දුෂ්කර පාස­ල­කට තිස් වස­රක් කැප කළ අයිරා අම­ර­සේ­කර විදු­හ­ල්ප­ති­නිය | සිළුමිණ

දුෂ්කර පාස­ල­කට තිස් වස­රක් කැප කළ අයිරා අම­ර­සේ­කර විදු­හ­ල්ප­ති­නිය

ගම බැබළෙන්නේ පන්සලෙනි; පිබිදෙන්නේ පාසලෙනි. පාසල නිසා අවදි වන ගමට නුවණ සහ දැනුම පාසල ලබාදෙද්දී ගුණය ලබාදෙන්නේ පන්සලයි. ගුණ නැණ දෙකින් ම පිරිපුන් උදාර මිනිසුන්ගෙන් යුත් පැරණි ගමට වැවයි දාගැබයි තරමට ම පාස‍ලත් වැදගත් විය. බොහෝ විට පාසල වූයේ ද පන්සලයි. පන්සලෙන් අකුරු කියැවූ ගැමියෙක් පාසල කරගත්තේ පන්සලේ බණ මඩුවයි.

පන්සලේ බණ මඩුවෙන් පටන් ගත් පිටිසර පුංචි පාසලක් පුරා තිස් වසරක් රැකගෙන දියුණුවේ හිණිපෙත්තටම රැගෙන ගොස් ආදර්ශවත් කළ මහ විදුහලක් බවට පත් කළ සත් කෝරලයේ කීර්තිමත් විදුහල්පතිනියක වූ අයිරා අමරසේකර මැතිනිය දුෂ්කර පාසලකට තිස් වසරක් කැප කළ උතුම් ගුරු චරිතයක් ලෙස ඉතිහාසයට එකතු වී ඇත. අනෙක් අතට පාසලක නිර්මාතෘවරියක අඛණ්ඩව වාර්ෂිකව සමරමින් එම පාසලේ සිය ගණනක් වූ සියලු ම සිසු දරු දැරියන්ට පොත පත හා අධ්‍යාපන උපකරණ ලබාදෙන එකම අවස්ථාව ලෙස ද අයිරා අමරසේකර ශිෂ්‍යත්ව ප්‍රදානය සැලකිය හැකි ය.

දිළිඳු ගමක අසරණ දරුවන්ට ජීවිතය උදා කිරීමට සිය ජීවිතය කැප කළ සිය මෑණියන්ගේ එම ගුණය පෙරට ගෙන යනු වස් එතුමියගේ පුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා සිය පෞද්ගලික මුදලෙන් මෙම ශිෂ්‍යත්ව භාරය ආරම්භ කොට දැනට දහ අට වසරක් අඛණ්ඩව එය ක්‍රියාත්මක කර ඇත.

ගැමි සමාජයේ පාසල් වැසී යෑම, දරුවන් පාසල් හැර යාම ප්‍රකට සමාජ ගැටලු දෙකකි. මේ පිළිබඳ කරනු ලබන පර්යේෂණ ද විශාල ය. දිළිඳුකම අරබයා විද්වතුන් යැයි කියනු ලබන අය විසින් කරනු ලබන පර්යේෂණ හා ලියනු ලබන පර්යේෂණ පත්‍රිකා ද ගණනින් විශාල ය. එහෙත් අදාළ ගැටලු එලෙසම පවත්නා අයුරු දක්නට ඇත.‍ එයට මූලික හේතුවක් වනුයේ පර්යේෂකයන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග නො ගැනීම යි. පර්යේෂණ මඟින් විශාල මුදලක් උපයා ගත්ත ද දිළිඳු දරුවන්ගේ අභිමතාර්ථ පිණිස කිසිවක් කිරීමට මේ පර්යේෂකයෝ උනන්දු නොවෙති.

