වසර 37කට පෙර සිදුවූ අදටත් අභිරහසක්වූ උපාලි අතුරුදහන් වීම | Page 2 | සිළුමිණ

වසර 37කට පෙර සිදුවූ අදටත් අභිරහසක්වූ උපාලි අතුරුදහන් වීම

සර් ජෝන් කොතලාවලගේ ජීවිතයේ සුවිශේෂ සිද්ධීන් පිළිබඳව සතිපතා සිළුමිණට ඉදිරිපත් කළ ලිපි පෙළ ආසාවෙන් කියවා බැලූ එක් පාඨකයකු වූයේ උපාලි විජයවර්ධනය. එක් සැඳෑවක තර්ස්ටන් පාරේ පිහිටි ඔහුගේ නිවහනෙහි කතා බස් කරමින් සිටියදී සර් ජෝන් ගැන ඔහු අරුම පුදුම කතාවක් කීවේය. “එක දවසක් තමා අසු පිටින් කඳවල වත්තට ගිය වෙලේ සර් ජෝන් කොතලාවල පළාතම දෙදරවන තරම් මහ හඬින් තම නිවහනට කැඳවාගෙන විත් කාගේ අවසරයකින් කඳවල වත්තට අශ්වයකු පිටින් පැමිණියේ ඇයි දැයි විමසීය. නම ගම හෙළි කළ පසුව තමා සමඟ දැඩි මිත්‍රත්වයකට පත්ව පෝලෝ ක්‍රීඩාවට ආරාධනා කළ අයුරු ද උපාලි හෙළි කළේය. සර් ජෝන්ගේ මෙන් තමාගේ චරිත කතාව ද ලියාදෙන හැටියට උපාලි ඉල්ලීමක් කළේය.

පසුවදාම මම කඹුරුපිටියට ගියේ උපාලිගේ හිතෛෂිවන්ත සගයා වූ ධර්මසේන අතපත්තු මහතා සමඟය.

ඒ උපාලිගේ පෞද්ගලික පරිහරණයට තිබුණු මෝටර් රථයෙනි. ළමා කාලය ගත කළ කඹුරුපිටියේ එදාවන විට ජීවත්වූ දහ දොළොස් දෙනෙකු හමුවී ඔවුන්ගෙන් තොරතුරු විමසා බැලීම ගමනේ අරමුණ විය.

මේ ලිපිය සැකසෙන්නේ එකල සොයා ගිය තොරතුරු සමඟිනි. කඹුරුපිටිය පළාතේ විදුහල්පතිනියක ලෙස කටයුතු කොට විශ්‍රාම ලබා සිටි වයස අවු.70 පමණ වූ ඒ.ආර්.කේ. නිශ්ශංක මහත්මිය උපාලිගේ අතපොත් තැබූ ගුරුවරියයි. ඇය තමාගෙන් මූලික අධ­්‍යාපනය ලැබූ ශිෂ්‍යා ගැන එදා පැවැසුවේ ආඩම්බරයෙනි.

“මගේ ඉස්කෝලෙ රස්සාවෙන් මා ලබපු ලොකුම සතුට උපාලි වගේ කෙනෙකුට අකුරු කියවන්න මම වාසනාවන්තියක් වීමයි. මට මතකයි සරත් විජයසිංහ මහත්තය (උපාලි විජයවර්ධනගේ මාමා) ඉස්සර වෙලාම මාව හම්බවෙන්න ආවා. අපේ අක්කගේ පුතා ගෙදර අය සමඟ කොළඹ ඉඳලා ඇවිත් ඉන්නව. යුද්ධ කලබල ඉවර වෙනකම්. ඉස්කෝලේ නෝනට පුළුවන්ද එයාට අකුරු කියලා දෙන්න. කියලා සරත් විජයසිංහ මහතා මගෙන් ඇසුවා.

