
සිංහල බෞද්ධ ඇත්තන් ‘අලුත් අවුරුද්ද’ බක්මහේදී සමරයි. ඒ නිසාම ඊට ‘බක්මහ මඟුල’ කියයි. කෙලවර, කොන් නැකත් යෙදීම හා අලුත් ඇඳුම් (කෝණම්) භාවිතය නිසා ද කෝණා (කොහාගේ) පැමිණීම නිසා ද “කෝණ මංගල්‍යය ය” යයි තවත් භාවිතාවකි. සූර්ය වන්දනාවත් සූර්යා වටා පොළොව කැරකී නක්ෂත්රය හැටියට රාශි මාරුව වීම නිසා ‘සූර්ය මංගල්‍යයයි” තවත් නමක් ලැබී ඇත. නැකැත්වලට ප්‍රමුඛතාවය ලැබූ හෙයින් පැරැන්නෝ මීට “නැකැත් කෙළිය” යයි කියා තිබේ. අපට ඇති පැරණිම, එකම, මහා ජාතික සංස්කෘතික මංගල්‍යය වන්නේ ද “සිංහල අලුත් අවුරුදු” උත්සවයයි. හින්දුවරුන්ගේ ආගමික උත්සවයක් ද වර්ෂයේ මේ දිනයටම පවතින නිසා මෙම ජාතික උලෙළට “සිංහල දෙමළ අලුත් අවුරුද්ද” යයි රාජ්‍ය අනුමත නිල නාමයක් ද රජයේ නිවාඩු දීමේ 1886 ජනවාරි 15 දා මන්ත්‍රණ සභාවේ සම්මුතියෙන් ලැබී ඇත.
සිංහලයින් රාවණ, තාරක, මනු ආදී මුතුන් මිත්තන්ගේ සිටම විවිධ නම් යොදා ගනිමින් මෙම රාජකීය උත්සවය පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී ඇත. ධම්ම පදට්ඨ කතාවේ ‘ගිරජ්ජ සමජ්ජ’ පණ්ඩුකාභය රජ දවස ‘නැකැත් කෙළිය’ සිංහල අවසන් උඩරට රාජ්‍ය පාලනයේ තොරතුරු කියන ජෝන් ඩේවිගේ වාර්තා හා රොබට් නොක්ස්ගේ සටහන් වල ‘අවුරුදු උත්සව’ තොරතුරු දක්වාම මේ සංස්කෘතික ක්‍රියාවලිය ගැන තොරතුරු නො කඩවා පැවත එති.
මේ තුළ අපේ ආගමික, වතාවත් පුද පූජා, පවුල පවත්වා ගැනීමේ සිරිත් විරිත්, සාමජ සහ ජීවනයට අවශ්‍ය විනය පද්ධති ඇත. රසාස්වාදය ලබාදෙන සකලවිධ කලාවන්, ශාරීරික හා මානසික වර්ධනයට අවශ්‍ය ක්‍රීඩා ව්‍යායාම පෝෂණය ද රස මිහිරැති ආහාරපාන හදා ගැනීම් ද, ඇඳුම් පැලඳුම් විලාසිතා ද පවතියි. තවද උපකරණ හා මෙවලම් සමඟ නොයෙක් වෘත්තීන් දියුණු කෙරී ඇත. මහපොළව, වැව් අමුණු, ඇළ - දොළ, ළිං ද වනස්පතිය ද ඇතුළු සොබා දහමේ දායාද රැක සුරක්ෂිත කිරීම ද සිදුවෙයි. ආර්ථික සාමාජික අවශ්‍යතා අනුව කලින් කල බොහෝ දේ එක් වෙමින් ද, අඩු වෙමින් ද මේ ජාතික උත්සවය නොනැසී පැවත එයි. අවුරුද්ද යනු සතුට, පිරුණ ක්රියාදාමයකි.
