මොහිදීන්ගෙ ‘මොනර කුකුළා’ | Page 4 | සිළුමිණ

මොහිදීන්ගෙ ‘මොනර කුකුළා’

 මොහිදීන්ගෙ කුකුළා ගම පුරා ප්‍රසිද්ධ වූයේ එක් රැයකින් නොවේ. ඌ කුකුළෙක් ද නැතිනම් මොනරෙක් ද එසේත් නැතිනම් කිසියම් අමුතු සමාගමක් නිසා උපන් මොනර කුකුළෙක් දැයි බොහෝ දෙනා තුළ කුහුලක් තිබිණ. උගේ හිස මත වූ තද රතු පැහැති ඔටුන්නක් බඳු විශාල කරමලය නොවන්නට මේ නම් කුකුළෙක් යැයි ඔප්පු කිරීමට කිසිම සාක්ෂියක් නොවීය. සෑම සන්ධ්‍යාවකම දර කොටය මත ඉඳගන්නා මොහිදින් රාස්සිගේ රන්වන් අව් රශ්මිය මැද උදාරම් ගමනින් ඔබමොබ යන කුකුළු නාම්බාගේ සෑම ඉරියව් විලාශයක්ම තම දෙනෙතට හසුකැර ගත්තේ මේ දැන් දකින දසුනක් පරිද්දෙනි. උගේ තද නිල් පැහැති දිගු තර පියාපත් වානේ ලෝහයෙන් සැදුණාක් මෙන් සවිමත් ය. දිගු මහත ගෙල පෙදෙසේ සිට ඇරඹෙන ගිනිකණ වැටෙන ගෝමර වයිරම් රටාව ගින්දර පැහැතිව දිලිසුණේය. සැවැන්දරා පඳුරක් බඳු උගේ විශාල පෙඳය විටෙක සිනහ උපදවන සුලු විය. දිනක් කුකුළා තම ඔඩොක්කුවට ගත් මොහිදීන් උගේ උස සහ දිග පළල මැන්නේය. මේ තරම් විශාල යෝධ කුකුළකු තවත් අන් තැනෙක සිටී දැයි තමා තුළම සැක උපදවා ගත් ඔහු තම සුරතලා පිළිබඳව පුදුමයට සහ බියට පත්විය. ඌ මෙතෙක් කිසි දිනෙක හඬ ලා නැති බවද හදිසියේ සිහිපත් වූයෙන් ඔහු කිසිවක් සිතාගත නොහැකිව ත්‍රස්ත වී ගියේය.

දර මඩුවක් ද කුකුළු කොටුවක් ද ගොටුකොළ සහ මඥ්ඥොක්කා වගාවක් ද සහිත මොහිදීන්ගේ ගෙවත්තේ ‘ඕලෝන්’ ලෙස හැඳින්වූ තුරඟ තරග සඳහා ඔට්ටු ලබා ගන්නා විශාල කාර්යාලයක් දැවයෙන් ඉදිකැර තිබු අතර රාත්‍රියට පමණක් එය ඔහුගේ නිවෙස බවට පත්විය.