මම හොඳ නැකත් වෙලාවකයි උපාලිට අකුරු ඉගැන්නුවෙ මුලින්ම“අ“ යන්න කියා දුන්න. උපාලි මගෙන් ඇහුව ඊළඟ අකුර මොකද්ද කියලා. මම ඊළඟට “ආ“ යන්න කියා දුන්නා. අකුරු දෙක දිහා ටිකක් වෙලා බලා උපාලි අ, ආ අකුර දෙක ගල් ලෑල්ලෙ රවුම් අකුරෙන් ලිව්වා. මම ඇහුවා පුතා කලින් අකුරු ලියලා තියෙනවද කියලා. ඒත් කවදාවත් මීට කලින් උපාලි අකුරු ලියා නෑ. මම හිතන්නේ ඒක පෙර පුරුද්දක් වෙන්න ඇති. මුළු හෝඩියම සුමාන දෙකක් යනකොට දන්නවා. “මම උපාලිට උගන්වන්න වැඩියෙන් ආසා වුණේ ඒ නිසයි. දවසක් උපාලි මගෙන් අහනවා ඇයි මූර්ධජ “ණ“ යන්නකුයි, දන්තජ “න“ යන්නයි කියලා දෙකක් තියෙන්නේ කියලා. කොහොම කීවත් එන්නේ එකම සද්දෙ නම් ලියනකොට අකුරු දෙකක් ලියන්නේ මොකටද මොන තේරුමකටද කියලා අහනවා.

මම මේ වනතුරු මේ වගේ දරුවකුට අකුරු කියා දීලා නෑ. හැම වෙලාවෙම තිබුණෙ විමසිල්ල. ඉහළ පන්තිවල ඉගෙන ගත්ත ළමයින්ටත් වඩා තර්ක කිරීමේ ශක්තිය පුංචිම දවස්වල ඉඳල උපාලි ළඟ තිබුණා. පන්තියේ වැඩ ඉවර වුණාම ගෙදර වැඩ දෙනවා. ගෙදර වැඩ දීලා පැය භාගයකට කලින් ඒක ඉවර කරලා මම ළඟට දුවගෙන එනවා.

කඹුරුපිටියේ ජීවිතය උපාලි විජයවර්ධනගේ දිවි මගෙහි පෙර මඟ ලෙස හැදින්වීමේ වරදක් නැත. එම යුගයේ මිරිස්වත්ත වළව්වේ උපාලි දරුවාට සමීප ඇසුරකින් කල් ගෙවූ ගෙදර මුරකරුවකු වූ අන්දුයස් ද උපාලිගේ අතීත සිද්ධීන් මෙලෙස විස්තර කළේය.

කඹුරුපිටියෙන් කොළඹට ආ උපාලි තම වැඩමල් අක්කලා දෙන්නා වන අනෝජා සහ කල්‍යාණි සමඟ මුල් පාසල් අධ්‍යාපනය ලබන්නට ගියේ කොළඹ කාන්තා විද්‍යාලයටය. කාන්තා විද්‍යාලය කාන්තාවනට පමණක් වෙන් වුවත් පහළ පන්තිවල පිරිමි ළමයි කිහිප දෙනෙක් විය. එහි උගත් තම හොඳම මිතුරාව සිටියේ ලලිත් ඇතුළත්මුදලි මහතාය. පසුව රාජකීය විද්‍යාලයට උපාලි ඇතුළත් කෙරිණි.

1948වසරේදී උපාලිගේ පන්ති භාර ගුරුතුමා වූ දයා බණ්ඩාරනායකට හොඳ අදහසක් පහළ විය. ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාව නිසා පන්තියේත් ඡන්දයක් පැවැත්විය යුතු යැයි ඔහු නිගමනයකට එළැඹියේය. මන්ත්‍රීවරයා තෝරන්නේ දේශපාලන පක්ෂවලින් රහස් ඡන්දයෙනි. ඡන්දදායකයන් පෝලිමේ පැමිණ ඡන්දය දෙන්නට විය. ගුරුවරයා ඡන්ද නිලධාරීයාය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ උපාලි විජයවර්ධන ඡන්දයෙන් ජය ලබා තිබිණි.

අකුරැස්සට තිබූ ඡන්ද විමසීමට දොස්තර වික්‍රමසිංහයන්ගේ බිරිඳ වූ ඩොරින් වික්‍රමසිංහ සමඟ සිය මාමා වූ සරත් විජයසිංහ තරග වැදුණි. ( දොස්තර සරත් විජයසිංහගේ මස්සිනාය) මේ කාලයේ මිරිස්වත්ත වලව්ව ගම්වැසියන්ගෙන් පිරී ගියේය. ඡන්දය ළං වෙත්ම දවස පුරා හාල් ගෝනි කීපයකට බත් මුට්ටි කුස්සියේ ඉදෙන හැටි පවුලේ අය සතුටින් සිහිපත් කරති.