අපේ කොටුගම්වල ඇත්තෝ සතුටින් සිටිනවා දැක්වීමට ‘අවුරුදු’ වචනය භාවිතා කිරීමෙන් ම එය සනාත වෙයි. ඔවුන් කන බොනදේ ඇත්නම් හැමදාම අවුරුදු තමා” යයි කීවේ ඒ අනුසරින් ය. පෙර සඳහන් කළ යහපත් දේ අවුරුදු උලෙළේ සියලු අංග තුළ අඩංගු ය. අපේ ගම්වල පෙර අවුරුදු චාරිත්‍ර, අවුරුදු දා චාරිත්‍ර හා පසු අවුරුදු චාරිත්‍ර පවත්වා මෙම ජාතික උරුමය රැක ගත්තේ ය. මේ හැම දෙයක් ම කලට වේලාවට, එකමුතුකව, එක මිටට, කළේ නැකැත් ක්‍රියාවලියෙන් ය.
සිංහල අලුත් අවුරුද්ද ගමින් උපත් විය. ගොවිතැනේ සරු අස්වනු ලැබීම, නිසා අවුරුද්දේ පෙර සිරිත් ලෙසින් කිරි ඉතිරවීම්, අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම කළේ ය. අලුත් සහලින් කැවිලි පෙවිලි හැදුවේ ඉන් පසු ය. බුද්ධභෝග පූජාවට පෙර ඒවා කටට ගැනීම අණ තහංචි ය.
“දරා පල බරව බක්මහ පුරාලා
පුරා ජේරුවට පට කෝණම් ඇඳලා
නුරා බැලුම් හී සැර දඟ කැවීලා
පුරා කෙළි කෙළති නාඹර ලියෝ එකලා”
ගේ දොර අලුත් වැඩියා කර ඉදි අතු රටා වට ගොම ගෑවේය. ගෙදරට අවශ්‍ය දරමිටි හතක් වත් ගෙනාවේය. ගමේ බවලත් අය එකතුව පිටි කොටා කැවිලි පෙවිලි හදාගත්තේ ය.
දූවා දරුවන්ට ආස්මී, කොණ්ඩ කැවුම්, පුලුක් භෝජන, කොමලවටා, අතිරස වර්ග, තලප, පිට්ටු, කීරොටී, කිරි වැදෑනිය ආදී රසමිහිර උයා පිහාගන්නා හැටි කියාදුන්නේ මෙතැනදී ය.
අලුත් අවුරුද්දේ හැලි වළං, තට්ටු, වට්ටි, පෙට්ටි, මුට්ටි පැදුරු ආදී සියලු මෙවලම් ද ඇඳුම් පැලඳුම් ද අලුතින් ම ගත්තේ ය.
එතැන දී ගැහැණු දරුවන්ට පන්නන් වියමන් පුහුණුව ලැබුණි. වළං කර්මාන්තය කළ ඇත්තෝ අලුත් අලුත් රටාවන් කරමින් ගමින් ගමට ඒවා කරත්ත පිටින් ගෙන ඇවිත් අලෙවි කළේ ය. පරණ දේ ඉවත් කර වරුසයකට වරක්වත් අලුත්වීම වටිනා සංකල්පයකි. පෙර අවුරුදු සිරිත් ලෙස නෑගම් යාම කෘතවේදී බව මෙන් ම සමාජ සම්බන්ධතා හරියාකාරව පවත්වා ගැනීමකි.
කෘෂිකර්මයෙන් යැපුණ අපේ ඇත්තන්ට ඊළඟ කන්නය පටන් ගැනීමට පෙර ලැබුණ විවේක කාලය සතුටු සමාදානය, විනෝදය, සහනය, ළඟා කරගත්තේ අවුරුදු උත්සවයෙනි.
ඉතා අඩු ආදායම් ලබන ගෙදරක වුවත් එදිනෙදා අවශ්‍යතාවන් සියල්ල නැහැ නොකියා මේ දිනයට සම්පූර්ණ කරගත්තේ ය. ඒ ඇත්තෝ අද අය මෙන් ණය වී මේවා ඉටුකර අවුරුදු වලින් පසු විදෙව්වේ නැත. ඇති නැති හැමෝම එක හමුඩුවී උවමනා හුවමාරු කරගත්තෝ ය.
