
“අදහස් හා දැනුම නිදහසේ හුවමාරු කර ගැනීමට අවකාශ සලසා දීමේ” අභිමතාර්ථය පෙරදැරි කරගෙන මීට වර්ෂ 24කට පෙර, එනම් 1993 දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “අන්තර්ජාතික නිදහස් මාධ්‍ය දිනය” මේ වන විට ජනමාධ්‍ය නිදහස අගයන ලෝකයේ බොහෝ රටවල් විවිධ මුහුණුවරයන්ගෙන් යුක්තව උත්කර්ෂවත් අයුරින් සමරනු ලබයි.
“අන්තර්ජාතික නිදහස් මාධ්‍ය දිනය” සමරන විට දී, ඉතාම ගෞරවයෙන් සිහිපත් කළ යුතු වැදගත් සහ ඓතිහාසික සිදුවීමක් ද තිබේ. එනම්, චෙකොස්ලෝවැකියානු ජාතිකයකු වූ ජුලියස් පුචික් ගේ ඝාතනයයි. ජූලියස් පුචික් වූ කලී විශිෂ්ට ගණයේ මාධ්‍යවේදියෙකි. එදා ෆැසිස්ට්වාදී ඒකාධිපති දේශපාලන ව්‍යාපාරයට එරෙහිව ඔහු සිය පන්හිඳ අභීතව මෙහෙයවූවේ ය. සමාජයට හිතකර නොවූ ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තිවලට සහ ඒකාධිපති පාලනයට විරුද්ධව මහජන මතයක් ගොඩනැඟීම උදෙසා තම පන්හිඳ, උපරිමව යොදාගත් පුචික් පහර දිය යුතු පාර්ශ්වයන් හට ඇති තරම් පහර දුන්නේ ය. එසේම එවක ඇඩොල්ෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් සන්නද්ධ වූ ජර්මනියේ නාසි හමුදාවේ අත්තනෝමතික ක්‍රියාකාරකම් ද ඔහුගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ දී, එවක බලවත්ව පැවතුණු ම්ලේච්ඡ නාසි හමුදාවේ ග්‍රහණයට නතු වූ පුචික්ට දරදඬු පාලන තන්ත්‍රයක් හමුවේ සිරගත වී, දඬුවම් විඳීමට පවා සිදු විය. පසුව බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් මධ්‍යයේ ඉතාම පහසුවෙන් තම ජීවිතය රැක ගැනීමට අවස්ථාව පැවතුණු නමුදු, කිසිවෙකු හෝ පාවා නොදීම හේතුකොටගෙන ජුලියස් පුචික්ට වර්ෂ 1943 දී, නිර්භීත තරුණ මාධ්‍යවේදියකු ලෙස ජර්මනියේ ප්‍රාග් නුවර පොලෙට් සන්ඩ් සිර කඳවුර තුළ දී ජීවිතයෙන් සමු ගැනීමට සිදු විය.
සමාජ කාර්යභාරය
“නිදහස නොමැති තැන ඇත්තේ වහල් බවකි. නිදහස ලබා දීම යනු යහපත් වීමට අවස්ථාව සලසා දීම යි” යන ප්‍රකාශය ඇමෙරිකානු ජාතික දාර්ශනිකයකු වූ ඇල්බෙයා කැමූ විසින් නිදහසේ ඇති විශිෂ්ටත්වය මතු කළ අවස්ථාවක් ලෙස සනිටුහන් කළ හැකිය. ඇල්බෙයා කැමූ ගේ එම ප්‍රකාශය “අන්තර්ජාතික නිදහස් මාධ්‍ය දිනය” සමරන මෙවැනි අවස්ථාවක සිහිපත් කිරීම ඉතාම වැදගත් වෙයි. එමෙන්ම ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ද වරක් තරයේ ප්‍රකාශ කර සිටියේ “කිසිවෙකු නිහඬ නොකළ යුතු අතර, සත්‍ය දැන ගැනීමට සෑම කෙනෙකුටම හිමිකමක් පවතින බවයි” එදා ලෝකයේ බලවත් නායකයන් අතර ප්‍රමුඛයකු වූ ඇමෙරිකානු ජනාධිපතිගේ එම ප්‍රකාශය නූතන මාධ්‍ය නිදහස සම්බන්ධ පවත්වන සංවාද සහ සාකච්ඡාවලට නියත වශයෙන් ප්‍රයෝජනවත් වෙයි.
