
දුමින්ද සිල්වා මේ වනවිට සිටින්නෙ වැලිකඩ හිරගෙදරය. මිනී මැරීමේ චෝදනාවට ඔහුට අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී තිබේ.
එසේ මරණීය දණ්ඩනය නියම වූ දුමින්දට ජනාධිපතිවරයාගේ සමාව ලබා දිය යුතු බවට ඉල්ලීමක් සහිත පෙත්සමක් ඔක්තෝබර් 20 අන්තර්ජාලයේ සංසරණය වූ බව වාර්තා කළේය.
ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාහේ දුමින්දට අභය දානය වෙනුවෙන් අත්සන් කළ බව කියැවිණි. ඒ ගැන මෙසේ කීවේය.
“ පෙත්සම ජනාධිපතිවරයා වෙත ගිය විට දුමින්ද නිදහස් කිරීමේ ප්‍රබල සම්භාවතාවක් වේ. ජනාධිපතිවරු එසේ කර හුරු පුරුදු අත්දැකීම් මේ රටට ඇත. ලංකාවේ විසූ 19 හැවිරිදි ස්වීඩ්න් ජාතික යුවතියක් වන ඉවෝන් ජාන්සන් ගේ ඝාතකයා වූ ජූඩ් ශ්‍රීමන්ත ජයමහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව දුන්නේය.“
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දුමින්දගේ අභය පතා අත්සන් කළ පෙත්සමට අත්සන් කළ විපක්ෂයේ මන්ත්‍රිවරු ද වූ බව වෙබ් අඩවිය වාර්තා කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි වූයේ සිව් මිනී මැරුම් චෝදනාවකට වරදකරු වීමෙනි.
වර්ෂ 2011 ඔක්තෝබර් 08 වෙනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවට ඔහු ඇතුළු පස් දෙනෙකු වැරදිකරුවෝ වූහ. එම වරදට ඔවුන්ට මරණීය දණ්ඩණය පැනවිණි. දුමින්දට මරණීය දණ්ඩනය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.
එහිදී, බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග අමනාපයකින් පසුවූ ආකාරය පැහැදිලි බවය.
මේ හේතුවෙන් මෙම ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බව සාක්ෂි මගින් තහවුරු වී ඇති බවය. මේ තීන්දුවේ බහුතර විනිසුරුවරු වූහ. ඒ අනුව දුමින්දට එරෙහි මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් විය.
වර්ෂ 2011 ඔක්තොම්බර් 08 දා සිදුවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට චෝදනා එල්ල විය.
2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව මෙම මිනීමැරුමට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවතියේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ, චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවය. කෙසේ වෙතත් දුමින්දට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේ, 2015 වසරේ මාර්තු මස 03 වෙනිදාය.
එහිදී, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරනු ලැබූ අධිචෝදනා සංඛ්‍යාව 17 ක් විය. මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත්ව තිබිණි.
ප්‍රථම වරට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබුවේ 2015 වසරේ අප්‍රේල් මස 01 වෙනිදාය.
ඒ අවස්ථාවේ දී මෙම සිව් පුද්ගල ඝාතන නඩුවේ චූදිතයන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකුට අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබීය.
වර්ෂ 2015 අගෝස්තු මස 04 වෙනිදා මෙම නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබිණි. මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වූයේය. සෙසු විනිසුරුවරුන් ලෙස පද්මිණී රණවක ගුණතිලක සහ එම්. සී. බී. එස්. මොරායස් පත් කෙරිණි.
නඩු විභාගය 2015 වසරේ අගෝස්තු 06 වෙනිදා කොළඹ මහාධිකරණයේදී ආරම්භ විය.
විත්තිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මොවුන්ට චෝදනා කිහිපයක් ගොනු කර තිබිණි.
චූදිතයෝ මේ සියලු චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව අධිකරණය හමුවේ කියා සිටියහ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ බහුතර තීන්දුව ප්‍රකාරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වැරදිකරුවන් බවට තීන්දු විය. ඔවුන්ට 2016 වසරේ සැප්තැම්බර් 08 වෙනිදා මරණීය දණ්ඩනය නියම විය.
මෙම මරණීය දණ්ඩන නියෝගය අහෝසි කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළහ.
එම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2017 වසරේ නොවැම්බර් 27 වෙනිදා තීරණය කළේය. පෙත්සම් විභාගය 2018 වසරේ මාර්තු මස 29 දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී ආරම්භ විය.
අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව වර්ෂ 2018 ඔක්තොම්බර් මස 11 වැනිදා බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් විණි.
ඊට පසුදා, එනම් 2018 ඔක්තොම්බර් 12 දා පදවියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් ගේ ප්‍රධානත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලය විසින් ඒකමතිකව තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබිණ. ඉන් කියැවුණේ දුමින්ද සිල්වාට දුන් මරණ දඬුවම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන බවය.
කෙසේ වුවත් මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ඔහු දේශපාලනයට එන්නේ එක්සත් ජාතික පක්ෂය හරහාය. ඒ 2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් බස්නාහිර පළාත් සභාවට තරග වදිමිනි. වර්ෂ 2007 දී ඔහු එක්සත් ජාතික පක්ෂය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක් විය.