අමෙරිකාව ඇවි‍ෙළයි | Page 4 | සිළුමිණ

අමෙරිකාව ඇවි‍ෙළයි

 කැලිෆෝර්නියා යන නම ඇසුණු සැණින් අපට මැවෙන්නේ සුර පුරයකි. එහෙත් පසුගිය සතියේ කැලිෆෝර්නියාව අපායේ ලෝදිය හැළියට සමාන විය. ස්වාභාවික විපත් ඕනෑම රටක ඕනෑම මො‍හොතක ඇතිවිය හැකි වුවද අමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයට නම් ළැව් ගිනි යන සාමාන්‍ය සිදුවීමකි. වසරේ එක් කාලයකදී මේ ප්‍රාන්තයේ ලැව් ගිනි ඇති වන අතර බොහෝ විට මිනිසුන් අදාළ ප්‍රදේශයෙන් ඉවත් කර ආරක්ෂාව සැලසීම සිදු කෙරේ. එමෙන්ම මෙවරද ප්‍රාන්ත කිහිපයක ළැව් ගිනි ඇති වූ අතර ඒු සියල්ලට සාමාන්‍ය පරිදි මුහුණ දීමට ප්‍රාන්ත වැසියන්ට හැකි විය. එහෙත් පසුගිය ඉරිදා කැලිෆෝර්නියාවේ වයින් නිෂ්පාදන කම්හලක ඇති වූ ගින්නක් ප්‍රාන්තය පුරා ලැව් ගින්නක ස්වභාවයෙන් පැතිර යෑම ඇරඹුණු අතර එය දශක ගණනාවකට පසු අමෙරිකාව මුහුණ දුන් බිහිසුණුම ගිනි අනතුර ලෙස වාර්තා වී තිබේ.

නිවාස සිය ගණනක් ‍පැය කිහිපයක් ඇතුළත ගින්නට හසු වූ අතර අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ගින්න පැයට සැතපුම් 55ක වේගයෙන් පැතිර යන බවයි. ගින්න ඇරඹුණු ඉරිදා දිනයේදී අක්කර 200ක් ගින්නට හසුවූ බව වාර්තා වූ අතර සඳුදා දිනය වන විට එය අක්කර 20000ක් දක්වා ඉහළ ගොස් තිබිණි. අඟහරුවාදා දිනයේදී ගින්නේ බිහිසුණුම අවස්ථාව වාර්තා වූ අතර ඒ වන විට ගින්නට හසු වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර 48000ක් ලෙස වාර්තා විය.

ස්වාභාවික අනතුරුවලින් ජීවිත හානි අවම කර ගන්නා අමෙරිකාවට වුවද මෙවර පුද්ගලයන් 21දෙනෙකුගේ ජීවිත අහිමිවීම වළක්වා ගත නොහැකි විය.

ගින්න නිවීමට වෙහෙස දැරූ පුද්ගලයන්ගේ ඒකමතික අදහස වී තිබුණේ කැලි‍ෆෝර්නියාව පුරා මෙලෙස පැතිරුණු ගින්න අසාමාන්‍ය සහ මර්ධනය කිරීමට ඉතාම අපහසු එකක් වූ බවයි.අවසානයේ ඒ සඳහාම බෝයිං 747 වර්ගයේ සුපර් ටෑංකර් ගුවන් යානා ගෙන්වීමට අමෙරිකා රජයට සිදු වූ අතර එම ගුවන් යානා මගින් ජලය ඉසීමෙන් ගින්න තරමක් දුරට පානය කර ගැනීමට සතිය අවසාන වන විට හැකියාව ලැබී තිබිණි. මේ සුපර් ටෑංකර් ගුවන් යානාවකින් එක්වරකට ජලය ගැලුම් 20000ක් රැගෙන යෑමේ හැකියාව තිබේ‍. මේ වන විට ගණන් බලා ඇති අන්දමට ගොඩනැගිලි 3500ක් පමණ සම්පූර්ණයෙන් ගිනිබත්වී ඇති අතර ගින්න කොතරම් විශාල වීද යත් එය අභ්‍යවකාශයට පවා ‍පැහැදිලිව දිස් වූ බව වාර්තා විය


සවුදි කතුන්ට කෙමෙන් නිදහස

සවුදි රජය තම රට වෙනුවෙන් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ සහ සංශෝධනය කිරීමේ උත්සාහයක් කෙරෙහි අවධානය යොමු කර අැතැයි වාර්තා වේ. ලෝකය ඛනිජ තෙල් මත යැපුණු කාලයේදී සවුදිය මහා බලවතෙක් ලෙස වැජඹුණු අතර මේ වන විට ඛනිජ තෙල් කෙරෙහි මෙතෙක් පැවති බලය අනෙකුත් බලශක්ති වෙත විතැන් වන බවක් පැහැදිලිව පෙනී යමින් තිබේ.

