ගමට නමක් | සිළුමිණ

ගමට නමක්

මා නවකයෙකු වශයෙන් පේරාදෙණියේ පිහිටි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට පිවිසියේ සිත චමත්කාරයෙන් පුරවා ගනිමිනි. එක් පැත්තකින් හන්තාන කඳු වැටිය ද අනික් පැත්තෙන් මහවැලි ගඟ ද මායිම් කොට ගත් පේරාදෙණි සරසවි උයන මිහි බට නඳුන් උයනක් වැන්නැයි මට සිතිණ. සාරියෙන් හෝ ඔසරියෙන් සැරසුණු යොවුන් ලියන් අප්සරාවන් මෙන් සරසවි උයනේ එහා මෙහා ගිය සැටි අදත් මගේ සොඳුරු මතකය අවදි කරයි.

අප විශ්වවිද්‍යාල දේශනවලට සහභාගි වූයේ මහත් අභිරුචියකිනි. එහෙත් එදා මුලින් ම සිංහල දේශනය සඳහා පැමිණි තරුණ ආචාර්යවරයාගේ මුහුණ අපට නුහුරු විය. මොහු කවුදැයි අපි කල්පනා කළෙමු. අපේ සිත් දැනගත්තාක් සෙයින් ඔහු මෙසේ කීය:

"මගේ නම ආනන්ද සල්ගාදු කුලසූරිය"

ඇත්ත වශයෙන් ඔහු එසේ කීවේ අපේ සිත් දන්නා පරචිත්ත විජානනයකින් නොවේ. එය බටහිර විශ්වවිද්‍යාලවල චිරාගත සම්ප්‍රදාය වූ හෙයිනි. ඔහු පශ්චාද්උපාධිය ලබා ගෙන ආවේ ප්‍රංසයෙහි පැරිස් නගරයෙහි පිහිටි සෝබොන් විශ්ව විද්‍යාලයෙනි. ඒ විශ්වවිද්‍යාලයෙහි එක් සම්ප්‍රදායක් වූයේ දේශනයකට එන ආචාර්යවරයා පළමුවෙන් ම තමා කවුදැයි නම කියා ශිෂ්‍ය ප්‍රජාවට හඳුන්වා දීම යි. ප්‍රංසය වැනි විශාල දේශයක විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මුහුණින් හඳුනා ගැනීමට කිසිවකුටත් නුපුළුවන් වූ හෙයිනි. ඒ සම්ප්‍රදාය අනුගමනය කරමිනි ඔහු එදා තමාගේ නම හෙළි කළේ. ඔහු තම නම කියා අවසන් වෙත්ම අප අතර සිටියෙක් මෙසේ ඇසීය:

"ගම කොහෙද"

ඔහු ඉතා නිහතමානීව "පානදුරේ" යැයි පිළිතුරු දුන්නේය.

මෙයින් හෙළි වන එක් දෙයක් ඇත. එනම් ප්‍රංස ජාතිකයන්ට වැදගත් නුවුවත් සිංහල අපට කෙනකුගේ නම මෙන් ම ඔහු උපන් ගම ද දැන ගැනීම වැදගත් වන බව යි. කෙනෙකුගේ ගම කොහේ දැයි දැන ගැනීමෙන් ඒ පුද්ගලයා ගැන තවත් නොයෙක් තොරතුරු දැන ගැනීමට සිංහලයාට හැකි වන බැවිනි.

සිංහලයා තමා උපන් ගම ගැන බොහෝ විට කියන්නේ මහත් අභිමානයෙනි.

"වැඩ බැරි වුණත් ගම ගාල්ලෙ"

යැයි රුහුණු වැසියන් කියනු අපි නොයෙක් වර අසා ඇත්තෙමු.

