නර්තනය සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගෙනා නර්තනාචාර්යවරයා දිවි රඟ මඬලෙන් බැස යයි | Page 5 | සිළුමිණ

නර්තනය සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගෙනා නර්තනාචාර්යවරයා දිවි රඟ මඬලෙන් බැස යයි

ආචාර්ය පියසාර ශිල්පාධිපති 1945 මාර්තු මස 19 වැනි දින සාරංගා ශිල්පාධිපති පියාණන්ට හා සව්වානි මෑණියන්ට දාව හත්කෝරළයට අයත් පොල්ගහවෙල ගම්පියසේදී මෙලොව එළිය දුටුවේය. මේ කාලය වනවිට පොල්ගහවෙල නර්ථන කලාවට නෑකම් කියූ පරදපුරක්ද බිහි වී තිබුණි. ගම තුළ නිරන්තරයෙන් ඇසෙන දවුල්, තම්මැට්ටම් හා බෙරවාදනවලට කුඩා පියසාරගේ සිත ඇදී ගියේය. මේ තාලවාද්‍ය භාණ්ඩ වයමින් සිදු කරනු ලබන ශාන්තිකර්මයක් වන කොහෙඹා කංකාරිය ඔහුගේ සිත් ගත්තේය. මෙනිසා කුඩා කාලයේ සිටම පුංචි පියසාර වාදනයට, නර්තනයට හා ගායනයට හපනකු විය.

ඔහුගේ මුල් ම ගුරුවරයා වූයේ සෙව්රංගා ගුරුන්නාන්සේ ය. ඔහු අනෙකකු නොව පියාසරගේ කිරිඅත්තා ය. මුල් ම ගැටබෙර වාදනය පියාසර ඉගෙන ගත්තේ ඔහුගෙනි. නවසිය හතළිස් අටේ දී පොල්ගහවෙල වැලිගොඩපිටිය ශ්‍රී සුධර්මාරාම විහාරයේ විහාරාධිපති හිග්ගොඩ පේමානන්ද හිමිපාණන්ගෙන් අ යනු ආ යනු කියවූ හෙතෙම 1950 වසරේදී පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් විදුහලට ඇතුළත් විය. මේ කාලය වනවිට පියාසරගේ බාප්පා වූ ශිල්පා ගුරුන්නාන්සේ පොල්ගහවෙල ශිල්පාධිපති කලායතනය ආරම්භ කර තිබුණි. පුංචි පියසාර මේ කලායතනයේ දක්ෂ ශිෂ්‍යයෙක් විය. 1958 දී පොල්ගහවෙල වැලිගොඩපිටිය විහාරස්ථානයේ දී ඔහුගේ කලඑළි මංගල්‍යය පැවැත්විය.

පණීභාරත, චිත්‍රසේන වැනි නර්තනාචාර්යවරුන්ගේ නර්තන වින්‍යාසයන් පිළිබඳව පියසාරට දැනගන්නට ලැබුණේ මේ කාලයේදීය. චිත්‍රසේනයන්ගේ ‘නල දමයන්ති‘ මුද්‍රා නාට්‍ය නැරඹීමට අවස්ථාව උදාවූයේ මේ අතරතුරදීය. කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයේ රංග ශාලිකාවේදී වේදිකා ගත වූ මේ නාට්‍යය පියසාරගේ සිත නර්තනය කෙරෙහි වඩාත් ආසක්ත කරවිය.

එවකට ජර්මනියේ තානාපති නිල නිවෙසේ නැටුම් සංදර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබුණි. එහි වෙස් නැටුම් කණ්ඩායමක් සූදානම් කරගන්නා ලෙස චිත්‍රසේනයන් පවසා තිබුණේ ශිල්පාධිපතිගේ මාමා වූ සයිමන් ශිල්පාධිපතිට ය. ඔහු චිත්‍රසේන යටතේ ශිල්ප ලැබීමට මෑවූ සිහිනය සැබෑ කරගැනීමට එහිදී වරම් ලැබේවි යැයි හේ සිහිනයකිදු නොසිතුවේය. එදා වෙස් නැටුම් කණ්ඩායමට සම්බන්ධ වී අගනා නර්තනයක් පියසාර ඉදිරිපත් කළේය. නර්තනය අවසානයේ ඔහු අසලට පැමිණි චිත්‍රසේන සුබ පතමින් අපූරු යෝජනාවක් කළේය. ‘නෘත්‍යාංජලී‘ සංදර්ශනයේ ශිල්පියකු ලෙස කටයුතු කළ හැකිදැයි හේ පියසාරගෙන් විමසීය. ඒ ඇරියුම පියසාරට අදහාගත නොහැකි විය. එතැන් පටන් ඔහු චිත්‍රසේනගේ නර්තන කණ්ඩායමේ නිශ්චිත සාමාජිකයෙක් විය. චිත්‍රසේන කලායතනයත් සමඟින් ඔහු බොහෝ රටවල සංචාරය කළේය.

තරුණ පියසාර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හතරවැනි වසරේ ඉගෙන ගන්නා අතරතුර රජයේ ලලිත කලායතනයේ දී ඔහුට හරි අපූරු තරුණියක මුණැගැසුණි. ඇය චන්ද්‍රකාන්ති නම් වූවා ය. ඒ වන විට ඇය පළමු වසරේ ශිෂ්‍යාවක වූවා ය. ක්‍රමයෙන් මේ ඇසුර ආදරයක් බවට පෙරළුණි. චන්ද්‍රකාන්ති ද ගායනය හා නර්තනය එක ලෙස දස්කම් පෑවාය. ඇයට රාජ්‍ය ලලිත නර්තන කණ්ඩායම නියෝජනය කරමින් මුල් ම සංචාරය සඳහා අවස්ථාව ලැබුණේ මේ අතරතුරය. ඒ ගමනට ප්‍රවීණ ශිල්පියකු ලෙස පියසාර ද සහභාගි විය. 1977 වසරේ පියසාර චන්ද්‍රකාන්ති හා අතිනත ගත්තේය.

