වස­වත් මරු කවු­රුද? | සිළුමිණ

වස­වත් මරු කවු­රුද?

‘වසවර්ති’ මාරයා පිළිබඳ බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන කථා ප්‍රවෘත්ති විවිධය. මේ කතා ප්‍රවෘත්ති අනුව සලකන විට මාරයා ආරම්භයේ සිටම බුදුන් වහන්සේට බාධා පමුණුවා තිබේ. ලෞකික ආශ‍ාවෙහි නිර්මාතෘවරයා වශයෙන් සැලකිය හැකි මාරයා සර්වඥතා ඥානය ළඟා කරගැනීම පිණිස සිද්ධාර්ථ ගෞතමයන් දැරූ හැම තැතකටම අකුල් හෙළා ඇත.

මහාභිනිෂ්ක්‍රමණය වශයෙන් බෞද්ධ පොතපතෙහි දැක්වෙන සිද්ධාර්ථයන් සත්‍යය සොයා ගිහි ගෙයින් නික්මුණු අනුවේදනීය අවස්ථ‍ාවෙහි එතුමා හමුවට ආ මාරයා සත්දිනකින් හිමිවන චක්‍රවර්ති රාජ්‍යය පතා එම ගමන අත්හැර දමන ලෙස ඉල්ලා සිටියේ ය. ඔබ කවුරුන්දැයි මාරයාගෙන් විමසු සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඔහු වසවර්ති මාරයා යැයි පැවසු විට “මම ඔබ ගැන අසා ඇත්තෙමි. ඔබේ බලාපොරොත්තුව කුමක්ද යන වග ද මම දනිමි.

ඔබේ අවවාදය කුමක් වුවත් මම තෝරාගත් මාර්ගයෙහි යෑමෙන් මම නොවැළකෙමි” යි පැවසු බව බුද්ධ චරිතයෙහි සඳහන් ය. මාරයාගේ ආයාචනය මේ අන්දමින් ප්‍රතික්ෂේප වු විට තර්ජනයෙන් හෝ සිදුහත් කුමරුන් බිය ගැන්වීමට ඉටාගත් මාරයා තමන්ගේ ඉල්ලීම නොපිළිගෙන ගිහිගෙයින් වෙන්ව ගිය හොත් ඉන් පසු ලෞකික වස්තු විෂයෙහි අල්ප මාත්‍ර හෝ ඇල්මක්ඇති වු විට කෙසේ හෝ එතුමා විනාශයට පත් කරන බව මාරයා ප්‍රකාශ කර සිටියේ ය.

සර්වඥතා ඥානය ලබා ගැනීම සඳහා වු සිද්ධාර්ථ ගෞතමයාණන්ගේ පරිශ්‍රමය අසාර්ථක කරලීමට මාරයා අපොහොසත් වුවත්, අධෛර්යවත් වුවේ ඔහු‍ නොවේ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව උන්වහන්සේටත්, උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසටත්, තාඩන පීඩන කිරීමට මාරයා අපමණ ප්‍රයත්න දරා තිබේ.

මාරයා, සමන්ත බන්ධු, නමුචි, තණ්හා, අධිපති අත්තගූ යන නම්වලින් ද බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් කරනු ලබයි. ඔහුට තණ්හා, රති, රඟා යන දුවරු තිදෙනෙක් ද, විභ්‍රම , හර්ෂ, සතදර්ප යනුවෙන් හැඳින්වෙන පුත්තු තිදෙනෙක් ද සිටිති. මාරයා මහා පිරිස් බල ඇතියෙකි. බෝමැඬදී බුදුන් වහන්සේ පරාජයට පත් කිරීම පිණිස දසබිම්බරක් මාර සෙනඟ පැමිණි බව අපේ බෞද්ධ පොතපත්හි සඳහන් ය. ටිබෙට් බෞද්ධ ග්‍රන්ථයන්ට අනුව, මාරයාගේ සේනාධිනායකයා හැඳින්වෙන්නේ ‘සර්වවාහ’ යන නමිනි. කාමය, අරතිය, පිපාසාව, තෘෂ්ණාව, ථිනමිද්ධය, භය, සැකය, ගුණමකුකම, දැඩිබව, ලාභය, ප්‍රශංසාව, සත්කාරය, නොමඟින් ලැබු යසස, තමා උසස් කොට සැලකීම හා අනුන් හෙළා දැකීම යන කෙළෙස් ධර්ම මාරයාගේ සේනාව බව බුදුන් වහන්සේ විසින් දේශනා කර තිබේ.