දිවා කාලයේදී දැති කියතෙන් රබර් දැව කොට ගානට මිම්මට කපා ගන්නා ඔහු ඒවා දිගු පොරොවෙන් පළු ගසාගෙන අවසානයට කුඩා අත් පොරොවෙන් ඒවා සිහින් දර කැබලි බවට පත්කොට පිළිවෙළකට අඩුක් කෙළේය. ඒ අතරතුර ඕලෝන් එකක් දැමීමට කිසිවකු පැමිණියහොත් තම පිටි අත්ලෙන් නළලේ සහ නග්න පපුවේ රැඳී දහදිය පිස දමන හෙතෙම සරම් කොටයෙන් දෑත පිසලා ඉතා මනරම් කැපිටල් ඉංග්‍රිසි අකුරින් රේස් තුණ්ඩුව ලීවේය. අනතුරුව මුදල් ලාච්චුවට දමන මොහිදීන් ගනුදෙනුකරුවාට ජයපතා තම පුළුල් මුව විවර කොට ළෙංගතු සිනහ නගත්දී ඔහුගේ මුවේ දකුණු කෙළවරට වන්නට වූ රත්තරං දත දිස්න දුන්නේය. ' රත්තරං දතක් දාපු කටකින් කිව්ව දෙයක් වරදින්නෑ ලොකු මහත්තයා ' යැයි ඔහු තම පපුව අත ගාමින් කියත්දී ඔහුගේ ළය මඩල හරහා වූ ' අම්මා බුදුවේවා ' යනුවෙන් කොටා තිබු නිල් පැහැති පච්ච සලකුණ ඕනෑම කෙනෙකුගේ නෙත ගැටෙන්නේ නිරායාසයෙනි. බිත්තර සහ ගොටුකොළ විකිණීමෙන් ලැබෙන සියලු මුදල් කැටයකට දැමූ ඔහු ඒවා වියදමට නො ගත්තේය. ගමේ බක්මහ උත්සවයේ මුල් පෙළේ සංවිධායකයකු වූ ඔහු තම කැටය කඩා එහි වූ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට තෑගි කෙළේය. වෙසක් නාට්‍යය සඳහා වේදිකාව ඉදිකිරීමට වළවල් හාරා පොල් කොට සිටුවා ඒ මත ලෑලි අතුරන මොහිදීන් සවස් කාලයේ කඩු ෆයිට් පුහුණුවට ගියේය. ' ලොකු මහත්තයා මේ පාරත් මට ඉතිං අජාසත්තම තමා නේ ..' යැයි කියන ඔහු ' කමක් නෑ දවසක මටත් වීරයගේ පාට් එක ලැබෙන්නැතෑ ' යි සිනාසෙමින් කියයි.

සෑම සිකුරාදාම සුදු අත් දිග කමිසයෙන් සහ මඩකලපු සරමකින් සැරසෙන ඔහු සුවඳ තැවරූ කපු පුළුං ගුළියක් කනේ රුවාගෙන කොහේදෝ ගිය අතර හිරු බසින්නට ආසන්න වෙත්දී බර පොදියක් හිස තබාගෙන පෙරළා පැමිණියේය. මෙසේ කාලය ගතවෙත්දී මහ ඡන්දයක් ප්‍රකාශයට පත්විය. දර පැටවූ අත් කරත්තය තල්ලු කැරගෙන ගම පුරා සැරිසරා දර විකුණූ කොලු ගැටයකු මොහිදීන්ගේ සහයට සිටි අතර ඔහු සවස් යාමයේ දර මඩුව වෙත පෙරළා පැමිණෙන්නේ අලුත්ම අලුත් කටකතා පොදියක් හිසමත පටවාගෙනය. කොලුවා ඒවා රසකර කියත්දී මොහිදීන් රත්තරං දත පෙන්වා කොක් හඬලා සිනාසුණේය. දිනක් දර විකුණා ගනුදෙනු පියවීම සඳහා පැමිණි අත් උදව්කාරයා මොහිදීන් වෙතින් අමුතුම ප්‍රශ්නයක් ඇසුවේය.

'මොහිදීන් අයියා කවුද බං කොමිනිස්කාරයා කියන්නෙ ?'

තම ගෝලයා දෙස උපහාසයෙන් මෙන් බැලු මොහිදීන් කිසිවක් නොකියා මඳක් නිහඬව සිට පසුව 'උඹට ඒවා තේරෙන්නෑ බං..' යැයි පිළිතුරු දුන්නේය.

'හරි එහෙනං මේකට උත්තර දීහංකෝ .. උඹ කොමිනිස්කාරයෙක් ය කියලා මේ ගමේ එවුං කියන්නෙ මොකද ?'

'මොකාද බං එහෙම කියන්නෙ .. මං මේකේ මොන දේශපාලනයක් කරනවටද ඔවුං ඔහොම කියන්නේ..'

'ඉංගිරිසි බාසාවත් හොඳට දැනගෙන ඉන්නැත්දී දර මඩුවකට වෙලා ඔහොම හොර ගල් අල්ලන්නේ කොමිනිස්කාරයෝ කියලයි උං කියන්නෙ ..'

