
සිංහල භාෂාව සහ සන්නිවේදනය, වාග් විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක විසින් රචිත අලුත්ම පොත් 2 ක් දැන් නිකුත් වී තිබේ. ඒ ‘බෞද්ධ ගීත හෝඩිය 1 සහ 2’ යනුවෙන් නම් කර ඇති පොත් ද්විත්වයයි. ළමා සාහිත්‍යයට එකතු වූ මෙම කෘති සම්බන්ධයෙන් සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක සමඟ පැවැත්වූ කෙටි සංලාපයකි මේ.
මොකක්ද මේ ‘බෞද්ධ ගීත හෝඩිය’ පළමුවෙන් ම ඒ ගැන හැඳින්වීමක් කරනවා නම්?
අපේ රටේ වැඩිපුර ඉන්නේ බෞද්ධ දරුවන්. අකුරු එක්ක සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන අපේ ළමයින්ට ඉගැන්නුවොත් හොඳයි කියලා මට හිතුණා. උදාහරණ හැටියට
‘ක’ අක්ෂරයට
කැලණිතිස්ස රජ
කිරින්ද නුවරට
යැවු කුමාරිය
සිහිවෙනවා
‘ඩ’ අක්ෂරයට
අපේ බුදුන් අපි වඳින්ඩ
සමන් අඩවි යනවා
නඩේ ගුරා වැඩි වැඩියෙන්
කොඩිය වනනවා
‘ල’ අක්ෂරයට
ලංකාරාමේ ගල් කණු ගල්වැටි
නෙත් සිත් බඳවාලයි
හරිම අලංකාරයි
සෝමාදේවිය කළ මෙවිහාරය
නෙත්කලු සිත්කලු වෙයි
සඳපානේ දිදුලයි
මෙම ගීතවලින් දරුවන් අකුරු ඉගෙන ගන්නවා. ඒ විතරක් නොවෙයි. කැලණිතිස්ස රජු දේවි කුමාරිය පා කර යැවූ කතාව, සිරිපාදේ වදින්න යන හැටි, ලංකාරාමයේ ඉතිහාසය ගැන, මිහින්තලේ වැදගත්කම යනාදි තොරතුරු ඉගෙන ගන්නවා. එයින් අපේ බෞද්ධ සංස්කෘතිය ගැන දරුවන්ට දැනුමක් ලැබෙනවා. අකුරු සහ බෞද්ධ සංස්කෘතිය ගැන දරුවන්ට කියාදීමේ අරමුණින් තමයි මම මේ පොත් ලිව්වේ.
සිංහල බෞද්ධ ගීත හෝඩිය 1 සහ 2 යනුවෙන් පොත් දෙකකට පළ කළේ ඇයි?
මේ පොතේ අරමුණ සිංහල අකුරු එකින් එක පිළිවෙළින් හඳුන්වා දීම. සිංහල අක්ෂර මාලාවේ අකුරු 58 යි. පළමුවැනි පොතෙන් මම ඉදිරිපත් කළේ සිංහල පද ලිවීමට අවශ්‍ය සරල අකුරු 39 සමඟ සරල පිල්ලම්. සිංහල පද ලිවීමට අවශ්‍ය ඉතුරු අකුරු 19 ‘බෞද්ධ ගීත හෝඩිය 2’ පොතින් ඉදිරිපත් කර තිබෙනවා. නිදසුන් වශයෙන් ‘ඛ’, ‘ඪ’, ‘ඓ’, ‘ශ’, ‘ෂ’, ‘ඖ’ වැනි අක්ෂර සහිත පිල්ලම් ඇතුළත් වී තිබෙන්නේ දෙවැනි පොතේ.
මෙය බෞද්ධ ගීත ලෙස රචනා කිරීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
මම මෙය රචනා කළේ ගායනා කළ හැකි ආකාරයටයි. ඒ නිසයි බෞද්ධ ගීත ලෙස පොත් හඳුන්වා තිබෙන්නේ. කොහොමටත් පොඩි ළමයි ගීතවලට කැමැතියි. ගීත ඇසුරෙන් ඉගෙන ගැනීමට ප්‍රියයි. පුංචි දරුවන්ට උගන්වන ගුරුවරුන් ගණිතය වැනි විෂය සංකල්ප පවා ගායනා මගින් උගන්වන්නේ දරුවන් ඒ ඇසුරෙන් ඉගෙන ගැනීමට කැමති නිසයි. පුංචි දරුවන්ට ඒ විදිහට කියලා දුන්නාම හොඳට මතකයේ රැදෙනවා.
මෙම පොත් ද්විත්වය ඉලක්ක කර තිබෙන්නේ කිනම් වයස් කාණ්ඩයේ දරුවන්ටද?
අකුරු කියවාගන්න පුළුවන් දරුවන්ටයි මම මේ පොත් රචනා කළේ. සාමාන්‍යයෙන් 4,5 ශ්‍රේණිවල ඉගෙන ගන්න දරුවන්ට මෙම පොත් ගැළපෙනවා. අකුරු එකින් එක ඉගෙන ගන්න දරුවන්ට මේ පොත් දෙක ගැළපෙන්නේ නැහැ. ඒ දරුවන්ට මම ‘අකුරු මිහිර’ කියලා සිංහල හෝඩිය ඉගෙන ගන්න වෙනම පොත් කට්ටලයක් රචනා කර තිබෙනවා.
සිංහල හෝඩිය ඉගැන්වීමේ ලා පරිශීලනය කරන පොත් අද අනන්තවත් දකින්නට ලැබෙනවා. එම හෝඩි පොත්වලට වඩා ‘අකුරු මිහිර’ වෙනස් වන්නේ කොහොමද?
පාරම්පරික සිංහල හෝඩි පොත් ගණනාවක් තිබෙනවා. ඒ හැම පොතකම වාගේ ‘අ’ - අම්මා, ‘ජ’ - ජම්බු යනාදී වශයෙන් පින්තූර එක්ක අකුරු තිබෙනවා. ඒත් පාරම්පරික හෝඩි පොත්වලින් දරුවන්ට අකුරු ඉගෙන ගන්න බැහැ. ඒ පොත්වලින් ළමයි අකුරු කියන්නේ අකුරු හඳුනාගෙන නොවෙයි. පින්තූර හඳුනාගෙන. උදාහරණයක් හැටියට ‘ජ’ ජම්බු කියලා කියන්නේ පින්තූරය හඳුනාගෙන මිසක් අකුරු හඳුනාගෙන නොවෙයි. අපි හිතමු ජම්බු පින්තූරය යටින් රඹුටන් කියලා ලියලා තිබුණා කියලා. ළමයා ඒත් කියන්නේ ජම්බු කියලා. ඒ දරුවා අකුරු හඳුනනවා නම් රඹුටන් කියලා කියනවා මිසක් ජම්බු කියන්නේ නැහැ. අනික ‘ජ’ ජම්බු කියලා අකුරු හඳුනාගෙන කියනවා නම් ඒ ළමයා ‘බ’ - බම්බු කියලා කියන්න ඕනෑ. ඒත් එහෙම කියන්නේ නැහැ. ඒ නිසයි මම කියන්නේ පාරම්පරික සිංහල හෝඩි පොත්වලින් අකුරු ඉගෙන ගන්නේ නැහැ කියලා. ඒත් අවුරුදු ගණනක ඉඳලා තවමත් මේ ක්‍රමය යනවා. ඒ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු හැටියට මම හිතුවා මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා.
