
මීට වසර පණස් හතරකට එපිට කොළඹ ආනන්ද විද්‍යාලයේ බිත්ති දිගේ ඉර එළිය ගලන හැන්දෑවක ලෙඩ්බීටර් ගොඩනැගිල්ලේ පන්ති කාමරයක අපි (රංජිත් ලාල්, චන්ද්‍රසිරි මුදන්නායක, නම්මුනි ද සොයිසා, ආනන්ද නිලවීර, පී. ටී. අමරසිරි සහ මම) හමුවුනෙමු. එදා තණ නිල්ල මත තනි වූ පිනි බින්දුවක් දිලිසෙමින් තිබුණි.
1965 වසරේ එකත්රා දිනක විද්‍යාලයීය එසම්බ්ලි ශාලාවේ “භක්ති“ නම් ජාත්‍යන්තර සම්මාන දිනූ වාර්තා චිත්‍රපටය තිරගතවන බවත් එහි අධ්‍යක්ෂ ආදී ආනන්දීය ඩී. බී. නිහාල්සිංහයන් ද ඒ අවස්ථාවට සහභාගි වන බව ද අපට ආරංචි විය. “භක්ති“ චිත්‍රපටය එංගලන්තයේ පොදු රාජ්‍ය මණ්ඩලීය කාඩීෆ් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ දී ඉහළම සම්මානයක් දිනූ බව අපට පුවත්පත් මගින් අනාවරණය වී තිබුණි. සිනමාවට ආලය කළ ඉහත කී අපේ පිරිස කල්වේලා ඇතිව ශාලාවට ගියේ අපේ වීරයා වූ නිහාල්සිංහයන් සමීප අසුන්වල සිට දැක ගැනීමට ය. චිත්‍රපටය බලා නිහාල්සිංහයන්ට සුබ පතා නැවත උද්දාමයෙන් පන්ති කාමරයට පැමිණි අපගේ සිහිනය වූයේ කෙටි වාර්තා චිත්‍රපටයක් කෙසේ හෝ තැනීමට ය. අපේ නඩේගුරා වූයේ රංජිත් ලාල් ය. සිනමාව හා සංගීතය ගැන පුළුල් දැනුමක් ඇති ඔහු වටා අපි (ප්‍රේමකීර්ති ද අල්විස්, ඇතුළු නම් කී පන්ති සගයෝ) රොද බැඳ ගත්තෙමු.
චිත්‍රපටයට කතා සංකල්පය සැපයූ ප්‍රේමකීර්ති සිය ප්‍රථම ගීතය එනම් (චිත්‍රපටයේ තේමා ගීතය) ලියා දුන්නේ ය. "වෙර" නම් මේ වාර්තා චිත්‍රපටයට වස්තු බීජය වූයේ ජීවිතයත්, ජීවත්වීම පිළිබඳ මිනිසා දරන වීර්ය පිළිබඳ කතා සංකල්පයකි. විනාඩි 12 ක කාලයක් ධාවනය වන "වෙර" චිත්‍රපටය අප නිමා කොට එහි මංගල දර්ශනය 1966 වසරේ ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ පැවැත්වූයේ එවකට රාජකීය විද්‍යාලයේ ඉගෙනමු ලැබූ අනුර බණ්ඩාරනායකගේ (පසුව කථා නායක හා අමාත්‍ය) ප්‍රධානත්වයෙනි. එයට හේතුව වූයේ අප මෙන්ම සිනමාවට ආදරය කළ ඔහු සිනමාව ගැන ලියැවුණු පොත පතින් සුසැදි පුස්තකාලයකට හිමිකම් කී මිත්‍රයකු වීම ය. එකල කොළඹ විශ්ව විද්‍යාලයේ ජෝර්ජ් රාජ ශාලාවේ ද නව කලාගාරයේ ද ලයනල් වෙන්ට්ඩ් හා දේශීය තානාපති කාර්යාලවල ද තිරගත වූ විදේශීය සම්භාව්‍ය සිනමා කෘති නැරඹීමෙන් පසු බම්බලපිටියේ විජය හවුස් එකට ගොස් උණට උණු ප්ලේන්ටී බිබී ඒ ගැන කතා කිරීමට අපේ සමකාලීන ශිෂ්‍ය මිතුරන් කිහිප දෙනෙක්ම වූහ. ඔවුන් අතර අනුර ද, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ලාල් දිසානායක, නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ සුනිල් ආරියරත්න, කෑගලු විද්‍යාලයේ ඩිල්මන් ජයරත්න, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ රංජිත් පෙරේරා හා ආනන්දයේ අපද වූහ.
