අධිකරණය ශක්තිමත් ද? | සිළුමිණ

අධිකරණය ශක්තිමත් ද?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නව අග්‍ර විනිශ්චයකරු ලෙස විනිසුරු නලින් පෙරේරා පත්විය. අපේ අධිකරණයේ ස්වාධීන හෝ සද්භාවි නැත. අධීකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට පහර දීමෙන්, 43 වෙනි අග විනිසුරුවරිය නෙරපා හැරීමෙන්, නිතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පාලනයට යටත් කිරිමෙන් අධීකරණයේ ස්වාධීනත්වයට ඍජුව බාධා සිදුවිය. මෙකී අතීත අත්දැකීම් 39ක් අධිකරණ සේවයෙහි නියුක්ත නව අගවිනිසුරුවරයා ද මැනවින් දනී.

හෙජින් ගිවිසුමට සම්බන්ධ නඩුවේදි රාජ්‍ය සේවයට නුසුදුස්සකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නම් කොට දඬුවම් ලැබූ අයකු නැවත රාජ්‍ය සේවායෙහි පිහිටුවීමට අග විනිසුරු අසෝක සිල්වා ක්‍රියා කළේය. අග විනිසුරු සරත් නන්ද සිල්වා හෙල්පින් හම්බන්තොට ගිණුම පිළිබඳ ස්වකීය තීන්දුව දූෂිත බව කීය. අග විනිසුරු මොහාන් පීරිස් ජනවාරි 8 දින අලුයම ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ සමඟ අගමැති නිල නිවසේ මැතිවරණ ප්‍රතිඵල අසමින් සිටි බව වාර්තා විය. 1999 සැප්තැම්බර් 16 දින සිට 2015 ජනවාරි 30 දින තෙක් ශ්‍රී ලංකාවේ සමහර අග විනිසුරුවරුන්ගේ මෙවැනි හැසිරීම් නිසා අධිකරණය දිනාගත් ඓතිහාසික ගෞරවයට හානි සිදු විය. හැම ආගම් විශ්වාස කරන්නන් ඊටත් වඩාත් විශ්වාසයෙන් පැමිණෙන අධිකරණය දේවස්ථානයකට වඩා පවිත්‍ර විය යුතු වේ.

අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි පාර්ලිමේන්තු තේරීම් කමිටුවට එරෙහිව කනකසභාපති ශ්‍රී පවන් සහ ප්‍රියසාද් ඩෙප් ආදි ශේෂ්ඨාධිකරණ විනිසුරුවන් නිර්දේශ සහිතව රිට් ආඥාවක් නිකුත් කිරිමට විනිසුරු එස්. ස්කන්ධරාජා, සභාපති විනිසුරු අනිල් ගුණරත්න සහ විනිසුරු ඒ. ඩබ්ලිව්. ඒ. සලාම් ආදි අභියාචනාධිකරණ විනිසුරුවරු පියවර ගත්හ. එකී විශිෂ්ටයන් අධිකරණයේ ගෞරවය වෙනුවෙන් ක්‍රියා කළේ පවත්නා අවදානම තේරුම් ගෙනය. එවැනි තත්ත්වයක් අද නැත. ජොන්ස්ටන් ප්‍රනාන්දු වර්තමාන අධිකරණය අපක්‍ෂපාති බව පිළිගෙන ඇත.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර නඩුවේ අභියාචන පෙත්සම් විභාගය අතර, සමහර ධනවත් ව්‍යාපාරිකයන් සතු මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය හරහා භාරත ලක්‍ෂමන්ට පෙර දුමින්ද සිල්වාට වෙඩි වැදුණු බව කියැවෙන සාක්‍ෂියක් ප්‍රසිද්ධ කරමින්, දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බවට බල කෙරෙන මතයක් නිර්මාණය කෙරිණි. එකී බලපෑම් හමුවේ ශ්‍රේෂ්ඨාධීකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හෝ නීතිපති දෙපාර්තමේන්තුව දුර්වල නොවීය. එකී තීන්දුව ලාංකේය අධිකරණ ඉතිහාසයේ විශිෂ්ට ජයග්‍රහණයකි.

