ගූගල් පොත් කඩේ හොඳයිද? නරකයිද? | Page 5 | සිළුමිණ

ගූගල් පොත් කඩේ හොඳයිද? නරකයිද?

 ඩිජිටල් තාක්ෂණය සහ අන්තර්ජාල සේවා හමුවේ සාහිත්‍ය සහ ප්‍රාසංගික කලා කර්මාන්ත බලවත් අභියෝගයකට ලක්ව ඇත. සාහිත්‍ය හා කලා නිර්මාණ බෙදාහැරීම සම්බන්ධයෙන් සම්ප්‍රදායානුකූලව අනුගමනය කළ ක්‍රියා මාර්ග යල් පැනගොස් අැත. නිර්මාණවල හිමිකරුවන් සහ එම නිර්මාණ බෙදා හරින අතරමැදියන් වූ අන්තර්ජාල පිරික්සුම් යන්ත්‍ර (Internet search engine) අතර ගැටලුවක් හටගෙන ඇත. මේ අතරමැදි පිරික්සුම් සේවාවල කටයුතු නිසා නිර්මාණ හිමිකරුවන්ගේ සහ ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ ආර්ථික අයිතිවාසිකම්වලට තර්ජනයක් එල්ල වි අැති අතර ඔවුන්ගේ ආදායම විශාල ලෙස පහත වැටී ඇත. නූතන පාරිභෝගිකයෝද සාම්ප්‍රදායික බෙදාහැරීම් ක්‍රම පිළිබඳව සැක ඇති කරගෙන සිටිති. ඕනෑම සාහිත්‍ය සහ කලා නිර්මාණයක් තරගකාරී මිලකට පහසුවෙන් ලබා ගැනීමට අන්තර්ජාලයේ පිහිට පැතීමට ඔවුහු අපේක්ෂා කරති.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටකට අන්තර්ජාල සේවා නිසා ඇතිවී ඇති බලපෑම තවමත් දැඩි ලෙස නොදැනෙන නමුත් ඒ නිසා නිර්මාණ හිමිකරුවන්ට සහ ග්‍රන්ථ ප්‍රකාශකයන්ට මතුවිය හැකි ගැටලු නුදුරු අනාගතයේදීම කරළියට පැමිණෙනු ඇත. අන්තර්ජාල සේවා සහ ග්‍රන්ථ ප්‍රකාශනය අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සහ ශ්‍රී ලංකාව වැනි රටවලට මේ නිසා මුහුණදීමට සිදුව ඇති අවාසි පිළිබඳ කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීම මේ ලිපියේ අරමුණයි.

සාම්ප්‍රදායිකව පොත යනු ලිඛිත හෝ මුද්‍රිත වචන ඇතුළත් කඩදාසි ගොනුකොට තැනූවකි. නව තාක්ෂණය හමුවේ පොත එම ආකාරයෙන්ම පැවතීම අවශ්‍ය නොවේ. පොතක පිටු පරිලෝකනය (scan) කර සංයුක්ත තැටියක ගබඩා කළ හැකිය. පරිගණක තිරයක ආධාරයෙන් එම පොත කියවිය හැකිය. පිටපත් ලබාගත හැකිය. එපමණක්ද නොවේ. pen drive එකකට ඇතුළත් කළ හැකිය. විද්යුත් තැපෑල හරහා තවත් කෙනෙකු සමග හුවමාරු කළ හැකිය. ලෝකයේ වෙනත් ඕනෑම ස්ථානයක ඇති විද්යුත් තැපැල් පහසුකම් ඇති පරිගණකයකට සම්ප්‍රේෂණය කළ හැකිය.

