
ප්‍රියන්ත මධුකුමාර විසින් රචනා කරන ලද දඬුවම් නොකරන අපරාධ සහ අමරසිංහගේ දිනපොත කෘති ද්විත්වය හෙට 09 වැනිදා පදනම් ආයතනයේදී සවස 3.00ට එළිදැක්වීමට නියමිතය. මේ සංවාදය ඒ නිමිතිකොටගෙනය. කතුවරයා 2011 – 2015 කාලය තුළ ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාය. ප්‍රියන්ත මධුකුමාර වර්තමානයේ ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරයි.
මොනවද මේ දඬුවම් නොකරන අපරාධ?
මගේ පළමු වැනි පොත ‘දඬුවම් නොකරන අපරාධ’ රචනා කළේ 2019 ජූනි මාසයේදී. පාස්කු ඉරිදා ප්‍රහාරය තමයි ඒ පොත ලියන්න මුල් වුණේ. පාස්කු ප්‍රහාරයේ සිද්ධි ගැන පොතෙන් කතා කරන්නේ නෑ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස තියෙන අන්තර්ජාතික දේශපාලනය ගැනයි එහිදී සාකච්ඡා කරන්නේ. මත්ද්‍රව්‍ය සහ ඉස්ලාම් ත්‍රස්තවාදය අතර තියෙන අන්තර් සම්බන්ධය මේ පොතේදී කතා කරනවා.
දෙවැනි පොත ‘අමරසිංහගේ දිනපොත’ ජවිපෙ හිටපු නායකයා, එනම් ජවිපෙ තුන්වැනි නායකයා සෝමවංශ අමරසිංහ මහතා මුහුණ දුන් දේශපාලන අභියෝග ගැන කතා කරන්නේ ඒ පොතෙන්. එහි දී වකවානු දෙකක දී ඒ මහතා පසුපස කළ ලුහුබැඳීම් ගැන සාකච්ඡා කරනවා.
ජවිපෙ ඉතිහාසය මාධ්‍ය විසින් වැඩි වශයෙන් පළ කරන මාතෘකාවක්. ඔබත් මේ මාතෘකාව තෝරාගත්තේ ජනප්‍රිය වන්නටද?
අමරසිංහ කියන්නේ විනාශ කරපු, සැකය පැතිරුණු, සාමාජිකයන් අතර අවිශ්වාසය රජ කරපු පක්ෂයක් ගොඩනඟපු කෙනෙක්. ඒ වගේ පක්ෂයක් ඔහු ගොඩනැඟුවා. එවැනි පුද්ගලයෙකු ගැන ලියන්න මට තියෙන පසුබිම මොකක්ද?. ඒකට පිළිතුර වන්නේ මගේ ඉතිහාසයයි.
මම මොනරාගල බඩල්කුඹුරේ. මම නවය පන්තියේ විතර ඉද්දී රහසිගත ව්‍යාපාරයකට ඇතුළත් වුණා. අවුරදු 18දී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ වුණා. එතැන් සිට වාමාංශික ව්‍යාපාරයේ වැඩ කළා. සෝමවංශ අමරසිංහ 2001 වසරේදී බොහෝ කාලයකට පසුව ශ්‍රී ලංකාව එනවා. ඒ කාලයේ මම තමයි කළුතර දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායක. එදා කළුතර දී තමයි ඔහු ජනතාවට කතා කළේ. එදා තමයි ඔහු පළමු වැනි වරට දැක්කේ. ඔහුගේ කටහඬ කලින් අසා තිබුණා. 1990 වසරේදී ඔක්කම්පිටිය මහ කැලයේ ඒ කාලයේ සැඟවිලා හිටියේ. එහිදී අපට කැසට් පටයක් ආවා. එහිදී සෝමවංශ අමරසිංහ නමින් ඔහු විසින් අප ආමන්ත්‍රණය කළා. ඊට කලින් රෝහණ විජේවීරයන්ගේ කටහඬ කැසට් පටයකින් ඇහුවේ. ඔහු මරා දැමූ බව කියන පණිවුඩය අප ඇසුවේත් ඔක්කොම්පිටිය ඒ කැලේ ඇතුළේදීයි.
මේ ඉතිහාසය වෙන්න ඇති පොතේ ලියවිලා තියෙන්නේ?
2001 වසරේ සිට සෝමවංශ අමරසිංහ මහතා සමඟ වසර 30ක ඉතිහාසයක් තියෙනවා. සෝමවංශ අමරසිංහ මහතා මිය යන තෙක්ම ඔහු සමඟ හිටියා.
‘අමරසිංහගේ දිනපොත’ ලියැවෙන්නෙත් හදිසියේමද?
මගේ පුරුද්දක් තියෙනවා පරිගණකයෙන් දිනපොතක් පවත්වාගෙන යන එක. පොතේ ඇතුළත් දින සටහන් මම ලියලා තිබ්බේ. ඒ වගේම පින්තූර එකතුවකුත් මා ළඟ තියෙනවා. මම ‘ලංකා’ පත්තරේ ප්‍රධාන කර්තෘවරයාව සිටිය දී තමයි ‘සිරි අයියාගේ මතකය’ නමින් ලිපි පෙළක් පුවත්පතට සම්පාදනය කළේ. ඒ ලිපි පෙළ ලියන්න සෝමවංශ අමරසිංහ මහතා සමඟ ජවිපෙට සම්බන්ධ ඓතිහාසික ස්ථානවලට ගියා. මේ අත්දැකීම්ද සමඟින් පොත සම්පාදනය කළා. ඒ ඕස්ට්‍රේලියානු මිත්‍ර කණ්ඩායම තමයි මේ පොත මුද්‍රණය කිරීම පසුපස ඉන්නේ. මාගේ සේවා ස්ථානයත් මගේ අදහස්වලට ප්රජාතන්ත්රවාදී අවකාශයක් හදලා තියෙනවා.