යෞවනය මුද්‍රිත මුහුණු පොත | Page 6 | සිළුමිණ

යෞවනය මුද්‍රිත මුහුණු පොත

සමාජ ජාල මාධ්‍යයක් විදියට එෆ්.බී. නැත්තම් මුහුණු පොත කියන්නෙ තරුණ තරුණියන්ට වගේම ඕනම තරාතිරමක කෙකෙකුට කිසිදු වාරණයකින් තොරව තම අදහස් ප්‍රකාශ කරන්න තියෙන මාධ්‍යයක්. මේක ඇතුළෙ පාවිච්චි කරන පුද්ගලයගෙ මනෝභාවය අනුව එක එක දේවල් ලියවෙන්න පුලුවන්. මං ඒක හොඳ හෝ නරක කියල වෙන් කරන්න යන්නෙ නැහැ. මොකද ඔවුන්ගෙ මනෝභාවය නැත්තම් විඥානය ගොඩනැගෙන්නෙ ඊට අදාල සමාජ, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික කාරනා එක්ක. කොහොම වුණත් මේ විදියට හරි තමන්ගෙ අදහස් එළියට දාන්න මාර්ගයක් විවර වුණු එක හරිම වැදගත්. මේ නිසා ආවේගය මත පදනම්ව ගොඩනැගුණ දේශපාලනය එක අතකින් හමාර වෙනව. අනෙක් අතට අවි ආයුධවලින් තොරව අදහස්වලින් සිස්ටම් එක වෙනස් කරන්න, සංවිධානය වෙන්න මේ තුළ කිසියම් ඉඩක් විවරව පවතිනව. උදා හරණයකට යහපාලන රජය පත් කරන්න මේකෙන් ලැබුණ සපෝට් එක වගේම ඒකෙ තියෙන අඩුපාඩු දුර්වලකම් පෙන්වන්නත් මේකෙන් ලැබෙන දායකත්වය විශාලයි. ඒනිසා මේ සමබරතාවය හුඟක් වටිනවා. හැබැයි මේක ඇතුළෙ ජාතිවාදය ආගම් වාදය වර්ගවාදය පතුරවන්න උත්සාහ කරන මරිමෝඩයනුත් ඉන්නවා. මේ නිදහස් අවකාශය ඒ නිසාම පසුගිය දවස්වල කිසියම් වාරණයකට ලක් වුණා. මේ නිසා අපි තේරුම් ගන්න ඕන අපේ අදහස් වාරණයකින් තොරව ඉදිරිපත් කරන්න තියෙන මේ අවකාශය රැක ගන්න. ඒකෙදි කවුරුවත් මැදිහත් වෙන්න කලින් තමන් තමන්වම ස්වයංවාරණයකට ලක්කර ගන්නව නම් තමයි හොඳ. මුද්‍රිත පිටුව මේ ඉඩ වෙන්වෙන්නේ ඒ වගේ ලියැවෙන සාධනීය අදහස් මුහුණු පොතට එන්නෙ නැති ඒවාට, පාවිච්චි කරන්න දන්නෙ නැති අයට කියවන්න වගේම සාධනීයව ලියන අයට පොඩි තල්ලුවක් දෙන්න.

ඒ නිසා අපි හිතුවා රයිගම් සම්මාන උලළේදී ජනකාන්ත වුණු තුමිඳුට හා කුඹියො ටෙලිනාට්‍යට ලැබුණු විවිධ ප්‍රතිචාරවලට මේ ඉඩ වෙන් කරන්න.

සිස්ටම් විරෝධී සම්මානයක්

“මම විශ්වාස කරන්නේ සම්මානය තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා. මට අනුව නම් සහ මේ සම්මානයට වෝට් කරපු ප්‍රේක්ෂකයන්ට අනුව මේ සිස්ටම් එක හරිම අප්සට්. මම කැමති එක පැත්තකින් මේ රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් සභාව ඉස්සරහා ඉද්දිම මේක කියන්න.

මේ සම්මානය විසින් පෙන්වන්නේ මේ අප්සට්, මේ ජරාජීර්ණ, මේ විසඳිය යුතු, මේ ගොඩගන්න බැරි සිස්ටම් එක පිළිබඳ ඔවුනට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමා ඔවුන් විසින් ජනතා ජනප්‍රියම සම්මානයට ඔසවා තබන්නේ.”

තුමිදු දොඩන්තැන්න.