පරිගණකය මහ විදුලි සංදේශ ජාලය එකිනෙක හා සම්බන්ධ කර ගනිමින් ලෝක ව්‍යාප්ත මට්ටමින් පවත්වාගෙන යන සේවාවකි අන්තර්ජාලය. අන්තර්ජාලය තුළ ප්‍රධාන පිරික්සුම් යන්ත්‍ර (Internet search engine) කිහිපයක්ම ඇත. yahoo, Google සහ MSN ප්‍රධාන පිරික්සුම් යන්ත්‍ර ලෙස සඳහන් කළ හැකිය. ඒ අතර Google පිරික්සුම් යන්ත්‍රය පොත්පත් සම්බන්ධව ප්‍රධාන වශයෙන් කටයුතු කරයි. මේ නිසාම Google සහ ග්‍රන්ථ ප්‍රකාශකයන් අතර අර්බූදයක් හටගත්තේය.

2004 වර්ෂයේ Google පරික්සුම් යන්ත්‍ර Google print නමින් සේවාවක් ආරම්භ කළේය. පසුව එය Google පොත් පිරික්සුම් සේවාව (Google Book Search) ලෙස නැවත නම් කෙරිණ. එක්සත් රාජධානියේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ පුස්තකාල රාශියක් සමග ගිවිසුමකට එළඹී Google දැනට මුද්‍රණයේ නොමැති පොත් ඩිජිටල්කරණය කොට එම පොත් ඒවායේ සේවාව අපේක්ෂා කරන අයගේ ප්‍රයෝජනය සඳහා ලබා දුනි. මෙයින් සමහර පොත් සම්පූර්ණයෙන්මද තවත් සමහර පොත්වල පිටු කිහිපයක් පමණක් ලබා ගැනීමටද Google පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිණි.

ණයවර කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇතැම් පොත් ඇණැවුම් කර ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙනු ලැබීය. Google හි සැලසුම වූයේ දශකයක් තුළ පොත් මිලියන පහළොවක් ඩිජිටල්කරණය කොට Google පිරික්සුම් යන්ත්‍රය හරහා පාරිභෝගිකයන්ට සැපයීමය. 2008 ඔක්තෝබර් වන විට ඔවුන්ගේ දත්ත ගබඩාවට මිලියන හතක පොත් ඇතුළත් කර තිබිණ. Googleගේ සැලසුමට සමහර ග්‍රන්ථ කර්තෘවරුන් ‍එරෙහිවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. අමෙරිකානු ග්‍රන්ථ ප්‍රකාශකවරුන්ගේ සංගමය සහ අමෙරිකානු කර්තෘ සංසදය 2005 වසරේදී Google පිරික්සුම් යන්ත්‍රයට එරෙහිව නඩු දෙකක් පැවරූහ. අධිකරණයට ඉදිරිපත් වූ මේ පැමිණිලි දෙකෙන්ම කියැවුණේ එක සමාන කරුණුය. පැමිණිලිකරුවන්ගේ නිර්මාණ Google පිරික්සුම් යන්ත්‍රය මගින් බෙදාහරිමින් සහ වාණිජමය කාර්යයක යෙදවීමෙන් කර්තෘවරුන්ගේ අයිතිය උල්ලංඝනය වන බව පැමිණිලිකරුවෝ කියා සිටියහ.

තමන් සිදුකරනුයේ සාධාරණ භාවිතය (fair use) යටතට ගැනෙන ක්‍රියාවක් බව Google තර්කය විය. මෙහිදී මතුවූ නීතිමය ගැටලුවල වැදගත්කම නිසාම විද්වතුන්, නීතිවේදීන්, ග්‍රන්ථ ප්‍රකාශයකයන් සහ ප්‍රකාශන අයිතියෙන් ආරක්ෂිත කෘති ඩිජිටල්කරණයේ යෙදෙන පුද්ගලයන් අතර දැඩි උනන්දුවක් ඇති විය. කෙසේවෙතත් අධිකරණමය විසඳුමකට නොඑළඹීම 2006 ඔක්තෝබරයේදී දෙපාර්ශ්වය අතර ගිවිසුමක් මගින් එකඟතාවක් ඇති කරගනු ලැබීය.