'වෙර' චිත්‍රපටය නැරඹූ ජයවිලාල් විලේගොඩ, නිහාල් රත්නායක, ඩී.සී. රණතුංග, ඩී. බී. වර්ණසිරි, ආ තර් යු. අමරසේන අප දිරි ගන්වන විචාර ලියා තිබුණි. දැන් අපට අවශ්‍ය ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය කරන මි.මී. 35 වෘතාන්ත චිත්‍රපටයක් කිරීමට ය. මෙය කළ හැකි දෙයක් ද? එසේ කළොත් එය පාසල් ළමුන් තැනූ මුල්ම චිත්‍රපටය ලෙස වාර්තාවක් පිහිටුවීමක් නොවන්නේ ද? එය ගලකින් පට්ටයක් ගැනීම වැනි නිසරු ප්‍රයත්නයකි. ඒත් "හිත ඇත්නම් පත කුඩා ද" කියන ප්‍රස්ථා පිරුළ අපට ශක්තියක් මැ විය.
"වෙර" නිර්මාණය කළ අපට "මොකක්දෝ කියන්න ඕනෑකමක්" තිබුණි. "ඒක අපි සිනමාවෙන් කියමු". අපේ කාගේත් ඇස් දිලිසුණි. ඉවුරු බිඳ ගෙන ගලා එන ජල ප්‍රවාහයක් වගේ අපේ සිත් තුළ සතුටු බුබුළු නගින්න වූහ. "යළිත් වසන්තය" චිත්‍රපටයේ මුල්ම නම විය. අපේ සිහිනය පුංචි කළල රූපයක් වී අපේ කල්පනා ලෝක අතර ඉපදුණි. මුතු බෙල්ලෙකුගේ පුපුරු ගහන වේදනාව පියන්පත් අතර හිර වෙලා වගේ ය. අප්‍රමාණව ජීවිතේට වද දෙන මේ වේදනාව පුංචි මුතු ඇටයක් විදිහට එළියට දාන්න ඌ කොයි තරම් දුකක් වින්ද ද? අපේ කතාවත් ඒ වගේ ය.
අපේ හදවත් සසල කළ සියුම් හැඟීමක් නිර්මාණයක් වේශයෙන් පිට කරන්න අපට හුඟාක් දුක් වේදනා විඳීමට සිදු විය. අපට අවශ්‍ය අපේ නිර්මාණ චේතනාවන්ට සුදුසු සරුබිමක් පේන තෙක් මානෙක තිබුණෙ නැත. අපට සල්ලි තිබුණෙත් නැත. සමහර දවස්වල අපිට කෑමටවත් සල්ලි තිබුණේ නැති නිසා පයින් ඇවිද්දෙමු. පාසලින් පිට හවස අප හමු වුණේ පුංචි බොරැල්ලේ 'චාරිකා ලර්නර්ස්' කාර්යාලයේ ය. ඊට යාබද තිබූ 'ඩිමැල් බේකරිය' අයිති ඇන්ඩෘෘ මහතා අපේ ආසාව උනන්දුව ගැන හිතල හවසට එළුමස් සුප් හා රෝස් පාන් අපට එවීමට කාරුණික විය. ඒ කාලේ අපේ ආර්ථික තත්ත්වය කෙසේ ද යත් චිත්‍රපට සමාගම ලියාපදිංචි කිරීමට අවශ්‍ය මුද්දර ගන්නවත් අතේ සල්ලි නොතිබුණේය.
සමහරු මේක "කිරි කජු කොල්ලන්ගේ පිස්සු වැඩක්" කියල අවඥාවෙන් හිනා වූහ. කෙටියෙන් කීවොත් අපේ දෙමවුපියන්වත් මේක මේ විදිහට කරයි කියලා හිතුවේ නැත. අපට ආනන්දයේ ඉගැන්වූ ආචාර්ය කොටගම වාචීස්සර හිමි, උප විදුහල්පති ජී. ඩබ්ලිව්. රාජපක්ෂ, බර්ටි විජේසිංහ, ශාන්තන රාජපක්ෂ, කේ. ඩී. කේ. ගුණවර්ධන, කේ. එල්. එන්. විජේදාස, ආචාර්ය රංජිත් කබ්රාල්, රංජිත් සොයිසා, ඒ. ඩී. කරුණානන්ද, ආර්. විජේදාස, නීල් කුරුප්පු ප්‍රේමා ද සිල්වා, රංජිත් වීරසිංහ යන ගුරු මහත්ම මහත්මීන් අප කැඳවා කීවේ "ඉගෙනීම කඩාකප්පල් කර ගන්න එපා. නිහාල්සිංහ පවා උපාධිය අර ගෙනයි, ඊට පස්සෙයි සිනමාවට එක් වුණේ" කියා ය.