ලෞකික ආශාවෙහි නිර්මාතෘ වු මාරයා ලෝකයේ බුදුවරයන් වහන්සේලාගේ පහළ වීම නොයිවසයි. ඒ ලෝකය පිළිබඳව මායාවෙන් විනර්මුක්ත යථා තත්ත්වය උන්වහන්සේලා විසින් දේශනා කරන හෙයිනි. මාරයාගේ බලය තහවුරු වීමට නම් ලෞකික ආශාවෙහි බැඳුණු පිරිස් ‍ලෝකයෙහි වැඩි විය යුතු ය. මෙහි ලා බුදුවරයන්ගේ පහළ වීම. බලවත් බාධකයකි. මාර සංයුත්තයෙහි සඳහන් විස්තර අනුව බුදුන් වහන්සේට බාධා කරනු වස්, මාරයා විසි වතාවක් උන්වහන්සේ හමුවට පැමිණ ඇත. එසේම භික්ෂුන් වහන්සේලාට බාධා කිරීම පිණිස මාරයා පස් වතාවක් උන්වහන්සේලා හමුවට පැමිණ තිබේ.

සම්මා සම්බුද්ධත්වයට පත් ශාන්තිනායකයාණන් වහන්සේ, අජපල් නුගරුක මුල සමවත් සුවයෙන් වැඩ වෙසෙද්දී උන්වහන්සේ තමාගේ ග්‍රහණයෙන් මිදී ඇති බව මාරයා විසින් පිළිගනු ලැබුවත්, උන්වහන්සේ පාපයට නම්මා ගැනීම සඳහා දරන අවසාන උත්සාහයක් වශයෙන් තමන්ගේ දුවරුන් වන තණ්හා, රති, රඟා නාටිකාංගනාවන්ගේ වේශයෙන් බුදුන්වහන්සේ හමුවට එවීමට මාරයා ක්‍රියා කළේය. මේ මාර දුවරුන් විසින් බුදුන්වහන්සේ තමන් වෙත නම්මා ගැනීම සඳහා ගත් ඉමහත් වෙහෙස බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයන්හි අතිශය විසිතුරු ලෙස විස්තර කර තිබේ. කෙසේ වෙතත් මාරයාගේ මෙම උත්සාහය ද අන් සෑම උත්සාහයක් මෙන්ම බුදුන්වහන්සේ හමුවෙහිදී අසාර්ථක විය.

වරක්, පංචාශාලා නුවර පිඬු සිඟා වැඩි බුදුන් වහන්සේට, පිඬු නොලැබීමට මාරයා විසින් උපක්‍රම යෙදීය. මාරාවේශ වු නුවර වැසියෝ පිඬු සිඟා වැඩි බුදුන්වහන්සේට දන් නුදුන්හ. දන් නොලබා ආපසු වඩින බුදුන් වහන්සේ හමුවට පැමිණි මාරයා උන්වහන්සේට සමච්චල් කරනු පිණිස යළිත් වරක් පිඬු සිඟා වඩින ලෙස අයැදීය. මාරයාගේ උපක්‍රමය දත් බුදුන් වහන්සේ, තමන් වහන්සේ ද ‘අාභස්සර’ දෙවිවරුන් මෙන් ප්‍රීතියම අනුභව කර පසු වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

යළිත් වරක්, බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායිකාව වු විශාඛා උපාසිකාව ඇතුළු පන්සියයක් ස්ත්‍රීහු බුදුන් වහන්සේගෙන් බණ අසමින් සිටියහ. මේ අවස්ථාවේදී ඔවුන්ට මාරයා ආවේශ විය. මාරාවේශ වු ස්ත්‍රීහු මහ හඬින් සිනාසීමටත්, අත්පොළසන් දීමටත් පටන් ගත්හ. ඒ මාරයාගේ වැඩක් බව දත් බුදුන්වහන්සේ තම බුද්ධ බලයෙන් ඝනාධකාරයක් මවාලුහ. ඉන් බියට පත් ස්ත්‍රීහු‍ නො‍බෝ වේලාවකින් පියවි සිහිය ලැබුහ. පසුව ආලෝකය මවා ඔවුන් ලජ්ජාවට පත් කළහ.