වීරත්වය හා ප්‍රතිවීරත්වය

තුමිදු ජනප්‍රියම නලුවා වන්නේ ජෙහාන් නිසාය යන්නට කවුරුත් විරුද්ධ නොවේවි. තුමිදු හොඳින් රංගනයේ යෙදුනු බව ඇත්ත ය. නමුත් රංගනයේ විශිෂ්ටත්වය අදාළ වන්නේ හොදම නළුවා සම්මානයට ය. මේ කෙසේ වෙතත්, වැඩි සමාජ විද්‍යාත්මක ගැඹුර ඇත්තේ හොදම නළුවා හෝ හොඳම නාට්‍යයට හිමි සම්මානය පිටුපස නොව ජනප්‍රිය නළුවා හා නාට්‍යය පිටුපස ය. ඒ ගැඹුර තීව්‍ර කරවන ප්‍රකාශයක් තුමිදු සම්මානය ගන්නා අතර තුර සිදු කිරීම මේ සටහන ලියන්නට හේතුවයි.

ජෙහාන් ගේ හා තුමිදුගේ රසිකයෙකු වන මට නම් මේ ප්‍රකාශය පිළිගත නොහැකි ය. මම තුමිඳු වෙනුවෙන් හෝ වෙනත් කා වෙනුවෙන් වත් වෝට් නොකළ ද තුමිඳු ගේ ජයග්‍රහණයට අතිශයින් කැමති ය. නමුත් තුමිඳු ජනප්‍රිය නළුවා බවට පත් කරන ජෙහාන් ගේ ජනප්‍රියභාවයේ ගොදුරක් බවට පත් වන ගමන් ම එය මා බියට පත් කරයි. කූඹියෝ නාට්‍යය තියුණු සමාජ විවේචනයක් කරන බව ඇත්ත ය. නමුත් එය නරඹන විට මා මුහුණ දුන් උභතෝකෝටිකය වූයේ නාට්‍යයේ ගාමක බලවේගය වූ ජෙහාන් වෙත මගේ වන නොනවතින ආශකත්භාවයයි. ඔහු අහිංසක මිනිසෙකු ඉතාම සූක්ෂම ලෙස සැලසුම් කර මරා දමනු ලබද්දීත්, පාතාල නායකයෙකු වුවත් තමන්ගේ තාත්තා වැනි මිනිසෙකු ඔහු අතින් ඝාතනය වෙද්දීත්, වෘත්තීය සමිති දේශපාලනය ඔහු අතින් විගඩමක් බවට පත් වෙද්දීත්, ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ සිටින වාම වාදී පක්ෂ ජෝක් කරද්දීත් මා දිගින් දිගටම ඔහුගේ ගේම් එකට ජය ප්‍රාර්ථනා ක‍ළේ ඇයි? මට අනුව නම් කූඹියෝ හි සමාජ විවේචනය යටපත් කරමින් ගේම් එක සෞන්දර්යකරනය වී ඇති අතර, ඒ සෞන්දර්යය තුල ජෙහාන් වීරයෙකු වී ඇත. වීරයා/ප්‍රතිවීරයා යන පැරණි සහසම්බන්ධ ප්‍රතිපක්ෂයට හසු නොවන නව වීරයෙකු වන ඔහු ට අපේ වන ආශක්තභාවය ද වීරත්වය කෙරෙහි වූ පැරණි ආශක්තභාවයන්ගෙන් වටහා ගත නොහැකි ය. වෙනත් අකාරයකට කියන්නේ නම්, ජෙහාන් ගේ චරිතය ආඛ්‍යානයේ ආචාරධාර්මික රාමුව අබිභවා ඉදිරියට පැමිණ ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස තුමිඳුගේ ප්‍රකාශයෙන් ආපසු හැරවිය නොහැකි ලෙස අපි මේ අප්සෙට් ක්‍රමයේ සංකේතයක් වන ජෙහාන්ට ආශා කරන්නට පටන් ගෙන ඇත.

