
විද්‍යාවෙන් මිදී අවිද්‍යාව හඹා යන යුගයක අනාගත පරපුර විද්‍යාවට නැඹුරු කිරීම, තාක්ෂණික දැනුම ලබා ගැනීමට පෙලඹවීම සහ නව නිපැයුම් කිරීමට දිරි දීම සිදුවන්නේ යම් තැනකද එය අගය කළ යුතුමය. පසුගියදා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ගිය අපට දැක ගන්නට ලැබුණේ පාසල් දරුවන් විද්‍යාවට නැඹුරු කරමින් තාක්ෂණික දැනුම ලබා දෙමින් නව නිපැයුම් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙන අන්දමයි. ඒ සඳහා පාසල යොදා තිබූ අඩිතාලම වූයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයකි. මේ ප්‍රදර්ශනය පාසලේ පහ වසරේ සිට උසස් පෙළ දක්වා සිසුන්ට විවෘත වූ අතර සිසුන් ඉදිරිපත් කර තිබූ නව නිපැයුම්වලින් පාසල් භූමිය පිරී ඉතිරී තිබිණි.
විදුහලේ ප්‍රධාන ශාලාවන්ගේ සිට පන්ති කාමර දක්වාත් ඉන් නොනැවතී ක්‍රීඩා පිටිය වටාත් පෙළ ගස්වන තරමේ ප්‍රදර්ශන භාණ්ඩ ප්‍රමාණයක් එහි විය. සෑම සිසුවකුම සිසුවියකම කුමක් හෝ නව නිපැයුමක් කිරීමට වැර දරා තිබූ අන්දම මේ සා විශාල වූ ප්‍රදර්ශන භාණ්ඩ තොගය මගින් නරඹන්නන්ට සන්නිවේදනය විය. රෙදි සෝදන අතර ශරීර සුවතාව වෙනුවෙන් ව්‍යායාම කිරීම සඳහාද භාවිත කළ හැකි රෙදි සෝදන යන්ත්‍රයක්, සූර්ය බලයෙන් ක්‍රියා කරන ඩ්‍රෝන යානාවක්, නිදිමත නැති කරමින් පදවන්නා ආරක්ෂා කරන යතුරු පැදි හෙල්මටයක්, බහු කාර්ය එළවළු කපනයක් ඇතුළු තවත් මතක තබා ගත නොහැකි තරමේ නව නිපැයුම් නරඹමින් කුටියෙන් කුටියට ඇවිද ගිය අපට පාසලේ විද්‍යා උපදේශක ආචාර්ය ලක්ෂ්මන් නෝනිස් මහතා හමු විය.
ඔහු මේ ප්‍රදර්ශනයේ වගකීම් උසුලන්නාය. දරුවන් විද්‍යාව කෙරෙහි යොමු කිරීම ඔහුගේ මූලික අරමුණ වන්නේය. ඔහු අප හා පවසා සිටියේ පාසලේ අධ්‍යාපන ක්‍රමවේදය විභාග කේන්ද්‍රීයව පමණක් සිදු නොවන බවයි. ඒ වෙනුවට දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීමට උරදෙන, කණ්ඩායම් ක්‍රියාකාරකම් කෙරෙහි දරුවන් වැඩි වශයෙන් යොමු කරවන්නට සිතන සහ ඒ අනුව ක්‍රියා කරන පරපුරක් බිහි කිරීම ඔවුන්ගේ අරමුණ බවයි.
වඩාත් පුළුල් ලෙස සලකා බලන්නේ නම් දැනුම, වසර තුනක් ඇතුළත අලුත් වන බැවින් පාසලේ විෂය මාලාවට අනුව දරුවන්ට දැනුම සැපයීම වෙනුවට දැනුම සොයා යෑමට උපකාර කිරීම ගුරුවරුන්ගේ කාර්යභාරය වී ඇති බව ආචාර්ය ලක්ෂ්මන් නෝනිස් පෙන්වා දුන්නේය. ඒ මහා ක්‍රියාදාමයේ පියවරක් ලෙස මේ විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය හඳුන්වාදුන් ආචාර්ය නෝනිස් නිර්මාණශීලීත්වය යනු සිතීමේ අතුරු ඵලයක් බවද පැහැදිලි කර සිටියේය.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මේ විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය පවත්වන්නේ පස්වැනි වරටය. මේ ඔස්සේ නිර්මාණශීලී මිනිසුන් බිහි කිරීමට, ඒ මිනිසුන් එදිනෙදා සමාජයේ ප්‍රශ්න විසඳීමට නිර්මාණ බිහිකරන සමාජ හිතකාමී පුද්ගලයන් වනු දැකීම තම අභිප්‍රාය බවත් ආචාර්ය නෝනිස් වැඩි දුරටත් පවසා සිටියේය. ඉන් පසුව ඔහුගේ මග පෙන්වීම යටතේ ප්‍රදර්ශන කුටියකට ගොඩ වැදුණු අප දුටුවේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළකි.