මේ බව සැලකිල්ලට ගෙන ඇති සවුදි රජය තම රටේ අනාගතය සම්බන්ධයෙන් විවිධ තීරණ ගැනීමටත් රටේ ආර්ථිකය සම්බන්ධව කිසියම් ඉදිරි ප්‍රතිපත්තියක් ඇති කර ගනිමින් ඒ අනුව අනාගතය සැලසුම් කිරීමටත් කටයුතු කරමින් සිටී. මේ ප්‍රතිපත්ති මාලාව සවුදියේ සල්මාන් රජුගේ අදහසක් අනුව සකස් කෙරෙමින් පවතින අතර කිරුළේ දෙවැනි හිමිකරු වන මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ අධීක්ෂණය යටතේ වැඩපිළිවෙල සකස් කෙරෙමින් පවතින බව වාර්තා වේ.

මේ වැඩපිළිවෙළට අනුව 2030 වන විට නවතම මුහුණුවරින් යුතු සවුදි ආරබියක් බිහි කිරීමට නියමිතය. එහිදී රටේ දැනට පවතින නීති වෙනස් කිරීමක් නොකරන අතර යම් යම් නීති සංශෝදනය කිරීමක් අපේක්ෂා කළ හැකි බව වාර්තා වේ. මෙහිදී රජය මගින් දැනට ජනතාවට ලබා දෙන සහන කප්පාදුවකට ලක් වීමට නියමිත අතර නව බදු ක්‍රමයක් යටතේ බදු අයකිරීමට කටයුතු යෙදීමටද නියමිතය.

මේ නීති සංශෝධනය කිරීමේ සිදුවීම් මාලාවේදී සවුදි කාන්තාවන්ට දැනට පවතිනවාට වඩා කිසියම් ප්‍රමාණයේ නිදහසක් භුක්ති විඳීමේ අවස්ථාව ලැබෙනු ඇතැයිද පැවසේ. සවුදි කාන්තාවන්ට මේ වන විට රිය පැදවීම සම්පුර්ණයෙන් තහනම් අතර සැමියා හෝ පවුලේ වෙනත් පිරිමියකුගේ අවසරයක් නොමැතිව සංචාරය, වැඩිදුර අධ්‍යාපනය, රැකියාවන්හි නිරත වීම මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගැනීමද තහනම්ය.

ඉදිරියේදී රටේ නීති පද්ධතියේ ඇති විය හැකි සංශෝධන හේතුවෙන් කාන්තාවන්ට වඩා වැඩි රැකියා අවස්ථාව බිහි විය හැකි බවට සැක පහළ වී ඇති අතර එහිදී මූල්‍ය ක්ෂේත්‍රයේ සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා කාන්තාවන්ට විවර වනු ඇතැයි පැවසේ.

පසුගිය පෙබරවාරියේදී සවුදිය තම රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු තුනක පුරප්පාඩු කාන්තාවන් තිදෙනෙකු මඟින් පුරවා දැමීමට කටයුතු කළේය. මෙය කිසියම් විප්ලවීය සිදුවීමක් වූ අතර මේ තනතුරු ලබා දීම හේතුවෙන් සවුදි කොටස් වෙළෙඳ පොලේ මුල් පුටුවද කාන්තාවකට හිමි විය. මෙලෙස කාන්තාවන්ට කිසියම් අන්දමක සහන හිමි වුවද තවමත් රිය පැදවීම සම්බන්ධව කිසිදු අදහසක් බලධාරීන්ගෙන් ප්‍රකාශ වී නැතැයිද පැවසේ. එමෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේද කාන්තාවන්ට වැඩි ඉඩක් ලැබෙනු ඇතැයි මත පළ වී තිබේ.

Comments