තුමිඳුගේ ප්‍රකාශයේ එක තැනක ඔහු මෙසේ කියයි. ‘මේ නාට්‍යයේ මම රගපාන්නෙ ප්‍රතිවීරයෙකුගෙ චරිතය. අද අපි ජීවත් වෙන්නෙ ප්‍රතිවීරයන් වීරයන් වෙන සමාජයක.‘ නමුත් මට පෙනෙන ලෙස නම් පැරණි අර්ථයෙන් වීරත්වය හා ප්‍රතිවීරත්වය ගොඩනගන සමාජ කොන්දේසි වෙනස් වී ඇති අතර සිදු වන්නේ ප්‍රතිවීරයන් වීරයන් බවට පත් වීම නොව අලුත් වීරයන් ගොඩනගන නව සමාජ කොන්දේසි බිහිවීම ය. මේ සටහන තුළ මා අසන ප්‍රශ්නය මෙවැන්නකි. කූඹියෝ කෘතියේ ආඛ්‍යානය එය මතුකරන සමාජ විවේචනය හා එම සමාජ විවේචනය මතු කරවන ජෙහාන් ගේ ගේම් එකට ඇති වන ආකර්ශනය අතර කිසියම් අභ්‍යන්තරික ප්‍රතිවිරෝධයකට මුහුණ නොදෙන්නේ ද? කෘතියේ ආචාරධාර්මික රාමුව තුළ රඳවා ගත නොහැකි ලෙස ජෙහාන්ගේ නැංගුරම ගිලිහී නොමැති ද?

කලා කෘතියක ආචාරධාර්මිකත්වය යනු සංකීර්ණ විෂයකි. මා මෙහිදී ඒ වචනය භාවිත කරන්නේ කෘතියට පරිබාහිර ආචාරධාර්මික රාමුවක් හැඳින්වීමට නොව කෘතිය තුළින්ම මතු කෙරෙන රාමුව හැඳින්වීමට ය.

කූඹියෝ හා තුමිදුගේ ජයග්‍රණයෙන් පසුව දැමූ එක්තරා පෝස්ට් එකක මෙවැන්නක් සටහන් වී තිබුණි. ‘ක්‍රමවිරෝධී නාට්‍යයවලට වෝට් කරන ප්‍රේක්ෂකයා මැතිවරණවල දී ජරාජීර්ණ ක්‍රමයම නඩත්තු කරන අයට ඡන්දය දෙන්නේ ඇයි?‘ මට මතක හැටියට එහි අදහස මෙවැන්නක්.

ඇත්තටම තුමිදු ගේ හා කූඹින්ගේ ජයට වෝට් කළ අය අතර මේ ක්‍රමය අප්සෙට් යැයි සිතන අය සිටී ද? යන්න මම නොදනිමි. නමුත් ඔවුන්ට වෝට් කිරීම පිටුපස ඇත්තේ මේ ජරාජීර්ණ ක්‍රමයට දක්වන විරෝධයයි යන අදහස මට අනුව නම් වැරදි ය. කූඹියෝ අතින් සිදු වී ඇත්තේ දේශපාලනයේ එක්තරා බිහිසුනු මානයක් වන ගේම් එක සෞන්දර්යකරනය වීම ය. එසේම ගේම්කරුවා වීරයෙකු වීම ය. ඔවුන්ට වෝට් කළ ප්‍රේක්ෂකයා යනු ඒ සෞන්දර්යයේ හා වීරත්වයේ ආශ්වාදකයන් ය. මේ නව වීරත්වයේ හා සෞන්දර්යයේ ආශ්වාදකයන්ගේ දේශපාලනික ආත්මකරනයේ රහස තුමිදුගේ ප්‍රකාශය තරම් සුන්දර හා සුබවාදී එකක් නොවන බව නම් පැහැදිලි ය.’

සටහන - කෞශල්‍ය කුමාරසිංහ

Muditha Jayasuriya ජෙහාන් කියන චරිතය ප්‍රතිවීරයෙක් නෙවෙයි.. දුෂ්ඨත්වය පිටිපස තාර්කිකයක් තියන නිසා වැලිකතරේ ගෝරිං මුදලාලි වගේ කෙනෙක් නම් ප්‍රතිවීරයෙක්. ජෙහාන් කියන්නෙ නිකම්ම නරුමයෙක්. හරියටම ලංකාවේ මිනිස්සු වගේ. උන්ටත් පුලුවන් කූඹියෝ එකේ ජෙහාන්ට වගේම සහෝදරයා එකේ රජීව්ටත් එකවර ආදරය කරන්න තරම් තමන්ගේ ආත්මය තුළ පරතරයක් පවත්වාගෙන යන්න.

