දේ කාටත් ඇසිණ.
“නයිදේ උන්නැහැ කියන දේවල් වලට මම ඇහුම්කන් දෙන ගමන්ම ලියා ගන්නවා. පස්සේ මම ඇහුම්කන් දුන් දේවල් වෙනම අලුතින් ලියනවා.”
“ඕන්න පින් කරන ලොකු මහත්තයෝ, ‘අමල්බිසෝ’ය කියන්නේත් ‘එමල් බිසෝය’ කියන්නේත් එකම බිලිඳු කෙලිපැටික්කයෙකුට. ඒකිව හදා වඩා ගත්තේ ඇල් හේනෙන් අහුලල කවුද දන්නවායැ... හිතාගන්ඩත් බැරි දෙයක්...”
කතාව ටිකින් ටික දිග හැරේ.
පාකර් මහත්මයා ඉගෙනුම ලබන්නේ සිංහල ගැමි කතා කලාව පමණක් නොවේ. ඔහු කෙමෙන් සිංහල බසත් එහි ඇති විවිධ ශක්තීන්ද වටහා ගැනීමට වෑයම් කරයි.
“නයිදේ හොඳ කතන්දරකාරයා...” පාකර් මහතා පසුව පවසන්නේ තම නිල සේවකයාට ය.
කතන්දරකාරයාගේ කාර්යය එතෙකින් කෙළවර නොවේ. මේ සිදුවන්නේ කුමක් ද?
පළමුව කතන්දර කියාගෙන ආ නයිදේ සමඟ තව තවත් කතාකරුවෝ බිහි වෙති. අලුත් අලුත් කතා සොයා ගැනේ. කෙළවරක් නැති ‘ගමරාල කතා’ කෙරෙහි පාකර් මහතා දක්වන්නේ පුදුමාකාර උනන්දුවකි.
හෙන්රි පාකර් මහතා සිංහලෙන් කට වහරින් ඇසූ ගැමි කතන්දර එහි කතා රටාව නොනසා ඔහු අතින්ම ඉංග්‍රීසියට පරිවර්තනය විය.
කනින් අසා අතින් ලියන කතන්දරවලින් පුදුමාකාර සන්නිවේදන කාර්යයක් ඉටු කරවා ගැනීමට පුළුවන් බව මා සමඟ පැවැසුවේ ලෙස්ටර් විශ්ව විද්‍යාලයේ සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයකු වූ ජේම්ස් ඩී හැලොරාන් (James D Halloran) මහතා ය.
“ජනසමූහයකගේ සිතුම් පැතුම්, අපේක්ෂා, ඇලුම් බැලුම්, ඇදහිලි, ඇවතුම්, පැවැතුම් යන හැම දෙයක්ම ඒ ජනතාව සතු ගැමි කතන්දර වලින් උගත හැකියි,” හැලොරාන් මහතා තවදුරටත් මට පැවැසූ බව මතක ය.
ගැමි කතාකරවැා,
ජගත් නිමැවුම්කරුවා,
ඔහු මුවින් බිහි වූ වැකිය සුන්දර වූවා.
සුන්දර නිමැවුමෙන් ලොව පහළ ජඩකම් මුලින් උදුරා දැමුණා.
යුද බිය නැති වුණා.
ගිලන් බිය නැති වුණා.
ඉසිවර දැක්මකින් සියල් සත සිත් නිවුණා.