එදා කුස්සියේ වැඩ කිරීමට මිනිසුන් හතළිහක් පනහක් එක්ව සිටියහ. ගෙදරට පැමිණි ඡන්ද දායකයන්ගෙන් හරි අඩක් වත් සරත් විජයසිංහ මහතාට ඡන්ද දුන්නේ නම් නිසැකවම ජයග්‍රහණය කරන්න තිබුණි.

ඡන්ද ප්‍රතිඵලවලින් නිසැකව තම මාමා ජය ගනීවි යැයි සිතූ උපාලි පන්තියේ මිතුරන් සමඟ නිතර මේ ගැන කතා කළේය. එක මිතුරෙක් සමඟ ඔහු තම මාමා දිනන බවට රුපියල් දෙකක ඔට්ටුවක් ඇල්ලිණි. පසුදා ඔහු මුලින්ම කළේ පරාජය පිළිගෙන ඔට්ටු ඇල්ලූ මිතුරාට රුපියල් දෙක දීමය. රාජකීය විද්‍යාලයේ උපාලිගේ හොඳම මිතුරා වූ ලලිත් ඇතුළත්මුදලි ඔහු ජීවත්ව සිටියදී උපාලි විජයවර්ධන පැවැසු කතා කිහිපයක් මට අදත් මතකය.

“මම එංගලන්තයට ගියේ උපාලිට වැඩිය අවුරුදු දෙකක් පහුවෙලා. උපාලි 1953 දී ගියා. මම ගියේ 1955 දී. මම එංගලන්තයට ඉගෙන ගන්න එනවා කියලා දැනගෙන උපාලි මට අවවාද කරල ලියුමක් එවල තිබුණා. එංගලන්තය මේ වගේ රටක්. ලංකාවේ ළමයින්ට එංගලන්තයේදී ඇතිවන ප්‍රශ්න, ඒ රටේදී සිටිය යුතු පිළිවෙළ ආදිය සඳහන් කර ඔහු මට ලිපියක් එව්වා.

පුංචි කාලෙ අපි එක එක්කෙනා ලොකු මිනිස්සු වෙලා කරන දේවල් ගැන කතා කළා. මම කීවා මම කවදහරි නීතීඥයෙක් වෙනව කියලා. උපාලිගෙ වාරෙ ආව. උපාලි කල්පනා කරන්න ගත්තා.

“මම රස්සාවක් කරන්නේ නෑ. මම ලක්ෂපතියෙක් වෙනවා.“

අපි ඔක්කොම හිනාවුණා. අපේ යාළුවෙක් ඇහුවා, වයස කීයෙදිද කියලා.

“අවුරුදු විසිහය වනවිට මම ලක්ෂපතියෙක් වෙනවා.“ උපාලි කිවුවා.“

රාජකීය විද්‍යාලයේ ඉගෙන ගනිද්දී උපාලිගේ සිත තදින්ම බැඳගත්තේ අශ්වයන් බැලීමටය. පාසලට අල්ලපු වත්තේ ඇති රේස් කෝස්වල දුවන අසුන් බැලීමෙන් සතුටට පත් නොවූ ඔහු වාර්ෂිකව ගාල්ලේ බූස්සේ රේස් බලන්නටද ගියේය. එක් වරක් මිතුරන් පිරිවරාගෙන බූස්සේ ගිය උපාලි රේස් නිමවූ විට අවට පළාත්වල ඇවිදීමට ගියේය. මේ කාලයේ සුදු ජාතිකයන්ට අයත් වූ නාකියාදෙනිය වත්ත මේ පිරිසගේ සිතට තදින්ම ඇද බැඳ ගත් දර්ශනයක් විය. පිළිවෙළකට වගා කළ නාකියාදෙනිය වත්ත අක්කර 1800ක් පමණ විය. ගාලු පළාතේ තිබුණු මෙය ලංකාවේ හොඳම වතු අතර මුල්තැනක් හිමි කර ගත්තක් විය. මෙය නැරඹීමෙන් සතුටක් විඳි ඔවුහු එහි දිනක් ගත කළහ.