ඊට පිළිතුරු ලෙස කිසිත් නොකී මොහිදීන් 'මේ උඹ දැං රෑ වෙන්න කලියෙං ගෙදර පලයං ..' යි කියා ගෝලයා පිටත් කොට යවා මහ හඬින් තනිවම සිනාසුණ අතර කොලුවා කී ආරංචිය සිහිපත්වන වාරයක් පාසාම මැඩගත නොහැකි සිනාවෙන් මිරිකුණේය.

මැතිවරණය දා උදෙන්ම ගොස් ඡන්දය දුන් මොහිදීන් තම මඤඤොක්කා කොටුවේ වූ සියලු අල හාරා ගත්තේය. සවස් වන විට විශාල කල්දේරමක බහා තම්බා ගත් මඤඤොක්කා සහ කොච්චි සම්බෝලය අත් කරත්තයේ පටවා ගත් ඔහු පොලිස් බැරැක්කය වෙත ගමන් කෙළේ ඡන්ද ප්‍රතිඵල ඇසීමට බොහෝ දෙනකු එහි රැස්වන බව දන්නා හෙයිනි.

මුළු ගමටම තිබුණේ වෑර්ලස් රේඩියෝ දෙකක් පමණි. එයින් කාටත් පොදු තැනක් වූයේ පොලිස් බැරැක්කයේ වූ රේඩියෝවයි. නිල් කොළ රතු පක්ෂ පාට බේදයක් නැතිව සියලු දෙනා එහි රැස් වූ අතර ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන රාත්‍රිය සියලු දෙනාටම සැණකෙළි සමයක් විය. කෑම බීම රස කතා ක්ෂණික නාට්‍ය ගී සින්දු සහ පදම ඉක්ම වූ ඩාන්ස් අතර මැද ජන්ද ප්‍රතිඵලයක් නිකුත් වු සෑම විටෙකම ජයවේවා යි සියලු දෙනා හුරේ දැම්මෝය. කවුද දිනුවේ කවුද පැරදුණේ යන්න කාටවත් වැදගත් නොවීය. ඒ රාත්‍රිය එසේ ගතවෙත්දී අලුයම් කාලයේදී මොහිදීන්ගේ මොනර කුකුළා ජීවිතයේ ප්‍රථම සහ අවසන් වරට ගම දෙවනත් කරවමින් හැඩලු නමුත් එය කිසිවකුට ඇසුණේ නැත.

එදින රාත්‍රියේ මොහිදීන් සතුව තිබූ සියල්ල අංශු මාත්‍රයක් නැතිව දැවී අළු වී ගොස් තිබිණ. තවමත් දුම් රොටු නැඟෙන අළු මතින් කළුවන් සිල්ලර කාසි මතු වී පෙනිණ. ඒ ඔහු විසින් සිංහල අලුත් අවුරුද්දට එකතු කරන ලද කාසි කැටයේ නටබුන්් ය. ඒ අතරින් ඔබ මොබ යමින් තමා සතු වටිනාම වස්තුව සෙවූ මොහිදීන් අවසානයේ එය සොයා ගත්තේය.

දෑත පිළිස්සෙන වේදනාව පරයමින් ඔහු දෝතට ගත්තේ පණ පිටින් පිලිස්සෙමින් දිවි බේරා ගැනීමට ගෙවත්ත පුරා දුව ගිය මොනර කුකුළාගේ ඉතිරිව තිබූ හිස කොටසය. ඒ දෙස මොහොතක් බලා සිටි මොහිදීන් සුරතලාගේ සිරුරේ තවමත් ගිනි ගන්නා ශේෂයන් තම ළැමදට තුරුලු කැර ගත්තේය. ඒ මොහොතේ ඔහුගේ පපුව පුරා වූ 'අම්මා බුදු වේවා' පච්චය හෝ රත්තරං දත හෝ කිසිවකු දුටුවේ නැත.

'මං කොමිනිස්කාරයෙක් වෙන්න පුළුවන් ලොකු මහත්තයා ඒත් මේ කුකුළට මොන දේශපාලනයක් ද ?' 

Comments