
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන කාරියවසම් මහතා විසින් රචිත ‘පොලිටිකල් මණ්ඩිය’ ග්‍රන්ථ ද්විත්වය සැප්තැම්බර් 12 වැනි දා ජනගත කිරීමට නියමිත ය.
මේ ඔහු සමඟ ඒ පිළිබඳ ව කළ සංවාදයකි.
මේ ග්‍රන්ථ කුමන ශානරයකට අයත් ග්‍රන්ථයක් ද?
මෙහි අන්තර්ගත වන්නේ විවිධ පුද්ගලයන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා සමූහයක්.
මේ පුද්ගලයන් එකිනෙකට වෙනස් වූ සමාජ ස්ථරවල හා රැකියාවල නියැළී සිටි පිරිසක්. ඒ අතර සමහරෙක් රාජ්‍යතාන්ත්‍රිකයන්. තවත් සමහරෙක් විප්ලවාදී දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූ පුද්ගලයන්. ඒ අතර තවත් පිරිසක් සිටිනවා වෘත්තීය සමිති නායකයන්. මෙවැනි එකිනෙකට වෙනස් වූ අදහස් හා පැවතුම් ඇති පුද්ගලයන් සමූහයක් සමඟයි මේ සම්මුඛ සාකච්ඡා පෙළ සකස් වන්නේ. විශේෂයෙන් මා මෙහිදී උත්සාහ කළේ මේ පුද්ගලයන් හරහා රටේ නාමධාරී දේශපාලන චරිතවල අභ්‍යන්තර ස්වරූපය මතු කර ගන්නත්, එමෙන්ම සමහර තීරණාත්මක අවස්ථාවලදී ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ ව සියුම් ආකාරයේ විමර්ශනයක යෙදීමටත්. එ් නිසා මේ කෘති දෙකෙන් ම මතුවන්නේ මේ සම්මුඛ සාකච්ඡාවට භාජනය වන පුද්ගලයන්ගේ චරිතවලට වඩා ඔවුන් සමීපව ඇසුරු කළ ඒ දේශපාලන නායක කාරක ආදීන්ගේ හැඩරුවයි. ඒ නිසා මම හිතනවා මේ කෘති දෙක දේශපාලන විෂයපථය නියෝජනය කරන දේශපාලන ශානරයට
අයත් කෘති ලෙස සලකනවා නම් එය වඩාත් නිවැරදි කියා.
මේ සම්මුඛ සාකච්ඡාවලින් මතු වන මෙරට පාලනය කළ හා පාලන බලය
56 බණ්ඩාරනායක මහත්මයාගේ දේශපාලන ආගමනයේ සිට 2015 මහින්ද රාජපක්ෂ මහතා දක්වා රට පාලනය කරපු දේශපාලන නායකයන් ගැන මෙහි විවිධ හැඩතලවලින් අඩු වැඩි වශයෙන් තොරතුරු හෙළිදරව් වෙනවා. 56 දේශපාලන පෙරළිය සිට රනිල් වික්‍රමසිංහ මහතා දක්වා මින් පෙර අප නොඇසූ හෙළිදරව් කිරීම් බොහෝමයක් මීටියාගොඩ ගුණරතන නාහිමියන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවෙන් එළියට එනවා. එමෙන්ම ජෝන් කොතලාවල, දහනායක, බණ්ඩාරනායක මැතිනිය, ගොරගොල්ල වලව්ව, බෝතලේ වලව්ව, කඳවල වලව්ව ආදිය පිළිබඳව සහ චන්ද්‍රිකා, අනුර, වැනි පසුකාලීන ලංකාවේ ප්‍රබල දේශපාලන චරිත බවට පත් වූ මොවුන්ගේ කුඩා විය ගැනත් අප නොදත් කරුණු රැසක් මෙහිදී සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළා. බ්‍රැඩ්මන් වීරකෝන්, කමලා රණතුංග, කුමාර් රූපසිංහ වැනි පුද්ගලයන් විසින් ඒ තොරතුරු හෙළි කරනවා. ප්‍රේමසිරි පෙරේරා සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවෙන් විජය හා චන්ද්‍රිකා සම්බන්ධයෙන් අපූරු තොරතුරු රැසක් අනාවරණය වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් වන ඩඩ්ලි, ජේ.