“මොකද බර කල්පනාවක වගේ නාකියාදෙනිය වත්තේ හැඩ වැඩ බලමින් සිටි උපාලිගෙන් එක් මිතුරකු ඇසීය. මම කවදාහරි මේ වත්ත සල්ලිවලට ගන්නව. ඒකයි කල්පනාව. “මිතුරෝ සිනාසුනහ. හඬනඟා සිනාසුනහ.“ (එහෙත් එදා සිට අවුරුදු 20ක් යන්නට පෙර උපාලි විජයවර්ධන එම නාකියාදෙනිය වත්තේ හිමිකරු විය.) කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ දෙවන පන්තියේ ගෞරව උපාධිධරයකු වශයෙන් සමත්වී ලංකාවට එන විට ත්‍යාගයක් ලෙස මව විසින් එම්.ජී වර්ගයේ රේසින් කාර් එකක් ලබාදී තිබුණි. අලුත් මෝටර් රියෙන්ම මෙරටට ඒමට සිතූ ඔහු මාගස්තොටදී කාර් රේස් එකක් තිබෙන බවට ලද ආරංචියකින් එහි ගොස් සුප්‍රසිද්ධ රේස්කරුවන් සමඟ තරග වැදී දෙවැනි තැනද හිමි කරගෙන ගෙදරට පැමිණියේය. මුලින්ම ඔහු රැකියාවක් ලෙස ‘ඩීවර්‘ සහෝදර සමාගමේ රැකියාවකට ගියේය. ටික කලක් එහි සේවය කළ ඔහු සුදු ජාතිකයෙකු සමඟ වූ සිත් අමනාපයකින් රැකියාව හැරදමා නිවෙසට පැමිණියේය.

විශාල ව්‍යාපාරයක් කරන්නට තරම් ලොකු මුදලක් ඔහු සතුව නොතිබිණ. ලීවර් සමාගමේ උපාලි ළඟ වැඩ කළ හිතවත් සේවකයකු සමඟ එක්ව කසිකබල් සීනි බෝල මැෂිමක් රැගෙන බ්ලුමැන්ඩල් පාරේ තමාට අයිති ඉඩමකට වී සීනි බෝල සෑදීමට උපදෙස් සහිත පොතක් කියවමින් සීනි බෝල නිෂ්පාදනයේ යෙදුණි. දිගු කළක් හෙහෙස මහන්සිව නියම පදම සොයාගෙන වෙළෙඳපොළට නිකුත් කළ ඩෙල්ටා සීනි බෝල පසුව “ඩෙල්ටා ටොෆී“ නමින් තවත් පිම්මක් ඉදිරියට තැබීය. මෙරට විදේශ නිෂ්පාදන ආනයනය තහනම් කර තිබූ මේ යුගයේ මැණික් අපනයනයෙන් අති විශාල මුදලක් උපයාගත හැකියැයි උපාලි කල්පනා කළේය. රත්නපුරයේ මැණික් පතල් කරා ගොස් මැණික් කර්මාන්තය පිළිබඳ අවබෝධයක් ලබාගෙන මැණික් අපනයනයෙන් ඉහළ ආදායමක් ලද ඔහු ඊළඟට කළේ උපාලි මැස්ඩා, උපාලි ෆියට් යන නම් වලින් මෝටර් රථ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමය. මාස දහයක් ඇතුළත තම නිෂ්පාදන නිකුත්වන බවට පුවත් පත් දැන්වීම් පළකොට එමඟින් උපයාගත් අත්තිකාරම් මුදල් හැරුණු විට ඒ සඳහා උපාලිට තැන්පත් ධනයක් නොතිබිණ.

කුණ්ඩසාලයේ කැන්ඩොස් චොක්ලට් ආයතනයේ හිමිකරු ලෙස සිටියදී ලද අත්දැකීම් ඔස්සේ මැලේසියාවේ ඇරඹූ චොක්ලට් කම්හල තුළින් “මුළු ලොවම චොක්ලට් රජු“ ලෙස විරුදාවලී ලබන්නට උපාලි විජයවර්ධනට හැකියාවක් ලැබිණී. එහෙත් මැලේසියාවේ පවත්නා භූමි පුත්‍ර ඉඩම් අයිතිය අනුව මැලේසියානු පුරවැසියකුට හැර වෙන කිසිවකුට එරට ඉඩම් අයිතියක් ලැබිය නොහැකි වුවත් තම මිතුරු රත්නම්ගේ නමින් අක්කර 14,000ක් කොකෝ වගාකොට මුළු ලෝකයටම “කැන්ඩොස් චොක්ලට් “නිකුත් කිරීමට ඔහුට හැකිවිය.