ගම කොතරම් වටී දැයි කියවෙන ජනප්‍රවාදයක් දෙගල්දොරුව රජ මහ විහාරය ඇසුරින් බිහි වී ඇත. මෙහි ඇඳ ඇති බිතු සිතුවම් කලාත්මක වටිනාකමක් ඇති බිතුවම් සේ ආනන්ද කුමාරස්වාමි මහතා හා මංජු ශ්‍රී මහතා වැනි කලා විචාරකයන් අගේ කොට ඇත. මේ සිතුවම් ඇඳීමේ ගෞරවය ලැබෙන්නේ මහනුවර කාලයෙහි විසූ සිත්තර පරම්පරාවකට ය. මේ සිත්තරුන් අතුරින් වඩාත් දක්ෂ ශිල්පියා වශයෙන් සැලකුණේ දෙවරගම්පළ සිල්වත් තැන ය. සමහරුන් ඔහු හැඳින්වූයේ "දෙවරගම්පළ උන්නාන්සේ" යන නමිනි. ඔහු මහණ බිමට ඇතුළු වී සිටියත් උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ නමක් නොවීය.

මෙහි සිතුවම් ඇඳ අවසන් වූ විට රාජාධිරාජසිංහ රජතුමා ඔහුගෙන් මෙසේ ඇසුවේ ලු:

"උඹට උපසම්පදාව ඕනෑ ද ගම ඕනෑ ද"

සිල්වත් තැන මෙසේ පිළිතුරු දුන්නේ ලු:

"දේවයන් වහන්ස මට හොඳයි ගම"

මේ හේතුවෙන් දෙවරගම්පළ සිල්වත් තැනට ගමක් ලැබිණ. උපසම්පදාව නොලැබිණ!

අපේ රට ගම්වලින් සැදුණු රටකි. අද අපේ රටේ ගම් කීයක් ඇද්දැයි පරම නියත වශයෙන් කිව නොහැකි ය. අලුත් ගම් කලින් කලට එකතු වන නිසා ය.

එහෙත් එක්තරා ජන කවියෙක් පුරාණ "ත්‍රි සිංහලේ" ගම් නියම්ගම් ගණන දා හතර ලක්ෂ අසූ දහසක් බව මෙසේ කියා සිටියේය:

"ලස්ස හතයි අසු දහසයි රුහුණු රටේ ගම් ඔක්කො ම

ලස්ස දෙකයි පණස් දහස මාය රටේ ගම් ඔක්කො ම

ලස්ස හතර පණස් දහස පිහිටි රටේ ගම් ඔක්කො ම

ලස්ස තුදුස අසූ දහස ත්‍රි සිංහලේ ගම් ඔක්කො ම"

මේ කවියා "ත්‍රි සිංහලේ" යැයි කීවේ පැරැන්නන්ගේ බෙදීමක් අනුව ය. ඒ "තුන් සිංහලය" නම් "රුහුණු රට" "මායා රට" හා "පිහිටි රට" යන "රටවල්" තුන යි. මේ රටවල් තුන පිහිටා තිබුණේ "සිංහලය" යන නමින් හැඳින්වුණු එක ම "රට" ඇතුළෙහි ය.

ගම් කීයක් ඇතත් ඒ හැම ගමකට ම නමක් ද ඇත. එක ම නම ඇති ගම් ද රාශියකි. ගමකට නමක් ලැබුණේ කෙසේ දැයි ඉඳුරා කිව නොහේ. ඊට විවිධ හේතු සාධක ඒ ගමේ ම උපන් "ගංකාරයෝ" ද විවාහ සම්බන්ධකම් නිසා පිට ගම්වලින් පැමිණ එහි පදිංචි වූ "පිටගංකාරයෝ" ද දක්වති.

ගමේ නම සැදුණු ආකාරය විමසා බැලීමෙන් ඔබට දැනුමක් ද රසයක් ද ලබා ගත හැකි ය. මේ ලිපි පෙළ ගමක් හඳුන්වන නමක් ගැන යමක් හෙළි කරනු පිණිස ය.

Comments