එකල අපි දැඩි හිතුවක්කාරයන් වීමු. උසස් පෙළ සමත් වුවද අපට විශ්ව විද්‍යාලයට යාමට වරම් නොලැබුණි.
මේ කාලයේ "යළිත් වසන්තය" නම් ජනප්‍රිය නවකතාවක් ප්‍රසිද්ධව තිබූ නිසා අපි චිත්‍රපටය "නිම්වළල්ල" නමින් වෙනස් කළෙමු.
"නිම්වළල්ලේ" කතා තේමාවට තරුණ අසහනය ගැනත්, විරැකියාවෙන් සිටින තරුණයන් ගැනත් කතා කිරීමට අපේ අදහස විය. පන්තියේ සිටි ධර්මකීර්ති ජයසේකර එකල "රතු කඳුළු" නමින් පොතක් ලියා මිතුරන්ට විකුණුවේය. ඔහු අප හා නිතර කතා කළේ, වාද කළේ තරුණ අසහනය ගැන. අපට ඔහුගේ තර්ක විතර්ක බලපෑවේය. ධර්මකීර්ති පසුව වාමවාදි දේශපාලන ලෝකයේ හැඳින්වූයේ "කීර්ති බාලසූරිය" නමිනි. ඔහු අකාලයේ මිය ගියේය.
1966 වන විට තරුණ අසහනය හා විරැකියාවෙන් සිටි තරුණයන් ගැන සිනමාකරුවන්ගේ අවධානය යොමු වී නොතිබුණි.
"කවුද? තිර නාටකය ලියන්නේ" අධ්‍යක්ෂ රංජිත් ලාල් ඇසී ය.
"මේකට හොඳම මිනිහා සුනිල් මාධව ප්‍රේමතිලක. අපේ ආනන්දේ කොල්ලෙක්. මිනිහා ඉන්නේ ලේක් හවුස් එකේ "සිළුමිණ" පත්තරේ. මගේ යාළුවෙක්." මම කීවෙමි. රංජිත් ලාල් හා මම ලේක් හවුස් එකට ගියෙමු. සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සිටි සුනිල් මාධව එකල පත්‍රයට "හදවත ඇඳි ගී" නමින් සංස්කරණය කළ කවි පිටුව කාගේත් ප්‍රශංසාවට ලක් වී තිබුණි.
සුනිල් අපේ අදහස අගය කරමින් කතා තේමාවක් ලියා දුන්නේය. තිර නාටකය රචනා කළේ ආනන්දයේ ඉංජිනේරු විෂයයන් හැදෑරූ දක්ෂ මූර්ති ශිල්පියකු වූ අසෝක ඩයස් වීරසිංහ ය. ඔහු මූර්තිමත් කළ එබ්‍රහම් ලින්කන් ගේ හා මාටින් ලූතර් කිං ගේ උඩුකය ප්‍රදර්ශනයක දී දුටු ඇමෙරිකානු තානාපති ඒවා මිල දී ගෙන වොෂින්ටන් කෞතුකාගාරයට යැවීය.
'නිම්වළල්ලේ' තිර නාටකය කප කපා සකස් කළෙමු. ඉන්පසු තිස්ස අබේසේකරයන් හා ධර්මසේන පතිරාජයන් හමු වී අපි තිරනාටකය මුල සිට අගට කියවීමු. ඔවුන්ගේ කාරුණික උපදෙස් හා යෝජනා අනුව නැවත ලිවීමු. චිත්‍රපටයට අවශ්‍ය නළු නිළියන් තෝරා ගැනීම මට පැවරුනේ මා පාසල් වියේ සිට "විසිතුර" හා "කලා" පුවත්පතටත් සඟරාවටත් කලාකරුවන් ගැන විශේෂාංග ලියා හඳුනාගෙන තිබූ නිසාත් ධර්ම ශ්‍රි කල්දේරා නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා අප පවුලේ මිත්‍රයකු වීම නිසා ය. මේ නිසා අපට කලාකරුවන්, නළුවන් සම්බන්ධ කර ගත හැකි විය.
