
ලෝක පූජිත සංගීතඥයකු වන බීතෝවන්ගේ නිර්මාණයක් වන 'ෆි ඉලීස' (Für Elise), 'දඟකාරයි මං පොඩි කාලේ' සහ 'පින්න මලේ සුද' කෙරේ ද්වේෂයක් ඔබටත් ඇති වූවාද? එය ඉඳුරා ම සාධාරණ බැව් අපට කිව හැකිය.
කුසගිනි ඇත්තෝ උදේ ආහාරය සඳහාත්, දවල් ආහාරය සඳහාත්, සවස තේ සඳහාත්, රාත්‍රී ආහාරය සඳහාත් චූන් පාන්ම කෑවද ඒ ගැන අපේ ආරෝවක් නැත.
අපට ඇති ගැටලුව නම් හිමිදිරි උදෑසන සිට රාත්‍රී නින්දට යන තෙක් මේ කඨෝර ඝෝෂා ඛණ්ඩ නිරන්තරයෙන් අසන්නට ලැබීම නිසා ඇතිවන ශබ්ද දූෂණයයි. එනිසා වන මානසික පීඩාවයි. එමගින් නීතිය උල්ලංඝණය කිරීමයි.
කලෙක පටන් ඉවක් බවක් නැතිව සිදුවූ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම්වලින් පසු ඉතිරි ව තුබූ එකම මානව අයිතිවාසිකම වූයේ කිසිදු ශබ්දයකින් තොර හිස් බවට කන් යොමාගෙන සිටීම පමණකි. අවසානයේ අපේ දෛවය විසින් එයද අකාරුණික ලෙස කොල්ලකන ලද්දේය.
මේ උපද්‍රවයෙන් මිදීමට අපට ඇති පහසුම මග වන්නේ මෛත්‍රී භාවනාවයි. එමගින් ඉහත කඨෝර ඝෝෂා නිකුත් කරන නළා සාදන්නන්, අළෙවි කරන්නන් මෙන්ම පාවිච්චි කරන්නන් වෙත ද මෛත්‍රී කළ හැක.
මෛත්‍රී භාවනාව සමථ භාවනාවකි. චූන් පාන් මුදලාලිලාගෙන් මිදීම සඳහා සමථ භාවනාවක් පමණක් ප්‍රමාණවත් නොවේ. මෙහිදී ඔබට පිළිකුල් භාවනාව ද උපකාරී වනු ඇත. පිළිකුල් භාවනාව ද සමථ භාවනාවක් වුවත් එය විපස්සනාවට හැරෙන ආකාරය මෙසේ ය.
කොළඹට ආසන්න නගරයක ප්‍රකට බේකරියක් වේ. පාන් පුළුස්සා හමාර වූ කල්හි පැතිරෙන ආකර්ෂණීය සුවඳක් ඒ බව දැනුම් දෙයි. එතැනින් පාන් මිල දී ගැනීමට ඔබ දිග පෝලිමකට එකතු විය යුතුය. නමුත් එවැනි හොඳ තත්ත්වයේ පාන් හැම තැනම නැත. හොඳ තත්ත්වයේ පාන් නිෂ්පාදනය නොකරන අය කරන්නේ තමන්ගේ බේකරි නිෂ්පාදන නිවෙස්වලට ගෙන ගොස් පාරිභෝගිකයන්ගේ අතටම දීමටයි. ඒ ඔවුන්ගේ පාන් සොයාගෙන කිසිවකු නොඑන බැවිනි.
ඒ අනුව චූන් පාන් ආහාරයට ගන්නා අයට සිදු වන්නේ අවම වශයෙන් දහ දෙනකුවත් අතපත ගෑ පාන් ගෙඩියකින් කුස පුරවා ගැනීමටයි. බේකරියේ දී පාන් බාන තැන පටන් කඩයකට එන තෙක් සහ එයින් පසු ඔබේ මේසයට එන තෙක් කී දෙනෙක් නම් එය අත පත ගානවාද? දෙනෝ දාහක් දෙනා අතින’ත යන මුදල් අතපත ගානා අතින් ම මුදලාලි පාන් ද එළියට ගනී. පාන් මිල දී ගැනීමට කඩයට එන සමහර පාරිභෝගිකයෝ ද තමන් මිලට ගන්නා පාන් ගෙඩියට අමතරව අනෙකුත් පාන් ද අල්ලා බලති.
මේ සමස්ත ක්‍රියාවලිය මෙනෙහි කරමින් සමථ භාවනාවක් වන පිළිකුල් භාවනාවද වැඩිය හැකිය. දිගින් දිගටම එය වඩන ඔබට සත්‍යය අවබෝධ වී එය විපස්සනාවට හැරෙනු ඇත.
සියලූ සත්වයෝ චූන් පාන් ඝෝෂාවෙන් මිදී සැනසීම ලබත්වා!
දර්ශන කරුණාතිලක