Thanuja Srinarayana මිනිසා ගේ ස්වභාවයම ප්‍රචණ්ඩත්වයට බර වීම, ඒක ඉතා සාර්ථකව පාවිච්චි කරන්න මාධ්‍ය සූක්ෂමයි මෙතනදී. ඒ ආසක්ත බව මනෝවිද්‍යාත්මකයි නේද ජෙහාන්ගෙ චරිතය අඇතුළෙදි. තුමිදු සාර්ථක වෙන්නෙ සිස්ටම් එකේ අප්සට් බව ඒක තුළින්ම පෙන්නන නිසා. අපි කිට්ටු වෙන්නෙ ජෙහාන්ගෙ භාවිතයට නෙවේ ඒ චරිතය හරහා අපිට ලස්සනට පෙන්නන මේ ගඳගහන දේශපාලනයට නේද?

“තුමිදුට ජනප්‍රිය නළුවා හම්බවුණාම අපේ රටේ උන් ඌව දේශපාලනික නිෂ්පාදනයක් කරලා නැති කරන්න හදනවා. ඌ රටට එරෙහි චරිතයක්ලු. ඌ එන්.ජී.ඕ කාරයෙක්ලු. ඌ ජාතිය පාවා දෙන එකෙක්ලු. ඒකට එකම ශාක්ෂිය තුමිදු ගාමිණී වියන්ගොඩලා, සමන් රත්නප්‍රියලා එක්ක ඉන්න පොටෝ එකක්. මේවට කියන්නේ පු ලොජික් කියලා. මම හිතුවේ ලංකාවේ වුන් මීට වඩා මොළේ තියෙන ජාතියක් කියලා. තව එකෙක්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කුහක කම් කරන අකුල් හෙළන, මඩ ගහන, කෙලවන ජාතියක් ඉන්නවා නම් ඒ සිංහල ජාතිය කියලා කියන්න මම බය නෑ. තුමිදුගේ කලාවට එපිට දේශපාලනය ගාවලා ඌ ජඩයෙක්, ඌ හොරෙක් කියන්න තරම් සීමිත පඩංගු දේශපාලනීක සිංහල ජාතිවාදීන් සමත් වෙලා. උන් ගැන තියෙන්නේ මකන්න බැරි හිරි කිතක්. උන් ඇත්තටම සමාජයට මහා පිළිලයක්. තමන්ගේ උන්ටම කෙළවලා තමන්ගෙම එකාගේ ජයග්‍රහණයට අකුල් හෙළන ජාතියක් ඉන්නවා නම් අටපට්ටමට කියන්න එපා, වුන්ව වඳ කරන්න ක්‍රමයක් හොයන්න. උන් තමයි ජාතියට වින කටින්නේ. එකෙක් කියලා තියෙනවා ඔස්ටින්ව මරලා, ටිරාන්ට කෙලවපු ජෙහාන් වගේ චරිතයකට හරියන්නේ තුමිදුවගේ රට ජාතිය පාවා දෙන එකෙක් කියලා. මාරම ආතල් ඕයි. ලෝකේ මිනිස්සු කලාව රසවිඳිනකොට කලාවේදීන් කලාව තුළ සිය දේශපාලන මතවාදය පෙන්නනකොට, අපේ උන් තුමිදුවගේ එකෙක්ට මඩ ගහනවා. ලැජ්ජයි පුතේ. වෙන කා ගැනවත් නෙමෙයි අපිට අපි ගැනම දුකයි. මෙහෙම කුහක මිනිස් සමාජයක්..තුමිදු... කලනි සහෝදරයා එකේදී උඹෙන් අහනවා අපි මෙහෙන් යමු ඕස්ට්‍රේලියාවට කියලා. උඹ කියනවා මේක මගේ රට නෙමෙයි උන්ගේ රට කියලා. ඔව් මේක උන්ගේ රට. අපි ඒකේ කුළී කාරයෝ. පුළුවන්නම් උත්තරා දේවි (කලණි) කියන දේ දැන්වත් අහපන්. උඹ කිව්වා වගේ මේ සිස්ටම් එක අවුලක්. සමහර උන් ඒ අවුලට උඹව විරයා කරනවා. සමහර උන් ඒ අවුලට උඹව නැති කරනවා. අපි මාර පව් බන්.”

ගයාන් ගාල්ලගේ

"ඇමැතිතුමා ඕක ආන්සර් කරන්නම ඕන කොල් එකක්" යයි කියමින් අවසානය දකින කුඹියො ටෙලිනාට්‍ය එළි පිට නොකියා යමක් ඉඟි කළා කියලයි මට හිතෙන්නේ. ඒ මේ සිස්ටම් එක හසුරවන වුන්ටත් ඇඩ්‍රස් නැති වෙන්න ගේම් එකක් ප්ලෑන් කරන්න යන ඉඟියයි.

Comments