චිත්‍රපටයේ ප්‍රධාන නිළියට ස්වර්ණා මල්ලවාරච්චි හා ප්‍රධාන නළුවාට නිශ්ශංක අමරසිංහ තෝරා ගත් මා ඔවුන් අප පිරි නැමූ දුප්පත් තුටු පඬුරෙන් සෑහීමකට පත් වූහ. මේ දෙදෙනාම කුඩා කළ සිට මා උපන් ග්‍රෑන්ඩ්පාස් හී එකට හැදුණු හිතවතුන් ය. එකල අප සහෝදර පාසල වූ නාලන්දාවේ ඉගෙනුම ලැබූ තිස්ස විජේසුරේන්ද්‍ර "කළණ මිතුරෝ" චිත්‍රපටයට තෝරා ගෙන තිබුණි. අපි ඔහු හමු වී කතා කළෙමු.
"සල්ලි ගැන කතා කරන්න එපා. ආනන්දේ කොල්ලන්ට නාලන්දේ කොල්ලෙකුට උදව්වක් කිරීමට ලැබීම සතුටක් කියා" ය. ජානකී කුරුකුලසූරිය, දෙනවක හාමිනේ, අමරසිරි කලන්සූරිය, පියදාස ගුණසේකර, සිරිල් වික්‍රමගේ, රුක්මණී දේවි, ජේ.බී.එල්. ගුණසේකර, දේවිකා කරුණාරත්න, මෝනා මංගලා යන නළු නිළියන් සහන අය කිරීම් මත තෝරා ගතිමු. කැමරා අධ්‍යක්ෂණයට ඩිල්මන් ජයරත්නත්, සංස්කරණයට ලාල් දිසානායකත්, නිෂ්පාදන සම්බන්ධීකාරක පී.ටී. අමරසිරි සහාය අධ්‍යක්ෂණයට ආනන්ද නිලවීරත් අපට එක් වූහ.
තිස්ස අබේසේකරයන් හමුවීමටය. මා නිතර ගියේ තිර නාටකයේ ගැටලු තැන් නිරාකරණය කර ගැනීමට ය. එදා මා එන්නට යද්දී අපේ වයසේ තරුණයෙක් හඳුන්වා දී "මෙයත් ආනන්දේ. සිනමාවට උනන්දුයි. එයා කැමතියි චිත්‍රපටයට සම්බන්ධ වෙන්න." කියා තරුණයකු මට හඳුන්වා දුන්නේය. අපි ඔහු නිම්වළල්ලේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස බඳවා ගතිමු. ඔහු බන්දුල පද්ම කුමාරය. (ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දි) අප එකට වැඩ කළේ එක මවකගේ දරුවන් මෙනි. අපේ ආර්ථික තත්ත්වය නරක අතට හැරෙන්නට විය. නිහාල්සිංහයන් අපට කැමරා, විදුලි උපකරණ ඉතාම අඩු මිලකට ලබා දුන්නේය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා සංගීත අධ්‍යක්ෂ රංජිත් ලාල් ගේ පියා ඩේවිඩ් සිල්වා මිනුවන්ගොඩ පීල්ලවත්තේ ඉඩම් හිමි ධනවතෙකි. ලාල් ගේ අම්මා වූ වයලට් සිල්වා මාතාව එකල අගමැතිනියගේ දකුණු අත කීවොත් එය නිවැරදිය. අපේ නිෂ්පාදන කණ්ඩායමේ චන්ද්‍රසිරි මුදන්නායක, ආනන්ද නිලවීර, නම්මුණි සොයිසාට හා මට වයලට් ඇන්ටි සැලකුවේ තම පුතුන්ට මෙනි. අපි හතරදෙනා මිනුවන්ගොඩට ගොස් ඩේවිඩ් අන්කල්ගෙන් රු. 50.00 ඉල්ලා ගෙන එන්නෙමු.
"අපේ පුතා පික්චර් පිස්සනේ. මොනව කරන්නද? මිනිහ අපෙන් සල්ලි ඉල්ලන්නේ නෑනේ" කියමින් ඔහු මුදල් දෙයි.