සිසුවියෝ කිහිපදෙනෙක් සහ ගුරුමහත්මියක් ඒ ප්‍රදර්ශන කුටියේ කාර්යබහුලව සිටියහ. ඔවුහු කිසියම් යන්ත්‍රයක් ආධාරයෙන් තීරු කපන ලද කඩදාසි පල්ප බවට පත් කරමින් සිටියහ. පසුව එම ව්‍යාපෘතියේ ක්‍රමවේදය පැහැදිලි කරමින් ඔවුන් පවසා සිටියේ පාසලෙන් ඉවත දමන සියලු කඩදාසි තම පල්ප ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා බවයි. මෙලෙස ඉවත දමන කඩදාසි තීරු කර ගැනීමෙන් පසුව ජලයේ බහා පල්ප බවට පත් කරගනු ලැබේ. ඉන්පසු වියළාගන්නා එකී පල්ප යළිත් කඩදාසි බවට පත් කරගනු ලැබේ. ඒ වන විටත් ප්‍රතිචක්‍රීකරණය කරන ලද කඩදාසිවලින් කළ නිර්මාණ, සුභ පැතුම් පත් යනාදිය ඔවුන් ප්‍රදර්ශනයට තබා තිබිණි.
මීට අමතරව ජීව වායුව නිපදවීමේ ව්‍යාපෘතියක්ද සිසුන් විසින් නිම කරනු ලැබ තිබිණි. මේ ව්‍යාපෘතියේ අරමුණ දීර්ඝකාලීනව රටේ කුණු ප්‍රශ්නයට විසඳුම් සෙවීමට දරුවන් පුහුණු කිරීමය. කාබනික පොහොර සැකසීමේ වැඩපිළිවෙළක්ද පාසල තුළ ක්‍රියාත්මක වූ අතර ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ සිසුන් විසින් එහි කටයුතු නිම කරන බව දැනගන්නට ලැබිණ.
විද්‍යා සංගමයේ ක්‍රියාකාරී ආචාරිනී මල්ෂා අප සමග අදහස් දක්වමින් පවසා සිටියේ වර්ගීකරණයන් හයක් යටතේ ප්‍රදර්ශනයට නිර්මාණ ඉදිරිපත් කිරීමට සිසුන්ට පැවරූ බවයි. සාමාන්‍ය, විදුලිය සහ විදුලි ඉලෙක්ට්‍රොනික, පාරිසරික, මානව ආරක්ෂාව, සෞඛ්‍ය හා පෝෂණය සහ පරිවහන යනු එම වර්ගීකරණයන්ය. අවශ්‍ය නම් සිසුන්ට කණ්ඩායම් වශයෙන් එක්ව නිර්මාණයක් ඉදිරිපත් කළ හැකි බවත් එවැනි කණ්ඩායමක උපරිම සිසුන් සංඛ්‍යාව තුනක් බවත් අය වැඩිදුරටත් සඳහන් කර සිටියාය. ආචාර්ය ලක්ෂ්මන් නෝනිස් පවසා සිටියේ සිසුන් 400ක් පමණ සක්‍රීයව විද්‍යා සංගමයේ සාමාජිකත්වය දරන බවත් ශකිලා, ශීනා, සසිනි, උදාරි, විද්‍යා, අචිනි සහ මල්ෂා යන ගුරු මහත්මීන් මේ සිසුන්ට මග පෙන්වන බවත්ය. එමෙන්ම ලයිසියම් නිර්මාතෘ මොහාන් ලාල් ග්‍රේරෝ, මහතා මෙන්ම පාසලේ අධ්‍යක්ෂිකා දිල්මි රත්නායක, විදුහල්පතිනි ශහිලා මනෝරත්න යන මහත්ම මහත්මීන්ට මේ සියල්ල වෙනුවෙන් ප්‍රශංසාව හිමි විය යුතු බවත්ය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කොතෙක් කාර්යබහුල වුවද පාසල් සිසුන්ගේ නව නිර්මාණ නැරඹීමේ නොතිත් ආශාවෙන් යුතුව පන්ති කාමරයෙන් කාමරයට යමින් එක් එක් නිර්මාණය විමසා බලමින් සිටි ලයිසියම් නිර්මාතෘ මොහොන් ලාල් ග්‍රේරෝ මහතා හමු වූයෙන් අප ඒ මහතාගෙන් ප්‍රදර්ශනය සම්බන්ධව ඔහුගේ අදහස විමසා සිටියෙමු. ඔහු පවසා සිටියේ අධ්‍යාපනය ලබා දීමේදී දරුවන්ට විෂය කරුණු පමණක් නොව ප්‍රායෝගික දැනුමද ලබා දීම අත්‍යවශ්‍ය බවයි. දරුවන් නිරීක්ෂණයට සහ ඒ ඔස්සේ සිතීමට පෙලඹවිය යුතු බවත් ඒ ඔස්සේ නිර්මාණකරණයට දරුවන්ට මග පෙන්විය යුතු බවත් එය ගුරුවරුන්ගේ වගකීමක් බවත් අමත්‍යවරයා පැහැදිලි කර සිටියේය. දරුවන්ගේ වැඩෙන මනස සමග කටයුතු කළ යුත්තේ ඉතා සංයමයකින් බව පැවසූ අමාත්‍යවරයා තීරණ ගැනීමට හැකියාව ඇති නිදහස්ව සිතිය හැකි පරපුරක් බිහි කළ යුතු බවත් පෙන්වා දුන්නේය. දරුවන්ට බාහිර ක්‍රියාකාරකම් ලබා දීම තුළින් න්‍යායන් පමණක් හදාරා සුදුසුකම් එකතු කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදයෙන් පියවරක් ඉදිරියට තැබිය යුතු බවත් මේ ප්‍රදර්ශනය එවැනි පියවරක් ලෙස හඳුනා ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මේ ප්‍රදර්ශනයේ විශේෂත්වයක් ලෙස සූර්ය ශක්තියෙන් බලය නිපදවා ගනිමින් ක්‍රියාත්මක වන නිර්මාණ රාශියක් දක්නට ලැබීම සඳහන් කළ හැකිය. සූර්ය බලයෙන් ජංගම දුරකථන බැටරි බල ගැන්වීම, මදුරුවන් එළවීමට යොදා ගතහැකි උපකරණ, සූර්ය බලයෙන් ආහාර පිසීමට හැකි උදුන්, පෝරණු, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන පංකා පමණක් නොව සුර්ය රශ්මියෙන් බලය ලබා ධාවනය වන මෝටර් රථයක්ද ප්‍රදර්ශන භාණ්ඩ අතර විය. නරඹන්නන්ට පැහැදිලිව අවධානය යොමු කළ හැකි වන පරිදි මේ නිර්මාණ එක් අංශයක් ලෙස ඉදිරිපත් කර තිබීමද ප්‍රදර්ශනයේ විශේෂත්වයක් ලෙස සඳහන් කළ යුතුය.
පාසලේ විදුහල්පතිනිය ශහිලා මනෝරත්න මහත්මිය අප සමග අදහස් දක්වමින් පවසා සිටියේ ආචාර්ය ලක්ෂ්මන් නෝනිස් මහතා යටතේ විද්‍යාව විෂයය වඩාත් නූතන සහ ප්‍රායෝගික ලෙස ඉගැන්වීම ඇරඹීමෙන් පසු මේ ප්‍රදර්ශනය දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. මේ ප්‍රදර්ශනයේ අරමුණ එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ගැටලු දෙස වෙනස් ඇසකින් බැලීමට දරුවන් හුරු කිරීම බවත් ඒවාට විසඳුම් සොයා ගැනීමට සහ විකල්ප අවස්ථා කරා යෑමට මනස මෙහෙයවා කටයුතු කිරීමට මේ ඔස්සේ දරුවන් හැකියාව ලබන බවත් විදුහල්පතිනිය පවසා සිටියාය.
ප්‍රදර්ශනයේ විශේෂ රීතියක් වූයේ දැනට භාවිතයේ පවතින භාණ්ඩයක් වුවද යළි නිර්මාණය කිරීම හෝ වැඩි දියුණු කිරීමය. ඒ ඔස්සේ දරුවන්ට එදිනෙදා ජීවිතයේ ගැටලුවලදී වඩාත් ප්‍රායෝගික විසඳුම් කරා යෑමට ශක්තිය ලැබෙන බව ලයිසියම් ගුරු භවතුන්ගේ විශ්වාසය විය.
තම නිර්මාණය ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස තිබියදී ශාලාව පුරා ඇවිදිමින් සෙසු නිර්මාණ දෙස විචාරක්ෂියෙන් බලමින් සිටි පාසල් දරුවන් පෙන්නුම් කර සිටියේ නිර්මාණකරණය කෙරෙහි ඔවුන් පොලඹවාලන නොනිමෙන කුතුහලයයි.
විෂය කරුණු සහ ප්‍රායෝගිකත්වය එක් වුණු පාසල් බිමක තෘප්තිමත් සිසු පරපුරක් බිහි වීම නැගෙනහිරින් ඉර පායන්නා සේම ඒකාන්ත සිදුවීමකි. වත්තල ලයිසියම් විදු බිමද එසේම වන ජයබිමක් බව ඔවුන්ගේ විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයේ සාර්ථකත්වය දුටු අපට හැඟී ගියේය.
ඡායාරූප - චින්තක කුමාරසිංහ