ස්මාර්ට් දුරකථනය හරිහැටි භාවිත කරන්නේ කොහොමද? | Page 6 | සිළුමිණ

ස්මාර්ට් දුරකථනය හරිහැටි භාවිත කරන්නේ කොහොමද?

 ලොකු ගාණක් දීලා නම්බර්පෑඩ් එකක් තිබෙන දුරකථනයක් වෙනුවට ටච් කරන්න පුළුවන් ස්මාර්ට් දුරකථනයක් ගත්තාට ඉන් ඔබ උපරිම ප්‍රයෝජනය ගන්නේ නැත්නම් මේ ලිපි මාලාවෙන් ඒ සඳහා හොඳ අත්වැලක් ඔබට ලැබේවි. රුපියල් දාහත් දහසේ සිට ඇරඹෙන මේ දුරකථන හඳුන්වන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන කියා බව ඔබ අසා ඇති. මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ? ඔබ පරිගණකය භාවිතා කරද්දී බොහෝවිට වින්ඩෝස් හෝ උබුන්ටු භාවිතා කරනවා ඇති. මේ වින්ඩෝස් කියන්නේ පරිගණකය සහ අපි අතර සබඳතාව ඇති කරන ‘මෙහෙයුම් පද්ධතිය’ යි. අතීතයේ ඩොස් නමින් ටයිප් කරමින් විධාන ලබාදෙන මෙහෙයුම් පද්ධති තිබූ අතර දැන් චිත්‍රණ අතුරු මුහුණත් (GUI) නිසා මවුස් එක භාවිත කරමින් අපිට පරිගණකය සමඟ කටයුතු කරන්නට පුළුවන්.

දුරකථනය සඳහා ඒ ආකාරයට ලබා දී ඇති මෙහෙයුම් පද්ධතිය තමයි ‘ඇන්ඩ්‍රොයිඩ්’ ලෙස නම් කර තිබෙන්නේ. එය ගූග්ල් සමාගම විසින් සංවර්ධනය කරන මෙහෙයුම් පද්ධතියක්. ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තා ම මුලින් ම එය ඔබට ඔබේ ගූග්ල් ගිණුමෙන් පිවිසෙන ලෙස කියා සිටිනවා. සිම් එකක් දාලා හෝ වයිෆයි හරහා අන්තර්ජාලයට සබැඳුණායින් පස්සේ ඔබට @gmail.com ලෙස අවසන් වන ඔබේ ජීමේල් ගිණුම් නාමය සහ එහි පාස්වර්ඩ් එක ඇතුළත් කළ යුතු වෙනවා. මේ සඳහා වෙළෙඳසල් හිමියකුගේ උපකාරය ගන්නවා නම් ඔබේ පාස්වර්ඩ් එක කිසිම ලෙසකවත් ඔවුන්ට කියන්නට එපා. ඔබ දුරකථනය අතට අරගෙන එය ටයිප් කරන්න. නැත්නම් වෙන්නේ ඔබේ සියලු දත්තවල අයිතිය තෙවන පාර්ශ්වයක අතට පත්වීමයි. පාස්වර්ඩ් එක ටයිප් කිරීමේදී අකුරු වෙනුවට තිත් සටහන්වලින් දර්ශනය වෙනවා.

සාර්ථකව එම තොරතුරු ලබාදී නෙක්ස්ට් (Next) කරගෙන ගිය විට ඔබ හෝම් තිරයට පැමිණෙනවා. කම්පියුටරයේ ඩෙස්ක්ටොප් එක වගේ දුරකථනයේ මුල් තිරය වන්නේ මෙය යි. සැම්සුන්ග් වැනි බහුතරයක් දුරකථනවල එහි ස්ථාපිත ඇප්ස් බලාගන්නට තිත් පේළි දෙකකින් හෝ තුනකින් සමන්විත බොත්තමක් තිරය යට කෙළවරේ තිබෙනවා. එය ටැප් කළ විට ලැබෙන තිරයේ දුරකථනයේ දැනට ස්ථාපනය කර ඇති ඇප්ස් පෙන්වනවා. මෙයට කියන්නේ ඇප් ඩ්‍රෝවරය (App drawer) හෙවත් ඇප් ලාච්චුව කියා යි. හුවාවි වැනි දුරකථනවල ඒ වෙනුවට හෝම් තිරය ම ස්වයිප් කරද්දී තිබෙන ඇප්ස් ටික පෙනෙනවා. ඉන්පසු ඔබට කරන්නට තිබෙන්නේ අනෙකුත් අත්‍යවශ්‍ය සැකසුම් සකසා ගැනීම සහ ස්ථාපනය කර ගත යුතු ම ඇප්ස් බාගත කරගැනීමයි. මේ ගැන අපි ඊළඟ ලිපියෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.

තඹරු විජේසේකර

Comments