තව දෙසතියකින් යළිත් අපි සල්ලි ටිකක් ගෙන ඒමට සමත් වුණෙමු.
චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූ මා චිත්‍රපටයට අවශ්‍ය පැල්පත්, අඩු කුලී ගෙවල් පේළියක් නිර්මාණය කළේ කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයේදීය. ඓතිහාසික චිත්‍රාගාරයේ අවසන් වරට පසුබිම් තල නිර්මාණය කළේ නිම්වළල්ල සඳහා ය.
චිත්‍රපටයේ කතාව විකාශන වන්නේ මෙසේ ය.
නිදහස් අධ්‍යාපනයේ වරමින් උසස් විද්‍යාලයක ඉගෙනුම ලබන කම්කරුවෙකුගේ (පියදාස ගුණසේකර) පුතෙකු වන ජිනේට (නිශ්ශංක අමරසිංහ) ගැටෙන්නට වන්නේ සමාජයේ ඉහළ තල වල සිටින සිසුන් පිරිසක් සමඟ ය. ධනවත් මිතුරෙකු වන සම්පත් (තිස්ස විජේසුරේන්ද්‍ර) ජිනේ ගේ සමීපතම මිතුරෙකු වූ නිසා ඔහු ඉහළ සමාජය හා ගැටෙන්නට වන්නේ නොකැමැත්තෙනි. සම්පත් ජිනේව තම ධනවත් නිවසට ගෙන ගොස් තම විවාහක සොහොයුරිය වන චිත්‍රාට (ස්වර්ණා මල්ලවආරච්චි) ද, ඥාති සොහොයුරියක් වන නිලූට (ජානකී කුරුකුලසූරිය) ද හඳුන්වා දෙති. අතෘප්කර ආශාවන්ගෙන් යුත් චිත්‍රා හා ජිනේගේ අනියම් සම්බන්ධයක් ගොඩනැගෙයි. මිරිඟුවක් පසු පස යන ජිනේ සමාජයේ අතරමං වෙයි.
මේ චිත්‍රපටයේ ආනන්දයේ සිසුන් රැසක් රඟ පෑහ. පන්ති සගයන් ලෙස රත්නසිරි රාජපක්ෂ (හිටපු නගරාධිපති) නිමල් හෙට්ටිආරච්චි (මහාචාර්ය) ජයන්ත කළුපහන (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී) ශ්‍රි ලාල් ජයමහ, බන්දුල සූරියබණ්ඩාර (රංගන ශිල්පි) මේ අතර මට මතක් වන නම්ය.
සම්පත්ගේ ධනවත් නිවස ලෙස අප තෝරා ගත්තේ ජාවත්ත පාරේ පිහිටි "දාස මුදලාලි" නමින් ප්‍රකට ගුණදාස මහතාගේ නිවස ය. එහි දී අපේ නිවස මෙන් මුළු ගෙයමද රූප ගත කිරීමට මෙන්ම ආගන්තුක සත්කාර ද නො අඩුව ලැබිණ. පාසල් ද, පන්ති කාමර ද අපට රූප ගත කිරීමට අවසරය දීමට ආනන්ද විදුහල්පති ඊ. ඒ. පේරුසිංහ මහතා කාරුණික විය. අපේ සමකාලීන ආනන්දීයන් වූ සරත් කෝන්ගහ ගේ, ඉමිටියාස් බාකීර් මාකර්, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රී පනාගොඩ, හර්ෂ නවරත්න, ලකී ඩයස් ද නිම්වළල්ලේ රූප ගත කරනු බැලීමට පැමිණි බව මතක ය.
චිත්‍රපටයේ සංගීතය හා ගීතවල තනු නිර්මාණය රංජිත් ලාල් ගෙනි. ඔහු ප්‍රේමසිරි කේමදාසයන්ගේ වාද්‍ය වෘන්දයේ එකෝඩියන් වාදකයකු ලෙස පාසල් වියේ සිටම සහභාගි වී තිබුණි. චිත්‍රපටයට ගීත තුනක් ඇතුළත් විය. සුනිල් ආරියරත්න, මහින්ද අල්ගම හා රංජිත් ලාල් මුලින්ම ගේය පද රචකයන් ලෙස දොරට වැඩියේ නිම්වළල්ලෙනි. නිම්වළල්ල චිත්‍රපටය 1970 නොවැම්බර් 18 වැනිදා සිලෝන් තියටර්ස් සමාගමේ එල්පින්ස්ටන් ඇතුළු සිනමා ශාලා 18 ක තිරගත විය. මංගල දර්ශනය කොළඹ රීගල් සිනමාහලේ දී නව අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. චිත්‍රපටය සඳහා රුපියල් දෙකයි, පණස් දාහක් වැය විය.