1978 දී නැටුම් උපදේශකවරයකු ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ පියසාරට පත්වීමක් ලැබුණි. ශ්‍රී ලාංකික දරු පරපුරට පමණක් නොව, විදෙස් දරුවන්ටද පියසාර අපේ බෙර පද කියා දුන්නේය. මෙරට සංස්කෘතික කලා අනන්‍යතා විදෙස් රටවල වේදිකාව මතට ගෙන යන්නට පියසාරත් ඔහුගේ බිරිය චන්ද්‍රකාන්තිත් විශාල දායකත්වයක් සැපයූහ.

පසුව මේ දෙදෙනා එක්ව ඔවුන්ගේ නමින් රංගායතනයක් ආරම්භ කළ අතර, ඒ පියසාර-කාන්ති රංගායතනය නම් විය. වේදිකාවේ රඟපෑම හුරු කරනවා වෙනුවට දරුවන් නර්තන අධ්‍යනය හා ජන ගායනා සඳහා යොමු කරවීමට මේ ගුරු දෙපළ වෙහෙස වූවෝය. සෑම වසරක් අවසානයේ ඔවුහු මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලඑළි මංගල්‍යයක් පැවැත්වීමට අමතක නොකළහ.

මෙරටට අනන්‍යතාව රැකගනිමින් දේශීය තාලවාද්‍ය භාණ්ඩයක් වූ බෙරය ලොවට ගෙනගිය බෙර වාදකයා වූයේ පියසාර ශිල්පාධිපති ය. බෙර ඇසේ සියුම්ව අත ගටමින් සියතින් නද දෙන තාල නිර්මාණාත්මකව පොහොසත් කිරීමට හේ මහත් වෙහෙසක් ගත්තේය. විදේශයන්හිදී තමා දුටු බොහෝ දෑ මෙන්ම තමා අත්විඳි බොහෝ අත්දැකීම් එකතුකොට ඔහු අපූරු දේශීය බෙර වාද්‍ය ලෝකයට හඳුන්වා දුන්නේය. ගැටබෙරයේ වම් ඇසත්, දවුල් බෙරයේ එක් ඇසකුත් උපයෝගී කර ගනිමින් ඔහු අපූරු බෙරයක් නිර්මාණය කළේය. එය වාදනය කරනුයේ අතින් හා කඩිප්පුවෙනි. අරිසෙන් අහුබුදු ශූරීන් විසින් එයට දෙන ලද නම වූයේ ‘ගැවුල‘ යි. එසේම තම්මැට්ටමත් දඬු බෙරයත් එක්කරමින් නවනාද රටා හඳුන්වාදීමට ද ඔහු කටයුතු කළේය. මේනිසා සාම්ප්‍රදායික ගුරුකුලවලින් ඔහු දෝෂ දර්ශනයට ද ලක්විය. එහෙත් ඔහු නොබියව ඊට මුහුණ දුන්නේය. ශ්‍රී ලාංකේය බෙර වාදන ශිල්පය මූලිකව ප්‍රාසංගික කලාවක් ලෙස වර්ධනය කළ පුද්ගලයින් අතර පියසාර ශිල්පාධිපති මහතාට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ ද එනිසාය.

ආචාර්ය පියසාර ශිල්පාධිපති සහභාගි වූ විදෙස් සංදර්ශන සංඛ්‍යාව සුළුපටු නොවේ. විදෙස් රටවලින් ඔහුට බොහෝ ගෞරවනාම තිළිණ කෙරුණි. බෙර ශිල්පය හදාරන විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසු වන්නට පියසාර, 1991 වසරේදී සිංග් ලංකා ආයතනය හා එක්ව ‘බෙර නද‘ නමින් කැසට්පටයක් ද එළි දැක්වීමට කටයුතු කළේය.

හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ පියසාර ශිල්පාධිපති මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන්ද කලක් කටයුතු කළේය. මීට වසර කිහිපයකට ප්‍රථම සංදර්ශනයකට සහභාගි වන්නට විදෙස් රටකට ගිය අතරතුර නාන කාමරයේ ලිස්සා වැටීමෙන් ඔහුගේ හිස නාන තටාකයේ ගැටී තුවාල විය. ඒ මොහොතේ සුළු ප්‍රතිකාරයකින් සෑහීමට පත් වූ ඔහු එය එතරම් ගණනකට ගත්තේ නැත. නමුත් එය ටිකෙන් ටික පියසාරට නොදැනීම උත්සන්න විය. 2013 වසර වන විට මේ අසහාය බෙරවාද්‍ය ශිල්පියාට එක් අතක් ඉහළට එසවීමට නොහැකි විය. එය ටිකෙන් ටික වර්ධනය විය. 2019 සැප්තැම්බර් මස 02 වැනිදා මේ අපූරු තාලවාද්‍ය ශිල්පියා නර්තනාචාර්යවරයා වසර 75 ක් වන සිය ජීවන රඟමඬලේ භූමිකාව අවසන් කළේය.

Comments