මේ ගිවිසුම අනුව Google පැමිණිලිකරුවන් වෙත අමෙරිකානු ඩොලර් මිලියන 125ක් ප්‍රදානය කළ යුතුය. එම මුදල් ලබා ගන්නා පැමිණිලිකරුවන් විසින් සුදුසු වැඩ පිළිවෙළක් සකස් කොට නිර්මාණ හිමි කර්තෘවරුන් අතර එම මුදල් බෙදා හැරිය යුතුය. කර්තෘවරුන්ගේ කැමැත්ත ලබාගැනීම සඳහා වෙනම වෙඩ් අඩවියක් නිර්මාණය කිරීමටද Google මේ ගිවිසුමෙන් එකඟ විය.

2009 සැප්තැම්බර්වලට පෙර තමන්ගේ නිර්මාණ ඩිජිටල්කරණය කොට Google පොත් සේවාව (Google Book Search) ඔස්සේ බෙදා හැරීමට අවසර දෙන ලේඛකයන්ට 2010 ජනවාරි දක්වා ඒ සඳහා මුදලින් ගෙවීම් ලබා ගත හැකිය. මේ ක්‍රමය යටතේ කර්තෘවරුන්ට ගෙවීම සඳහා Google අමෙරිකානු ඩොලර් මිලියන 45ක් වෙන් කර ඇත. මේ ක්‍රමය යටතේ පොත්පත් ලියාපදිංචි කර ගැනීමට කටයුතු කරන ලෙස දන්වමින් මෙරට පුවත්පත්වලද දැන්වීම් පළවිය. ඒ දිනවල මේ පිළිබඳව කර්තෘවරුන් සහ ග්‍රන්ථ ප්‍රකාශකයන් අතර කතාබහක් ඇතිවූ නමුත් එය ටික දිනකින් යටපත්වී ගියේය. ඊට හේතුව වූයේ Google ව්‍යාපෘතිය පිළිබඳව මෙරට ලේඛකයන් සහ ග්‍රන්ථ ප්‍රකාශකයන් අතර ප්‍රමාණවත් අවබෝධයක් නොතිබීමත් මෙය අලුත් අත්දැකීමක් වීමත්ය.

පාරිභෝගිකයන්ට පොත් ඇණැවුම් කර ලබා ගත හැකි අන්දමට සකස් කරන ලද දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමටද Google කටයුතු කර තිබේ. මීට අමතරව පොත්වල අයිතිය ලියාපංදිචි කිරීමේ ව්‍යාපෘතියක් (Book Rights Registry project) සඳහා අරමුදල් සැපයීමට Google සහ අමෙරිකානු ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ සංගමය සහ අමෙරිකානු කර්තෘ සංසදය ගිවිසුමෙන් එකඟ වී තිබේ. මේ ව්‍යාපෘතිය මගින් දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියනව 34.5ක් පොත්වල අයිතිය ලියාපදිංචි කිරීමේ ආයතනය (Book Rights Registry) වෙත ගෙවා තිබේ. සාමූහික පරිපාලන සමාගමක් ලෙස කටයුතු කරන ‍මේ පොත් අයිතිය ලියාපදිංචි කිරීමේ ආයතනය පාලනය කරනු ලබන්නේ කර්තෘවරු, පොත්වල අයිතියට හිමිකම් කියන උරුමකරුවන් ‍සහ ග්‍රන්ථ ප්‍රකාශකයන් විසිනි.

Google පොත් පිරික්සුම් සේවාවට යම් යම් සහනයන් සැලසීමටද මේ ගිවිසුමෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇතිකරගෙන ඇත. ඒ අනුව දායක මුදල් අය කර පොත් සැපයීමේ සේවාවක් පවත්වාගෙන යෑමටද එක් එක් පොත් වෙන වෙනම අලෙවි කිරීම සඳහාද දැන්වීම් පළකිරීම සඳහාද Google අවසර ලබා දී තිබේ.