චිත්‍රපටය බලා අගමැතිනිය අපේ ප්‍රයත්නය අගය කොට හැම ප්‍රේක්ෂකයකුම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස සහතිකයක් දුන්නා ය. එතුමියගේ අවසරය පරිදි අපි එය වෙළඳ දැන්වීමක පළ කළෙමු. අපට ආදී ආනන්දීයන් වූ ‘සිළුමිණ‘ කර්තෘ සිටි සුබසිංහ, ‘ලංකාදීප‘ කර්තෘ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ‘ඔබ්සර්වර්‘ පත්‍රයේ ඩී.සී. රණතුංග, ‘ඩේලිනිවුස්‘ පත්‍රයේ නිහාල් රත්නායකත් උදව් කළහ.
චිත්‍රපටය නරඹා උද්දාමයට පත් ‘සිළුමිණ‘ හා ‘දිනමිණ‘ හිටපු කර්තෘ ආදි ආනන්දීයෙකු වූ ඇස්. සුබසිංහ මහතා (ඔහු ආදි ආනන්දීයෙකි) දිනමිණ පත්‍රය “නිම්වළල්ල“ ජයග්‍රාහී පියවරක් නමින් ලියූ විචාරයේ මෙසේ සඳහන් කර තිබුණි. (මුල් යුගයේ ‘සිළුමිණ‘ චිත්‍රපට විචාරකයා ද විය.)
“සුනිල් මාධව ප්‍රේමතිලක ලියා ඇති කතාව තිරය මත කියා පෑමට රංජිත් ලාල් සිනමා මාධ්‍ය නිසියාකාරව උපයෝගී කර ගෙන තිබෙන අන්දම සලකා බලන විට නිම්වළල්ල සිංහල චිත්‍රපටයකැයි හඳුන්වනවාට වඩා සිනමා චිත්‍රපටයකැයි හැඳින්වීම වඩාත් මැනවැයි මට සිතේ. චිත්‍රපට කතාව විකාශනය වීමට රන්ජිත් කුමාරගේ පසුබිම් නිර්මාණය ඉමහත් රුකුලක් වී ඇත.
අධ්‍යක්ෂ රංජිත් ලාල්, කතා රචක සුනිල් මාධව ප්‍රේමතිලක, කලා අධ්‍යක්ෂ රන්ජිත් කුමාර සහ කැමරාව මෙහෙය වූ ඩිල්මන් ජයරත්න අතරින් මගේ මනෙසහි මැවී පෙනෙන්නේ ළා බාල ගැටවරයන් හතර දෙනකු මෙන් නොව ජීවිතය ගැන පුළුල් අත්දැකීම් ලත් විවේක බුද්ධියක් හා අවබෝධ ඥානයෙන් යුතුව සානුකම්පිකව සමාජ ප්‍රශ්න දෙන බලන වෘද්ධයින් හතරදෙනෙකු ලෙසිනි.“
(දිනමිණ 1970 නොවැම්බර් 25)
මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක විසින් ලියූ “අද්‍යතන සිංහල සිනමාවේ විෂය ක්ෂේත්‍රය“ කෘතියේ සඳහන් කර තිබුණේ “සාමාජික හේතූන් නිසා උද්ගත වන තරුණ අසහනය පිළිබඳව ප්‍රථම වරට සිනමාවෙන් සාකච්ඡා කැරුණේ “නිම්වළල්ල“ චිත්‍රපටයෙන් බව ය. මේ ලිපියේ ලියුම්කරුගේ මමත්වය මතු වූවා නම් කමත්වා. චිත්‍රපටය සම්බන්ධ අධ්‍යක්ෂ රංජිත් ලාල් හා කැමරා ශිල්පී ඩිල්මන් ජයරත්න අද ජීවතුන් අතර නැත. ලබන නොවැම්බර් 18 වෙනිදාට නිම්වළල්ල තිර ගත වී 50 වසර සපිරෙයි.
(ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්)