බැක් ෆුට් ඇන්ඩ් වයිල්ඩ් බෝයි | සිළුමිණ

බැක් ෆුට් ඇන්ඩ් වයිල්ඩ් බෝයි

 අපේ නිවස ඉදිරිපිට පාරේ ක්‍රි‍කට් ක්‍රීඩාවේ යෙදෙන ළමෝ සහ එම තරග සටහන් සියුම්ව නිරීක්ෂණය කොට විශ්ලේෂණය කළ පසු අනාවරණය වූ වැදගත් කරුණු රාශියකි.

සැබැවින්ම ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ ඒ සඳහා ගත කරන කාලයෙන් සියයට අටක් පමණි. තවත් සියයට හතක පමණ කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු රැස් කිරීමට අදාළ නව නීති පැනවීමටත්, සියයට විසිපහක පමණ වූ කාලයක් විනිසුරන් හා වාද කිරීමටත් ගත කෙරේ. ක්‍රීඩාවේ යෙදෙන සම්පූර්ණ කාලයෙන් සියයට හැටක් ගත කරන්නේ පන්දුව සෙවීම සඳහාය.

නිරන්තරයෙන් පන්දු එවන මහා මාර්ගය අන්තයට පහරක් එල්ල කළොත් පන්දුව ඇළට වැටෙයි. නීති විරෝධි ලෙස ගොඩ කරමින් තිබෙන කුඹුරු යාය දෙසට පහරක් එල්ල කළොත් පන්දුව මඩෙහි සැඟවෙයි. අනෙක් පසට පහරක් එල්ල කළොත් පන්දුව හබරල ගාල තුළට යයි. මේ සියලු අවස්ථාවන්හි දී ක්‍රී‍ඩකයෝ හා විනිසුරුවරු එකතුව පන්දුව සෙවීමෙහි යෙදෙති. ඒ අතරවාරයේ පිතිකරුගේ මානසික ඒකාග්‍රතාව බිඳ හෙළීමට අවශ්‍ය සාමූහික ප්‍රකාශ නිකුත් කිරීමට, කණ්ඩායම් හැඟීම උපයෝගී කරගැනේ.

ඒ හැරුණුකොට ප්‍ර‍හාරාත්මක පිතිකරුවන් මර්දනය කිරීම සඳහා තරග පැවැත්වෙන අතරවාරයේ ම නීති රීති සම්පාදනය කිරීම අවධානයට ලක් විය යුතුය. සාමාන්‍ය ක්‍රීඩා පිටියක හයේ පහරක් මෙහිදී නම් ගසක රැඳීමට ඉඩ ඇති අතර ‘ගස් කැච්’ ඔට්ටුද නැද්ද යන්න සලකා බැලෙන්නේ පිතිකරුවාගේ ස්වභාවය හා ඔහු ලකුණු අතර සිටින්නේ ද නැද්ද යන කාරණය මතයි. එමෙන්ම නිවෙස්වල වීදුරු කවුළු බේරා ගැනීම උදෙසා ද ක්‍රිකට් ක්‍රීඩාවේ සමහර පහර තහනම් කොට තිබේ. මෙලෙස පන්දුවට පහර නොදෙන පිතිකරුවන් කුඩා කල සිටම ධෛර්යමත් කිරීමේ ප්‍ර‍තිපත්තිය තුළ එය පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත.

එමෙන්ම පිතිකරුවන්, පන්දු යවන්නන් හෝ පන්දු රකින්නන් සඳහා පුහුණුකරුවන් හා භෞත චිකිත්සකයන් නැතුවාක් මෙන්ම නිලධාරින් හා නිලවරණ නොමැතිවීම ද ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගැනීමට බාධකයක් ව පවතී.

හිතට සහනයක් ගෙන දෙන එකම කාරණය තණ තීරුවේ හැසිරීම ස්ථාවර වීමයි. රජය විසින් කොන්ක්‍රීට් යොදා සාදවන ලද ඒ තණ තීරුව හරහා ඉඳහිට මෝටර් රථයක් එහා මෙහා යන විට කඩුල්ල ඉවත් කර ගැනීමට සිදුවීම හැරුණු කොට තණ තීරුව අතිශයින්ම ක්‍රිකට් ක්‍රීඩාවට උචිත තත්ත්වයක පවතී.

මෙලෙස කලඑළි බසින ක්‍රීඩකයන් ලබාගන්නා, පන්දු සෙවීම වැනි නිපුනතාවන් ජාත්‍යන්තර තලයේදී ප්‍රයෝජනයට ගැනීමට නොලැබීම කණගාටුදායකය. මේ නිසා ඔවුන්ට ඇතුළු වීමට සිදුවන්නේ රාජ්‍ය සේවය, දේශපාලනය හෝ වෙනත් අවශේෂ රැකියාවන් සඳහාය.

ඒ අනුව අපට පෙනී යන්නේ අප අතරින් බොහොමයක් දෙනා පාරේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් ලද පන්නරය ඇති අය බවයි. අස්ථානගත වන පන්දුව කෙරේ අවධානය යොමු කළ යුතු නිසා නිතරම එය සොයමින් සිටින අයුරු අපි දකින්නෙමු. ඒ අතරම ලකුණු රැස් කිරීමට බාධා කරන ආකාරය ද දකිමු.

දර්ශන කරුණාතිලක

Comments