යුද සෙබළුන් සිදු කළ අපරාධ පිළිබඳ විමර්ශනවලට ජාතිවාදි සහ ආගම්වාදි බලපෑම් තවමත් එල්ල වේ. එකී බලපෑම් නොතකා ගලගොඩඅත්තේ භික්‍ෂුවට එරෙහි නඩු විභාග විය. ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් එකී තීන්දු පිළිගත් බව පෙනේ. සුදු කොඩි නඩුවේ සරත් පොන්සේකා නිදහස් කරමින් විසම්තික තීන්දුව දුන් විනිසුරු පී. බී. වරාවැව වහා විශ්‍රාම ගැන්වීය. භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චුදිතයන් නිදහස් කරමින් විසම්තික තීන්දුව දුන් විනිසුරු ශිරාල් ගුණරත්න තවම අධිකරණ සේවයේය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදි සංගමයේ චන්ද්‍රපාල කුමාරගේ මරණ දඬුවමට නියම සිටි, දුමින්ද සිල්වා හමුවීමට විනිසුරුවරියක ගිය බව බීබීසියට හෙළි කළේය. තමා අත් අඩංගුවට නො ගන්නැයි ගෝඨාභය රාජපක්‍ෂ ඉල්ලා සිටි වාරණ නියෝගය වහා නිකුත් කළේය. විනිසුරු ඊවා වනසුන්දර නඩුවෙන් ඉවත් වීම නිසා, එකී වාරණයට එරෙහිව තවත් පාර්ශ්වයකට කරුණු දැක්වීමට ඇති අයිතිය අහෝසි විය. රුපියල් කෝටි 6ක් අවභාවිත කළ සිල් රෙදි නඩුවේ චුදිතයන්ට පොදු දේපළ නීතියට පටහැණිව ඇප දීම ප්‍රශ්නගතය. ප්‍රකට නඩු ගණනාවක චුදිතයන්ට ඇප මෙන්ම, විදේශ ගතවීමේ අවසරයද හිමි වේ. එකී චුදිතයන් විදේශ ගතව අධිකරණය මඟහැරීම සාමාන්‍ය තත්ත්වයකි. අධිකරණයට අපහාස කිරීමේ නඩුවක වගඋත්තරකාර මන්ත්‍රී රන්ජන් රාමනායක දූෂිත නඩු තීන්දු දුන් සරත් නන්ද සිල්වාගේ විශ්‍රාම වැටුප අත්හිටුවා චෝදනා නිකුත් කරනතෙක් සිය නඩුව බහා තබන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා ඇත.

අධිකරණයේ ගෞරවය හෑල්ලු වන මෙවැනි තත්ත්වයන් කිසිවෙක්වත් අපේක්‍ෂා නො කරති. සයිටම් ගැන දුන් අධිකරණ තීන්දුවට බාධා කිරීමෙන් විදේශ ආයෝජන පවා අහිමි වනු ඇත. ප්‍රාථමික උසාවියක නියෝග උද්ඝෝෂණ හමුවේ හෑල්ලු වේ. ලංකාවේ විනය ඇති කළ හැක්කේ නීතියට පමණකි.

මේ හරහා නිරීක්‍ෂණ දෙකක් අවධාරණය කළ හැකිය. පළමුවැන්න යහපාලනය අධිකරණයට බලපෑම් නො කරන බවය. දෙවැන්න අපේ අධීකරණ සේවය යම් ප්‍රමාණයකට දූෂිත හෝ අකාර්යක්‍ෂම බවය.

තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන සිද්ධියෙන් පෙනී යන්නේ දූෂණ වංචාවලට ඇති ඉඩකඩ ඇහිරෙමින් ඇති බවය. නඩරාජා රවිරාජ් ඝාතන නඩුව ත්‍රි පුද්ගල මහාධිකරණයකට යොමු නොකර සිංහල කතා කරන ජූරියක හිර කිරීමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුව බාරගත යුතු වේ.

