‘ඇසූ කියවු පැදි යහ­පත් විය රටට අසූ­පස් වසකි දැන් අත­කස කවි මවට’ | සිළුමිණ

‘ඇසූ කියවු පැදි යහ­පත් විය රටට අසූ­පස් වසකි දැන් අත­කස කවි මවට’

සිළු­මිණ පුව­ත්පතේ විශේ­ෂාංග කර්තෘ සුමුදු චතු­රාණී ජය­ව­ර්ධන එහිදී කථානායක කරු ජයසූරිය මහතා අතින් සම්මා­නය ලබාගත් අයුරු
සිළු­මිණ පුව­ත්පතේ විශේ­ෂාංග කර්තෘ සුමුදු චතු­රාණී ජය­ව­ර්ධන එහිදී කථානායක කරු ජයසූරිය මහතා අතින් සම්මා­නය ලබාගත් අයුරු

රෙක කවි කොළ නාට­ක­යකි; අන­තු­රුව නර්ත­න­යකි; ඒ අත­ර­තුර ආරා­ධිත කවි කතාය. සභා­වම රස ගුලා­වකි. මේ ඉකුත් ජන­වාරි 26 වනදා දෙහි­වල එස් ද එස් ජය­සිංහ ශ්‍රව­ණා­ගා­රයේ දක්නට ලැබුණු දර්ශන පෙළකි. අග­නු­වර තරුණ කවි සමා­ජය හෙවත් අත­ක­සයේ 85 වැනි සංව­ත්ස­රය එයට නිමිත්ත විය.

සහ­භාගී වූවන් සියල්ල සිටියේ එක පොදි­ය­ටය. ඔවුන්ට වයස් තරා­ති­ර­මක් නොවීය. වැඩි­හි­ටි­යන් තරු­ණ­යන් පම­ණක් නොව ළම­යිද ඒ අතර වූහ. හිටි­වන කවීහු වේදි­කාවේ පෙළ­හර පෑහ. කවි රසි­කයෝ ඇසි­පි­ල්ල­මක් නොගසා ඒ දෙස නෙත් අයා­ගෙන සිටි­යහ. අත­කස 85 වැනි සංව­ත්සර උලෙළ ලාංකික සිංහල සාහි­ත්‍යට නව පෙර­ව­ද­නක් එක් කර­මින් රස­ව­තුන් අම­න්දා­න­න්ද­යට පත් කළේය. කවිය කවි­යක්ම බව අපට පසක් කළේය.

අපේ කවිය, මෙරට සංස්කෘ­තිය පම­ණක් නොව අධ්‍යා­ප­නය, ආගම සහ ජාතික චින්ත­න­යද පෝෂ­ණය කළ බව කීවේ උලෙළේ ප්‍රධාන අමුත්තා වූ ක‍ථානා­යක කරූ ජය­සූ­රිය මහ­ත්මාය. තමා කොළඹ ආනන්ද විද්‍යා­ලයේ සිප් සතර හදා­රද්දී එස්. මහින්ද හිමි­යන්ගේ, කුමා­ර­තුංග මුනි­දා­ස­යන්ගේ, පී.බී. අල්විස් පෙරේ­රා­ණන්ගේ කවි­ව­ලින් පෝෂ­ණය වූ සැටි හෙතෙම මෙහිදී ආව­ර්ජ­නය කළේය. කොළඹ යුගයේ කවීන් වූ සාගර පල­න්සූ­රිය, මහ­ගම සේකර, මාක­ඳුරේ ගුණ­ව­ර්ධන, මීමන ප්‍රේම­ති­ලක, උප­නන්ද බටු­ගෙ­දර, චිත්‍රා­නන්ද අබේ­සේ­ක­රගේ කවි රස වින්ද­න­යන්ද කථා­නා­ය­ක­තුමා එහිදී සිහි­පත් කළේය.

අග­නු­වර තරුණ කවි සමා­ජය, කවි­යෙන් ඈත් වන සමා­ජය යළි එයට යොමු කර­ගැ­නීම සඳහා දරන ප්‍රය­ත්නය අග­නේය. අත­කස 85 සංව­ත්ස­රයේ සුවි­ශේෂ අවස්ථා වූයේ කවිය වෙනු­වෙන් හා එහි ප්‍රව­ර්ධ­නය වෙනු­වෙන් විපුල සේවා­වක් කළ අය විශේෂ සම්මා­න­යට ලක් කිරී­මය. කොහි­ල­වත්තේ ඩැනි­යෙල් බොතේජු, සනත් පිය­සේන, නන්ද­සේන පලි­හ­ක්කාර, අජන්ත සෙනෙ­වි­රත්ත, හෙක්ටර් බෙත්මගේ, මහා­චාර්ය මුදි­යන්සේ දිසා­නා­යක, මහා­චාර්ය මංගල සේනා­නා­යක, මාධ්‍ය­වේ­දීන් වන රමේෂ් උව­යිස්, සුමුදු චතු­රාණි ජය­ව­ර්ධන, වසන්ති නානා­ය­ක්කාර, සමන් ලෙනින්, වජිර ජය­ව­ර්ධන යන මහත්ම මහත්මීන් එහීදී කිවි­පති, කාව්‍ය­ශූරී, කාව්‍ය ශක්ති සම්මා­න­යෙන් පුද ලැබූහ.

අග­නු­වර තරුණ කවි සමා­ජය සෑම වස­ර­කම මෙවැනි සංව­ත්සර උත්ස­ව­යක් පැවැ­ත්වීම අගය කළ යුතුය. එයට අම­ත­රව තිරය පියු­පස සිටි­මින් සුවි­ශේෂ මෙහෙ­ව­රක් කළ අය ඇග­යී­මද පැස­සිය යුතුය. කලා­කාමී ප්‍රකට කවි­යන් කිහිප දෙනකු එක් වී 1935 විහාර මහා දේවී උද්‍යා­නයේ තණ­ප­ලසේ හිඳ එක්ව කළ සාක­ච්ඡා­වක ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් ඇර­ඹුණු අග­නු­වර තරුණ කවි සමා­ජය වඩ-වඩාත් සවි­මත්ව පෙරට යනු ඇතැයි සාහිත්‍ය රස­කාමි සැමගේ පැතු­මය.

Comments