ආර්, ප්‍රේමදාස, ගාමිණී, ලලිත්, රනිල් පිළිබඳ රසවත් වූත් මින් පෙර දැන නොසිටියා වූත් දේශපාලන කරුණු රැසක් මේ නායකයන් සමඟ සමීප ඇසුරේ සිටි විශේෂ චරිත සම්මුඛ සාකච්ඡාවට භාජනය කිරීමෙන් මතුකර ගැනීමට හැකි වුණා. ඒ අතර වෘත්තීය සමිති නායකයකු හා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ සමීපතමයකු වූ කේ.බී. මෙන්ඩිස්, විජිත කදිරගොන්න, සිරිසේන කුරේ, දහම් විමලසේන පෙන්වා දිය හැකියි. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සම්බන්ධයෙන් සැඟවුණු තොරතුරු රැසක් මෙම ග්‍රන්ථයෙන් එළි වෙනවා. ඒ තොරතුරු ලබාගැනීම සඳහා වික්ටර් අයිවන්, නයනානන්ද විජේකුලතිලක, මාතුපාල පියරත්න, ඉන්ද්‍රානන්ද සිල්වා, කෙලී සේනානායක වැනි විජේවීර ළඟින් ඇසුරු කළ ජ.වි.පෙ ප්‍රබලයන් රැසක් සමඟ මා පැය ගණන් කාලය ගත කළා. මේ කාලවකවානුවේ රටේ තීරණාත්මක දේශපාලන අවදියක් පසු කරමින් තිබුණා. එහිදී මට වුවමනා වුණා අප රටේ පාලකයන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ පැවැත්වූවා යැයි කියන රහස් සබඳතා මතු කර ගන්න. ඒ සඳහා එල්.ටී.ටී.ඊ. න්‍යාය ආචාර්ය ඇන්ටන් බාලසිංගම්ගේ සමීපතමයකු මිත්‍රයකු වූ ඇම්. ඇල්. ඒ. ද සිල්වාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ සම්මුඛ සාකච්ඡාව ඉවහල් වෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවෙන් තිස් වසරක් පුරා රට ගිලගෙන තිබූ ම්ලේච්ඡ කොටි සංවිධානය පරාජය කිරීමට කළ සැලසුම් හා ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් තියුණු පිළිතුරු රැසක් හෙළි කරනවා.
මෙම සම්මුඛ සාකච්ඡා සඳහා ඒ ඒ පුද්ගලයන් තෝරා ගැනීමේ දී ඊට බලපෑ විශේෂ හේතු තිබුණාද ?
එවැනි විශේෂ චරිත තෝරාගෙන නෙමෙයි මේ සම්මුඛ සාකච්ඡා පටන් ගත්තේ. නමුත් මා පළමු සම්මුඛ සාකච්ඡාව කළාට පස්සේ මම සම්මුඛ සාකච්ඡාවකදී පැන නැගුණු විශේෂ කාරණා තව තවත් මතු කර ගැනීමේ අටියෙන් එම සිදුවීම්වලට සම්බන්ධ විශේෂ පුද්ගලයන් සොයා යෑම සිදු වුණා. මේ සම්මුඛ සාකච්ඡා පෙළ සතිපතා ‘රිවිර ඉරිදා සංග්‍රහයේ’ පළ වුණා. ඊට ලැබුණු ප්‍රතිචාර නිසා මේ සම්මුඛ සාකච්ඡා මාලාව දිගටම කරගෙන යන ලෙස පාලන අධිකාරියෙන් උපදෙස් ලැබුණා. ඉන් දිරිමත් වූ මා තව තවත් තොරතුරු සොයා යමින් විවිධ පුද්ගලයන් සමඟ කතාබස් කරමින් තොරතුරු හෙළි කර ගැනීමට සමත් වුණා. නමුත් අවසානයේදී සම්මුඛ සාකච්ඡා සියල්ල පෙළගස්වා බැලූ පසු පෙනෙන්නට ඇති කරුණක් වන්නේ මීට බඳුන් වූ පුද්ගලයන් සැලසුමක් තුළ අප යොදාගත්
බවට කෙනෙකුට තර්ක කිරීමට ඉඩ ප්‍රස්තාව තිබෙනවා. මම එහෙම කියන්නේ සමහර වේලාවලදී ලංකාවේ ප්‍රධාන චරිත දුරකථනයෙන් මා අමතා ඔබ මේ සිදුකරන්නේ සංවිධානාත්මක මඩ ගැසීමක් කියා චෝදනා කිරීම නිසයි.