පවුල් සංස්ථාව
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑම පුද්ගලයකුට ස්වකීය අදහස් සහ මතවාද බාධාවකින් තොරව කවර මාධ්‍යයක් හෝ උපයෝගී කරගෙන හුවමාරු කර ගැනීමේ අවස්ථාවක් තිබිය යුතුයි. එමෙන්ම ඕනෑම පුද්ගලයකුට තොරතුරුවලින් සන්නද්ධ වීමට ද අයිතියක් ඇත. එබැවින් මෙම සමස්ත ක්‍රියාවලිය පදනම් කරගෙන සියලුම ජනසන්නිවේදන මාධ්‍ය වෙත වර්තමාන සමාජය වෙනුවෙන් ඉටු කිරීමට සුවිශේෂී වූ කාර්යභාරයක් පවතී. එමෙන්ම සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් සමාජයට ඉටුවිය යුතු මෙහෙවර ද මෙහිදී කිසිසේත් ලඝු කර දැක්විය නොහැකි ය. මෙම කරුණු කාරණා මත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සියලුම ජනසන්නිවේදන මාධ්‍යයන් වෙත හිමි විය යුතු නිදහස සීමා කිරීම ද කිසිසේත් අනුමත කළ නොහැකි ය.
ජනමාධ්‍ය වූ කලී සමාජ ව්‍යුහයක් ගොඩනැංවීමට දායක වන එක් සමාජ සංස්ථාවකි. එමෙන්ම ජනමාධ්‍ය හැරුණු කොට සමාජයක ව්‍යුහයක් ගොඩනැංවීමට දායක වන ප්‍රධාන සමාජ සංස්ථා කිහිපයක් තිබේ. ඉන් ප්‍රමුඛ ස්ථානයක් පවුල් සංස්ථාවට ද හිමි වෙයි. ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය, ආගම සහ අධ්‍යාපනය ද ඕනෑම සමාජයක ව්‍යුහයක් ගොඩනංවන ලබන ප්‍රධාන සමාජ සංස්ථා ලෙස හැඳින්වෙයි. මේ අනුව සමාජ ව්‍යුහයක් ගොඩනැංවීමට දායක වන එක් සමාජ සංස්ථාවකට පමණක් අභිමත පරිදි රිසි සේ කටයුතු කිරීමට නොහැකි වෙයි.
මේ අනුව කිසියම් සමාජ සංස්ථාවක් එම සමාජ සංස්ථාවේ අනන්‍යතාව ද සුරක්ෂිත කරගෙන මතු වීමේ දී, වෙනත් කවර හෝ සමාජ සංස්ථාවක අනන්‍යතාවකට කිසිදු අයුරකින් හානියක් සිදු නොකළ යුතුය. සමාජ ව්‍යුහයක් ගොඩනැංවීමට දායක වන සියලුම සමාජ සංස්ථා සුරක්ෂිත වන පරිදි නීතිරීති, අණපනත් හෝ සීමා මායිම් සමාජය විසින් ම නිර්මාණය කර තිබෙන බැවින්, ඒවාට යටත්ව කටයුතු කිරීමට සියලුම සමාජ සංස්ථාවලට සිදු වෙයි. එසේම සමාජ උන්නතිය වෙනුවෙන් නිර්මාණය කර ගනු ලැබූ එම නීතිරීති, අණපනත් හෝ සීමා මායිම් ප්‍රතික්ෂිප්ත නොකර, නිශ්චිත ප්‍රතිපත්තියකට අනුකූලව මාධ්‍යකරණයේ නියුක්ත වීම ද සෑම ජනමාධ්‍යයකම වගකීමකි.
එසේම පොදු පිළිගැනීමට අනුකූලව සකස් වුණු කිසියම් නිශ්චිත ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කරන්නේ නම්, ඕනෑම රටක ජනමාධ්‍ය ප්‍රශස්ත තලයකට රැගෙන යා හැකි ය.
බැලූ බැල්මට ග්‍රාහකයින් වෙනුවෙන් කිසියම් පණිවිඩයක් නැතහොත්, සංදේශයක් සම්පාදනය කිරීම පහසු කටයුත්තක් සේ පෙනුණ ද, එහි අභ්‍යන්තරය ඉතාම සංකීර්ණය. එබැවින් ජනමාධ්‍යවේදියා ඒ පිළිබඳව ද වඩාත් අවධානය යොමුකළ යුතු ය. එමෙන්ම ඕනෑම ජනමාධ්‍ය ආයතනයකට ස්වකීය ග්‍රාහකයින් වෙනුවෙන් කිසියම් සේවාවක් සිදු කිරීමට අවකාශ ලැබෙන්නේ, විධිමත් ප්‍රතිපත්තියකට අනුකූලව තොරතුරු ලබාදීමේ කාර්යය සිදු කළහොත් පමණි. ඒ අනුව මෙහිදී ප්‍රධාන අරමුණු දෙකක් පෙරදැරි කරගෙන ජනමාධ්‍ය ආයතන තුළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැකිය. ඉන් පළමුවැන්න වන්නේ, ජනමාධ්‍ය පොදු ජනයාගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි. දෙවනුව ජනමාධ්‍ය පොදු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ද පෙනී සිටිය යුතු ය. පොදු ජනතාවගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් දිනෙන් දින වෙනස් විය හැකිය. ඒ අනුව ජනමාධ්‍ය තුළ ප්‍රතිපත්ති සංරචනය කිරීමේ දී, පොදු ජනතාවගේ වෙනස් වන අවශ්‍යතා සහ අයිතිවාසිකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.