මේ අතරවාරයේදී ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වූ ලක්ෂ්මන් ජයවර්ධන මහත්මයා මට ආරාධනා කළා ලේක්හවුස් ආයතනයෙන් ග්‍රන්ථ ප්‍රකාශන කටයුත්තක් ආරම්භ කරනවා, ඒකට පොතක් ලියලා දෙන්න කියලා. ආරාධනාවක් ලැබුණු නිසා මම සිංහල හෝඩිය ‘අකුරු මිහිර’ නමින් ලිව්වා. මෙහිදී මම අකරාදි පිළිවෙළට අකුරු ලිව්වෙ නැහැ. දරුවන්ට පහසු වන ආකාරයට ඒ කියන්නේ ට, ම, ව ආදී වශයෙන් සරල අකුරුවලින් පටන් අරගෙන ලිව්වේ. එයින් දරුවා අක්ෂරය හඳුනාගෙන කියවන තත්ත්වයක් ඇති වෙනවා. මේ පොත් 1, 2,3, 4 හා 5 වශයෙන් පොත් 5 ක් තිබෙනවා. ‘අකුරු මිහිර’ පොත්වල චිත්‍ර ඇන්දේ ප්‍රවීණ චිත්‍ර ශිල්පිනි සිබිල් වෙත්තසිංහ. ‘අකුරු මිහිර’ කියන නම දැම්මෙත් සිබිල් වෙත්තසිංහමයි.
සාමාන්‍යයෙන් මහාචාර්ය ජේ.බී. දිසානායක ප්‍රචලිත වී සිටින්නේ භාෂාව, ව්‍යාකරණ, සන්නිවේදනය වැනි විෂය පථයන් සමඟ. එවැනි වියතෙක් ගායනා කළ හැකි ආකාරයට, ගීත ලෙස අකුරු ඉගැන්වීම අපට දුරස් බවක් දැනෙනවා.
ඇයි එහෙම කියන්නේ? මම සරසවි ප්‍රවේශය සමත් වී සිටින කාලයේ තමයි රාවණ ගීත නාටකය ලිව්වේ. ඒ කාලේ එයට කිත් පැසසුම් ලැබුණා. ඊට පස්සේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියාම මහාචාර්ය සරච්චන්ද්‍ර ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍ය කරන නිසා මම මඳක් නිහඬ වුණා. ඒ එක්කම මම වාග් විද්‍යාව, භාෂාව හා සන්නිවේදනය යන විෂයන් කෙරෙහි යොමු වෙලා ඒවා ගැඹුරින් අධ්‍යයනය කරන්න පෙලඹුණා. ඒත් ගීතය මගේ ඇගේ තිබුණා. මේ දවස්වල වේදිකාගත වන ‘රාවණ සීතාභිලාෂය’ නාට්‍යයේ රාවණ කොටසට ඇතුළත් වුණේ මා ලියූ ගීත නාටකය. සීතාභිලාෂය කොටස ලිව්වේ නාමෙල් වීරමුනි.
බෞද්ධ ගීත හෝඩිය’ පොත් ද්විත්වයේ කුඩා දරුවන්ගේ ආකර්ෂණය දිනාගත හැකි ආකාරයේ චිත්‍ර ඇතුළත් වී තිබෙනවා. ඒ ගැන සඳහනක් කරනවා නම්?
මෙම පොත්වල චිත්‍ර ඇන්දේ නිරූපමා මහගමසේකර. ඈ මහගමසේකරගේ දියණියක්. මහගමසේකර මගේ මිත්‍රයෙක්. මම ඔහුගේ වගේම දියණියගේත් චිත්‍ර කලාවේ ශක්‍යතාව ගැන හොඳින් දන්නවා. ඒ නිසා දුවටත් මම චිත්‍ර අඳින්න කියලා කිව්වා. ඒත් ඈ ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වූවේ නැහැ. පස්සෙ මගේ බල කිරීමට ‘නරියයි කිඹුලයි’ ඇතුළු මා ලියූ ළමා කතා පොත් කීපයකටම චිත්‍ර ඇන්දා. ඒ සිතුවම්වලට හුඟ දෙනෙකුගෙන් ප්‍රශංසා ලැබුණා. ඒ නිසා මෙවරත් මම බෞද්ධ ගීත හෝඩිය 1 සහ 2 යන පොත් දෙකේම චිත්‍ර ඇඳීම ඇයට පැවරුවා. මේ පාරත් ඈ ඒ කටයුත්ත ඉතා හොඳින් ඉටු කර දුන්නා.