අයර්ලන්තයේ අධිකරණයකදී ජූරිය ඇමතූ විත්තියේ නීතිඥයා ප්‍රාදේශීය භාෂාවක අප්‍රකට වචන කිහිපයකින් සිය දේශනය නිම කළේය. ජූරි සභාව ඒකමතිකව විත්තිය නිදොස් බව දැන්වීය. පසුව විනිසුරුවරයා දැනගත් ආකාරයට, “ මේ විනිසුරු මෙන්ම මෙහි භාවිත වන නීතියද රජයේ නීතිඥයන්ද ඉංග්‍රීසින් සතු වේ. විත්තිකරුත් ජූරි සභාවත් අයිරිෂ් ජාතිකයන් බව පමණක් මතක තබා ගත යුතු ය.” යන්න එකී වචනවල තේරුමය. සමහර විට යාං හෑලි අපට බොහෝ දේ උගන්වයි.

අනවශ්‍ය ලෙස නඩු පමා වීම පහළ උසාවිවල පමණක් සීමාවී නැත. අභියාචන නඩු කඩිනම් කිරීමට පළාත්ද සිවිල් මහාධිකරණ පිහිටුවා ඇත.

මූලික අයිතිවාසිකම් පෙත්සම් ක්‍රියාවලිය බිඳ වැටී ඇත. 2016 ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පමාවූ නඩු 3486කි. ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹින් පිට අධිකරණ සැසි හෝ පැවැත්විය යුතු වේ. පුද්ගල ආරක්‍ෂාව ඉල්ලූ ගෝඨාභය සහ ගලගොඩඅත්තේ භික්‍ෂුව යනදෙදෙනාගෙන් ගෝඨාභය පමණක් තෝරා ගැනුණි. ඒ නඩු ගොඩ ගැසීමේ ප්‍රතිඵල වේ.

මහනුවර ඒ 26 මාර්ගය වසා දැමීමට එරෙහිව 2016 වස‍ෙර් ජූනි මස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වසර දෙකක් පුරා කැඳවයි. විභාග නොවේ. බිලි පූජා තහනම් කරමින් මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් දුන් නියෝගය මෙන්ම සාජන් ගුණවර්ධනට ඇපදීම සකල අධිකරණ ධූරාවලියටම පූර්වාදර්ශයකි. ආගමට හා දේශපාලනයට බය අධිකරණ ජනතාවට අවශ්‍ය නැත. මේවා පරිපාලනමය මිස අධිකරණමය කරුණු නොවේ.

ප්‍රසිද්ධ ස්ථානවල අනවසරයෙන් ශබ්ද විකාශන යොදා කෙරෙන ආගම් ප්‍රචාරය පිළිබඳ Ashik vs Bandula and others (Noise Pollution Case) FR 38/2005 නඩු තීන්දුව බලාත්මකව නැත. නඩු නියෝගයේ පිටපත් පොලිස් ස්ථානවලට යවා ඇත.

පාන්දර පන්සල් පල්ලි සද්ද කරදර නම් 119ට දන්වා අවශ්‍ය පියවර ගත හැකිය. රටක නීතියක් පවතින්නේ ජනතා ආරක්‍ෂාව පිණිසය. නීතිය අනුගමනය නො කිරීමෙන් රටේ විනය පිරිහෙයි. එවිට ජනතාව පීඩාවට පත් වේ. පාර වසා ඇත.

බෝඩ් කෑල්ල ඉවත් කර යන්නා සේ දුමින්ද සිල්වා, ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට සහ වාස් ගුණවර්ධන ආදිහු දැන දැනම විනාශ වූහ. මහින්ද ආවත් ඒ ටික නැවත නොවන්නට අධිකරණය ක්‍රියාත්මක විය යුතුවේ. නීතිය මෙන්ම ජනතාව ආරක්‍ෂා කිරීම අධිකරණ පද්ධතියේ වගකීම වේ.

මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරිමේ නීතියේ ඇති බාධා බොහෝය. අදටත් මූලික අයිතිවාසිකම් නඩු අසන්නේ කොළඹ පවත්නා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පමණය. එකී ක්‍රියාවලිය පළාත්බද අධිකරණ තෙක් ව්‍යාප්ත කළ යුතු වේ. පුවත් පත් වාර්තාවක් හෝ තැපෑලෙන් එන ලිපි හරහාද ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ආරම්භ කරයි. අධිකරණය පිළිබඳ පවත්නා මේ සාරාංශ කිරිම නලීන් පෙරේරා නව අග විනිසුරු තුමාට යහපත් ප්‍රවේශයක් වනු නිසැකය.

 

Comments