මින් පෙනී යන්නේ, ජනමාධ්‍ය සඳහා පොදු පිළිගැනීමක් සහිත ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කර ගැනීම මඟින්, අපේක්ෂිත අරමුණු ඉතාම පහසුවෙන් ඉටුකර ගත හැකි බවයි.
කෙසේ වෙතත් ඉහත සඳහන් කළ අවශ්‍යතා සහ අයිතිවාසිකම් පොදු ජනතාවගේ හිමිකමක් මිස, ජනමාධ්‍ය හිමිකරුවාගේ හෝ මාධ්‍යවේදියාගේ හිමිකමක් නොවන බව ද, මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතු ය. මේ අනුව නූතන සමාජය තුළ ජනමාධ්‍යවේදීන් විසින් සාකච්ඡා කරන අවශ්‍යතා සහ අයිතිවාසිකම් පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සමාජගත වූ සංකල්ප බව ප්‍රත්‍යක්ෂ වේ.
ව්‍යාපාරික පද්ධති
පුළුල් සමාජ මෙහෙවරක් සිදු කරන ජනමාධ්‍ය ආයතන ව්‍යාපාරික පද්ධතියක් වශයෙන් ද කටයුතු කරයි. ඕනෑම ජනමාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. විවිධාකාර වූ නඩත්තු වියදම් දැරීමට ද සිදු වේ. මෙහිදී ප්‍රබල ජනමාධ්‍යයක් වශයෙන් හඳුන්වන පුවත්පත් ආයතනයක් නිදසුනක් වශයෙන් සඳහන් කළහොත්, එම පුවත්පත් මාධ්‍ය ආයතනයට අතිවිශාල මුද්‍රණ යන්ත්‍ර හා විවිධ උපකරණ පරිහරණය කිරීමට සිදු වන බව හඳුනාගත හැකිය. එමෙන්ම අදාළ පුවත්පත් ආයතනය තුළ කර්තෘ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට ද සිදු වේ. පුවත්පත් බෙදාහැරීම සඳහා ප්‍රවාහන සේවයක් ද අවශ්‍ය වේ. ගුවන් විදුලිය හා රූපවාහිනී මාධ්‍ය නිදසුන් ලෙස සඳහන් කළහොත්, ඊටත් වඩා නවීන යන්ත්‍ර සූත්‍ර තාක්ෂණ උපකරණ අවශ්‍ය වේ. එසේම එම යන්ත්‍රසූත්‍ර හා උපකරණ ද නඩත්තු කළ යුතුය. එපමණක් නොව, එක් වැඩසටහනක් නිෂ්පාදනය කිරීම සඳහා විශාල මුදලක් ද වැය වේ.
මෙහිදී එක් මානයකින් අදාළ ජනමාධ්‍ය ආයතනවලට හිමි වගකීම් සහ ආචාර ධර්ම රැකගැනීමට සිදු වන අතර, තවත් මානයකින් එම ජනමාධ්‍ය ආයතන නිසි පරිදි පවත්වාගෙන යෑමට සහ ලාභ ඉපයීම වැනි ව්‍යාපාරික අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවන බව පෙනී යයි. මෙම හේතු සාධක මත නූතන ජනමාධ්‍ය ආයතන ස්වකීය ආයතනයන්හි නඩත්තු කටයුතු සඳහා වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම යොදා ගනී. එබැවින් ජනමාධ්‍ය ආයතන පිටුපස විශාල ව්‍යාපාරික මුහුණුවරක් පවතින බවක් ද දක්නට ලැබෙයි.
මේ අනුව රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍ය ආයතන මහජන සේවා ජනමාධ්‍යයන් වශයෙන් ඉදිරියට ගෙන යෑමට නම්, පිළිගත් පොදු රාමුවක් තුළ පිහිටා, කිසියම් ප්‍රතිපත්ති මාලාවකට අනුව කටයුතු කළ යුතු ය.
අනුෂාද් වෙදගේ