ඉන් හැඟෙන්නේ මේ සම්මුඛ සාකච්ඡා නිසා ඔබගේ ලේඛනය අභියෝගයකට ලක්වු බවයි.
මාධ්‍යවේදියකුගේ භූමිකාව කොයි අතින් ගත්තත් අභියෝගාත්මකයි. විශේෂයෙන් දේශපාලනය සම්බන්ධ වූ ජනප්‍රිය පුද්ගලයන්ගේ ඉතිහාසය ශ්‍රී ලංකාව වැනි පසුගාමී සංස්කෘතියක් යටතේ පවතින රටක මතු කිරීම වඩාත් අභියෝගාත්මකයි. අතීත නාමය මතු කිරීම හැම කෙනකුට ම මට සුන්දර වෙන්නේ නැහැ. විශේෂයෙන් සඟවා ගත් ඉතිහාසයක් සහිත දේශපාලනඥයකුට මෙය කොහෙත්ම දිරවන්නේ නැහැ. සමහර වෙලාවට අභියෝගයක් එල්ල විය නොහැකි යැයි සිතෙන අවස්ථාවලදී පවා මෙවැනි ක්‍ෂේත්‍රයකදී අභියෝග එල්ල වෙනවා. සාමාන්‍යයෙන් මරණ තර්ජන පිළිගන්වමින් පැමිණෙන දුරකථන ඇමතුම් සුලබයි. ඒ වගේම මගේ ජීවිතයේ අමතක නොවන අවස්ථා කිහිපයක් ම මෙම හෙළිදරව් නිසා මට මුණගැහෙනවා. එක් වරක් කාන්තාවන් දෙදෙනකු ගිනි අවියක් සමඟ මා සොයාගෙන ‘රිවිර’ පුවත්පත් ආයතනයට පැමිණ තිබුණා. වාසනාවට ඔවුන් දෙදෙනා චන්දන කාරියවසම් යන පුද්ගලයා කාර්යාලයේ සිටිනවාද යන්න විමසා සිටියේ මගෙන්මයි. ඊළඟට සිදුවෙන්න යන දේ ඉවෙන් වගේ තේරුණ නිසා උපක්‍රමශීලීව එතැනින් ගැලවී යන්නට මට පුළුවන්කම ලැබුණා. තවත් එක්තරා බලවතෙක් මට දුරකථනයෙන් කතා කොට අසවල් නායිකාවට පහර දීම වහාම නවතා දමන ලෙස තර්ජනය කළා. එවැනි තර්ජන තව බොහෝමයි. හැබැයි මොකක්දෝ හේතුවකටම ඒ කිසිම තර්ජනයක් මම මායිම් කළේ නෑ.
ඔබ මේ අයුරින් දේශපාලන ඉතිහාසය නැවත අවලෝකනය කරමින් සමාජගත කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද?
ඉතිහාසය තියෙන්නේ වැරදුණු තැන් නිවැරදි කරන යා යුතු නිවැරදි මග කියාදෙන උත්තම ගුරුවරයෙක්.
‘ඉතිහාසය කන්නදැයි’ කියලා අහපු නායකයෝ හිටපු කාලෙකුත් මේ රටේ තිබුණා. ඉතිහාසය නැතිව රටකටවත් පුද්ගලයකුටවත් නිවැරදි ගමනක් යන්න බැහැ. විශේෂයෙන් මේ දේශපාලන අනාවරණ හරහා මතු වන ඉතිහාසය පැතිකඩ කීපයකින් වැදගත් වෙනවා. එක් පැත්තකින් තත්කාලීන, සමකාලීන දේශපාලන ඉතිහාස පෙළ ගැස්වීමේදී ඇතිවන හිඩැසි පිරවීමට මෙම අනාවරණ හේතු වෙනවා. එමෙන්ම සමහර තීරණාත්මක සිදුවීම්වලදී මෙරට පාලනය කළ සමහර නායකයන් ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ අධ්‍යයනයක් කරන්න මින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අප ඈතින් සිට ගොඩනැගූ දේශපාලන ප්‍රතිරූප පිළිබඳව නැවත සිතා බැලීමට මෙහි එන සමහර හෙළිදරව් අභියෝග කරනවා. ඒ වගේම කෘතහස්ථ පැසුණු දේශපාලන නායකයන් ගැන කෙරෙන හෙළිදරව් අංකුර දේශපාලනඥයාට මඟ කියා දෙන මාර්ගෝපදේශකයක් ද විය හැකියි.
නෙත්මිණි