මෙබඳු සමාජ වාතාවරණයක සමාජ විද්‍යා විෂයය සැබවින් ම පොදුජන සමාජයට රැගෙන යාමට පු‍රෝගාමී වෙමින් සිංහල පොතපත විශාල සංඛ්‍යාවක් ලියූ දයා අමරසේකර මෙබඳු වැඩපිළිවෙළක් ආරම්භ කොට අඛණ්ඩව පුරා දහ අට වසරක් එය ක්‍රියාවට නංවා දිළිඳු ගැමි දරුවන්ට විශිෂ්ට මෙහෙවරක් සිදු කිරීම අතිඋදාර සමාජ කාර්යයකි.

ඔහුගේ මෙම කැපවීම නිසාම අද මෙම පාසලට සංගීත හා නැටුම් භාණ්ඩ තූර්ය වාදක භාණ්ඩ වැනි පහසුකම් රැසක් ලැබී තිබේ. සිය මෑණියන්ගේ ගුණය සිහිකොට පෙරළා එම පිටිසර සමාජයට පැමිණ මෙබඳු වැඩ කොටසක් ආරම්භ කරමින් පවත්වාගෙන යන දරුවකු ගැන ද අපට අසන්නට ලැබෙන්නේ නැත. අනෙක් අතට මෙම දරුවා මේ රටේ ප්‍රකට මහාචාර්ය වරයකු වීම ද දෛවයේ ආශිර්වාදයකි.

නූතනය ගම් අතහැර නගර කරා දිව යන නවීකරණය වන සමාජයකි. මේ නිසා ම ගම්බද පාසල් වේගයෙන් වැසී යයි. ගැමි දරුවන් පාසල් ගමන් අතරමග නවතා දමා විවිධ අපගාමී ක්‍රියාවල යෙදෙන තත්ත්වයක් ඇත. දරුවන් යහමඟට ගත හැකි දැනුමැති මා පියන් ද නොමැත්තේ ය.‍ අනෙක් පැත්තෙන් ටියුෂන් ව්‍යාපාරයක් ලෙස අධ්‍යාපනය පාලනය කරමින් සිටී. තියුණු තරගයකට මුහුණ දී සිටින දරුවෝ විභාග ජයගෙන ඊළඟ තරගයට සූදානම් වෙති. ගුණය, ආකල්ප වර්ධනය තුළින් උසස් පෞරුෂ වර්ධනයක් මෙබඳු වාතාවරණයක බලාපොරොත්තු විය නොහැකිය. මහාචාර්ය දයා අමරසේකර මහතා මෙබඳු සමාජ වාතාවරණයක නිහඬව උතුම් සමාජ මෙහෙවරක නියැළී සිටියි.

සැබවින් ම ගුරුවරයකුගේ භූමිකාවේ අගය තීරණය කරන්නේ තමා ලබාගත් අධ්‍යාපනික සුදුසුකම් මතම නොවේ. තමා විසින් උදා කරනු ලැබූ සිසු ජීවිත සමඟම වන බව සෑම ගුරුවරයකුම සිහි තබා ගත යුත්තකි.

එසේ නම් අයිරා අමරසේකර මැතිනිය මෙරට විදුහල්පතිවරුන් අතර මුදුන් මල් කඩකි. පැරණි සහ නව පරපුර එකට එක් කළ දුලබ ගුරු චරිතයකි. මෙයට පනස් පස් වසරකට පෙර එතුමිය ගමේ පන්සලේ බණ මඩුවෙන් ආරම්භ කළ නාරම්මල පැන්තැණිගොඩ විදුහල අද වයඹ අධ්‍යාපන අමාත්‍යාංශය එතුමියට ගරු කිරීමක් ලෙස අයිරා අමරසේකර මහ විදුහල ලෙස නම් කර ඇත. පුරා තිස් වසරක් දිළිඳු දුෂ්කර පාසලක් අරඹා රැකගත් පාසලක නිර්මාතෘවරියක නමින් නම් ‍කොට ඇති එකම පාසල ලෙස ද මෙම පාසල අධ්‍යාපන ඉතිහාසයට එක් වී ඇත. 

 

Comments