Google පොත් පිරික්සුම් සේවාවට සහභාගී වන පුස්තකාලවලට ඩිජිටල්කරණය කරන ලද පොත් ආයතන මට්ටමින් තබා ගැනීමටද අවසර ලබා දී තිබේ. දැනට භාවිතයේ නොමැති පොත් ලබා ගත් ක්‍රමය කුමක් වුවත් ඒවායේ ඩිජිටල් පිටපතක් තබා ගැනීමේ පරම අයිතියද Google මේ ගිවිසුමෙන් ඔවුන් යටතේ ලියාපදිංචි වී ඇති පුස්තකාලවට ලබා දී ඇත.

අමෙරිකානු ග්‍රන්ථ ප්‍රකාශක සංගමය, අමෙරිකානු කර්තෘ සංසදය සහ Google අතර ඇති කරගත් ගිවිසුම නිසා නීතිමය සහ ශිල්පීය ගැටලු රාශියක් ඇති වී තිබේ. ප්‍රථමයෙන්ම මේ ගිවිසුම බලපවත්වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ පළවූ පොත්වලට සහ අමෙරිකාවට ප්‍රකාශන අයිතිය සහිතව වෙනත් රටවල ප්‍රකාශයට පත්වන ග්‍රන්ථවලට පමණි. එහෙත් අමෙරිකානු කර්තෘ සංසදය එක්සත් ජනපදයෙන් පිටත රටවල ප්‍රකාශයට පත් කරනු ලබන පොත් සඳහාද මෙය ව්‍යාප්ත කර ඇත. එනම් බර්ග් අන්තර්ජාතික සම්මුතියට අත්සන් කර ඇති රටවල පළවන පොත් සඳහාද මෙය බලපැවැත්වේ. මේ නිසා මේ ගිවිසුම ශ්‍රී ලංකාවට පමණක් නොව බර්ග් සම්මුතියට ඇතළත් සියලු රටවල කර්තෘවරුන්ට හා ග්‍රන්ථ ප්‍රකාශකයන්ට අහිතකර ලෙස බලපානු ඇත.

Google පොත් පිරික්සුම් සේවාව මගින් දැනට මුද්‍රණයේ නොපවතින පොත් සොයා ඒවා ඩිජිටල්කරණය කොට තම සේවාව මගින් පාරිභෝගිකයන්ට ලබාදෙයි. එහෙත් බොහෝ රටවල කර්තෘවරු ග්‍රන්ථ ප්‍රකාශකයෝ සහ උරුමකරුවෝ තමන්ට හිමිකම් ඇති කෘති මෙසේ බෙදාහරිමින් Google වාණිජ කටයුත්තක යෙදෙන බවක් නොදනිති.

නිර්මාණවල කර්තෘවරුන් හෝ ඒවායේ නීත්‍යනුකූල හිමිකරුවන් සොයාගත නොහැකි අවස්ථාවල ඒවා අනාථ කෘති (Orphan Works) ගණයට ඇතුළත් කෙරේ. එවැනි කෘති කිසිදු බාධාවකින් තොරව බෙදා හැරීමට Google අවස්ථාව ලබාගෙන ඇත.

මෙරට දැනට මුද්‍රණයේ නොපවතින සම්භාව්‍ය කෘති සහ වෙනත් කෘති Google පොත් පිවිසුම් සේවාව තුළට දැනටමත් ඇතුළත් කර තිබේ. එහෙත් එයින් මෙරට ග්‍රන්ථ කර්තෘවරුන්ට හෝ ප්‍රකාශකයන්ට කිසිදු ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඉඩකඩ සැලසී නැත. මෙය අපේ රටේ සාම්ප්‍රදායික දැනුම මංකොල්ලයක් ලෙසද හැඳින්විය හැකිය.

අන්තර්ජාලයෙන් සැපයෙන මෙවැනි ‍සේවාවන් නිසා මතුව ඇති ගැටලුවලට පිළියම් සෙවිය හැක්කේ දැනටමත් ඇතිකරගෙන ඇති අන්තර්ජාතික සම්මුති ශක්තිමත් කිරීමෙන් සහ ඩිජිටල් තාක්ෂණය මගින්ම පමණි.

බොබී ජී. බොතේජු

Comments