උපාලි සතුව තිබූ ව්‍යාපාරික කුසලතාව දුටු ජේ.ආර්.ජයවර්ධනයන් ඔහු මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කළේය. විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ කලාපයේ ව්‍යාපාර සඳහා එක් වූයේ විශේෂයෙන් උපාලි ගැන පෞද්ගලිකව තිබූ ව්‍යාපාර පිළිබඳව වූ විශ්වාසයයි. ඔහුට ඒ වන විට තමා කුඩා කළ සිටම දැඩි සේ ආදරයක් තිබූ මෑණියන්ගේ ගම් පළාත කේන්ද්‍ර කොටගෙන විශ්වවිද්‍යාලයක් ඇරඹිය යුතු බවට අදහසක් විය. එහෙත් දකුණු පළාතේම ඇමැතිවරු එයට විරුද්ධ වන්නට විය.

“රුහුණු උදානය“ නමින් සංවිධානයක් බිහි කොට කඹුරුපිටිය හා ඒ අවට ප්‍රදේශවල තරුණ තරුණියන්ට ඉංග්‍රීසි සහ පරිගණක තාක්ෂණය හැදෑරීමේ අවස්ථා ඇති කරන්නට ඔහු වෙහෙස දැරීය. පුවත්පත් ආයතනයක් ඇරඹීම ඔහුගේ ඊළඟට තිබූ අපේක්ෂාවයි. ඒ වන විට මෙරට වූ පුවත්පත් කලාවට නවීන තාක්ෂණය හා සම්බන්ධයක් නොවීය. ලයිනෝ මැෂින්, පැරණි රොටරි යන්ත්‍ර තුළ ඊයම් සමඟ ගැවසෙමින් තිබියදී පරිගණක යන්ත්‍ර මඟින් මුද්‍රණය වන පුවත්පත් මුද්‍රණය කිරීමටත් වැඩ පිළිවෙළක් ඇරඹීය. පුවත්පත් බෙදා හැරීම සඳහා නව ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් උදෑසන අටට පෙර අනුරාධපුරය යාපනය වැනි ඈත ප්‍රදේශවලට පුවත්පත් බෙදා හැරීමට තමාගේම ගුවන් යානා උපයෝගී කර ගත්තේය. වෙළෙඳ ලෝකය මුළුමනින්ම තම දෙඅත්ල මත කැරකෙමින් සිටින බව දකිමින් මුළුලොවම ජයගත් මේ පුද්ගලයා කාලයේ ඇති වටිනාකම දැනුනු නිසාම අධීවේගී “ලියර් ජෙට්“ යානයක් සිය පරිහරණයට යොදා ගත්තේය.

ගුවන් නියමුවකු ලෙස බලපත්‍රයක් ලබා සිටි උපාලි එකල මෙරට මුදලින් රුපියල් දෙකෝටියක් පමණ වියදම් කොට නියමු පාලකයාට අමතරව පිටුපස බඳ කොටසේ තවත් පාලක යන්ත්‍රයක් එක් කළේය. උදාහිරු නැගෙන්නට පෙර සිය උපන්දිනයට කොළඹට එන්නට සිටි උපාලි ගුවන්යානයත් එහි සිටි ඔහුගේ සගයන් හයදෙනාත් සමඟ අතුරුදහන් විය.

උපාලි විජයවර්ධන පිළිබඳව ඔහුගේ ඥාති සොහොයුරු රංජිත් විජයවර්ධනයන් මෙසේ පැවසීය.

“ 1956 අවුරුද්දේ ඉරිදාවක අපි සීතල උදෑසනේ බිම හිඳගෙන ඉරිදා පුවත්පත් කියවමින් හිටියේ. උපාලි කියවමින් සිටියේ මාර්ග අනතුරකින් ඛේදනීය ලෙස මිය ගිය අලිඛාන් කුමරු ගැන වූ පුවත.. “මටත් ඕන අන්න ඒ විධියට සමුගන්න. උපාලි එදා එහෙම කිව්වා“.

පසු කලෙක උපාලි විජයවර්ධනයන් ද අපෙන් සමුගත්තේ ගුවන් අනතුරකිනි. මලක්කා සමුද්‍ර සන්ධිය අසලදී උපාලිද සමඟ අතුරුදන් වූ ලියර් ජෙට් යානය පිළිබඳ පුවත අලිඛාන් කුමරුගේ පුවතට වඩා අපෙ රටේ ප්‍රසිද්ධ විය. අදටත් ඔහුට සිදු වූයේ කුමක් ද යන්න අභිරහසකි.

 

Comments