අවුරුදු දා චාරිත්‍ර විදිහට එකම වේලාවට හැම තරාතිරමකම ඇත්තන් නැකැත් පත්රයකට අනුව පුණ්‍ය ක්‍රියාවල යෙදීමේ සිට ලිප ගිණි මෙලවීම, අහර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, අහර ගැනීම ආදිය කළේ පොදු බව, සමගිය රැක ගැනුමටයි. මේ ඇත්තෝ හැම ගෙදර කටම කෑම හා රස කැවිලි හුවමාරු කරගති.
විශේෂයෙන් දරුවන් ඒ දේ කළේ මහත් සතුටින් ය. අන් අය හා එකතුවේ වැදගත්කම මින් මතු විය. කුඩා දරුවන්ට ඒ තැන්වලින් රතිඤ්ඤා පෙට්ටියක්, ඇඳුමක්, කාසියක් අනිවාර්යයෙන් ම තෑගි ලෙස ලැබුණි. වැඩි තෑගි ප්‍රමාණයක් ගන්ට දරුවන් අතර තරගයක් ද විය.
පෙර අවුරුදු සිරිතේ ස්නානයේදී ජල ක්‍රීඩා වෙන් ඇරඹෙන ක්‍රීඩා විනෝදය හා මනස වඩන තේරවිලි, නෙරෙච්චි, චතුරංග, ඔලිඳ කෙළි, පංච දැමීම ගල් කෙටීම කළේ ය. මේවා ගැහැණු පිරිමි මිශ්‍රව කිරීමෙන් නාඹර ගැටව් ගැටිස්සියන්ගේ සම්බන්ධකම් දුරදිග ගොස් දීග මගුල්වලින්ද කෙළවර විය. අවුරුදු පිටියේ ක්‍රීඩා ගැහැණු පිරිමි දෙගොල්ලටම පොදු ය. රබන් ගැහිල්ල, වාරම් කීම, කතුරු, වැල් බඹර, ඔංචිල්ලා, පැදුම, චග්ගුඩු, ගුඩු ගැහිල්ල, පොර පොල්, අංඇදිලි, අල්ලි පැනීම, දිවීම, පිහිනුම්, අංගම්පොර, චීන අඩි, පොලු ක්‍රීඩා, යුධ බාහු ක්‍රීඩා, පිලා පැදීම ආදී තවත් දහදිය හලන ක්‍රීඩා ද සිරුර වඩා රෝග සුවපත් කළේ ය.
පසු අවුරුදු සිරිත් ලෙස තුන් දොස් රෝග නිවාරණ ‘ඉස තෙල් ගෑමේ මඟුල’, ජය මහ හාමුදුරුවන් ඇතුළු සෑම දේවාලයක කරන නානු මුර මංගල්‍යය ද, අත හැරුණ නෑගම් යාමද කරති.
ගමේ මහගෙදර ඇත්තෝ ගමේ හැමටම ආරාධනා කර, නාඩගම්, සඳ කිදුරු, නාට්‍ය, කවිරාගන් සින්දු කීම් ආදියට ද ඉඩ හසර ලබාදෙයි. තරග කවි, තේරවිලි, ගැට පද ලිහුම්වලට කැවිලි වට්ටි කොණම් පිරිනැමුණි.
අපේ ගම්වල ඇත්තන්ට අද මෙන් අලුත් අවුරුද්ද ණය තුරුස් වී හූදු කෙල, කා බී නටා, රණ්ඩු සරුවලින් ලේ දැක රෝහල් හා හිර ගෙවල්වලින් කෙලවර කරගන්නා විද වීමක් නොවේ ය. ඔවුන් එය පචූලගම, රට එක තැන් කළ, සතුට, සාමය, සාමාජික, ආර්ථික, සංස්කෘතික උරුමයන් රැක ඉදිරියට ගෙන යන ජාතිකමහෝත්සවයක් ලෙසින් ම විඳ ගත්ත් ය.
“අදමිටු කම් දුරැර මිතුදම් පැතිරේවා
නිසි කල වැසි ලැබී ගහකොළ පිබිදේවා
අටු කොටු පිරි බත බුලතින් සරු වේවා
සාමය සතුට පිරි සුබ වසරක් වේවා”