එක් රාත්‍රියක බුදුන්වහන්සේ වේළුවනාරාමයෙහි හුදෙකලාවම වැඩ සිටියහ. මේ බව දත් මාරයා උන්වහන්සේ බිය පත් කිරීම පිණිස භයානක සර්ප වේශ‍යක් මවාගෙන උන්වහන්සේ හමුවට ගියේය. එහෙත් පැමිණියේ මාරයා බව දත් බුදුන් වහන්සේ ආත්ම දමනයෙන් යුත්තව හුදකලාව වෙසෙන තැනැත්තෙකුට කිසිම භයානක දර්ශනයකින් බිය වීමට හේතුවක් නොමැති බවත්, සර්පයෙකු දෂ්ට කිරීම ඉවසා සිටිය හැකි බවත්, පවසා මාරයා සමච්චලයට ලක් කළහ.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන්ට බාධා කිරීමද මාරයා සිරිතක් කො‍ට‍ෙගන තිබුණේය. අනවශ්‍ය ප්‍රශ්න ඇසීම, විවිධ වේශ මවාගෙන පැමිණිම, බණ අසන පිරිසගේ සිත් වෙනස් අතකට යොමු කරවීම. මේ සඳහා මාරයා යොදාගත් උපක්‍රම වේ.

වරක් බුදුන් වහන්සේ ජේතවනාරාම විහාරස්ථානයෙහි විශාල පිරිසකට ධර්ම දේශනා කරමින් සිටියදී එතැනට පැමිණි මාරයා උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේය. “ඔබ වහන්සේට විරුද්ධවාදීහු එමට සිටිති. එසේ වු ඔබ වහන්සේ සිංහයෙකු මෙන් කුමට නාද කරන්නෙහිද? ඔබ වහන්සේ තවම විරුද්ධවාදීන් ජයගෙන නැත. එසේ නම්, ඔබ කෙසේ නම් ජයග්‍රාහකයෙකු යයි කියන්නෙහිද?” මෙයට පිළිතුරු දුන් බුදුන් වහන්සේ “නිර්භීත තත්වයට පත් තැනැත්තෝ මෙසේ නාද කරන්නේ ය. දස බලධාරී වු තථාගතයන් වහන්සේලා අත්‍යර්ථයෙන්ම ලෝක පාලකයෝ වෙති” යි ප්‍රකාශ කළහ.

තවත් අවස්ථාවක, බුදුන් වහන්සේ සැවැත් නුවර භික්ෂු පිරිසකට. ‘නිර්වාණය’ පිළිබඳව බණක් දේශනා කරමින් සිටියදී එතනට ගොවියකුගේ වේශයෙන් පැමිණි මාරයා තමාගේ හරක් දුටුවේ දැයි බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කිරීමෙන් ධර්ම දේශනයට බාධා කර සිටියේය. එකෙණෙහිම භික්ෂුන් වහන්සේලාගේ සිත් ද අන් අතකට යොමු වුවේය.

සැවැත් නුවර වනපෙතක හු‍ෙදකලාව භාවනානුයෝගීව සිටි කිසාගෝතමි හමුවට ගිය මාරයා ඇය ඉන් වළක්වා කම් සැපතට යොමු කිරීමට ප්‍රයත්න දැරූ බව භික්ෂුණී සංයුක්තයෙහි එන කථා ප්‍රවෘත්තියක දැක්වේ. මෙසේම ආලවිකා, සෝමා, විජය, උත්පලවන්නා, කාල උපකාල, සිසු උපකාල, සේල වජිරා යන භික්ෂුණීන් හමුවට ද ගිය මාරයා විමුක්ති සුවය පතා එම භික්ෂුණීන් වහන්සේලා දැරූ උත්සාහයට බාධා පමුණුවන ලද බව භික්ෂුණී සංයුත්තයෙහි සඳහන් කථා ප්‍රවෘත්තිවලින් පැහැදිලි වේ.

බුදුන්වහන්සේ පිරිනිවන් පෑමට තෙමසකට පෙර උන්වහන්සේ වෙත පැමිණි මාරයා මෙසේ කියා සිටි බව අංගුත්තර නිකායෙහි සඳහන් වෙයි “සම්බුද්ධයන් වහන්ස ඔබ වහන්සේට මෙලොවින් චුත වීමට කාලය පැමිණ තිබේ. ඔබ වහන්සේගේ ශ්‍රාවක සමුහයා මනාව පුහුණු කරවන තුරුද, මනාව හික්මවන තුරුද, නිර්භීත වන තුරුද, ධර්මය ඉගැන්වීමට, දේශනා කිරීමට හා සෙස්සන්ගේ ධර්ම බිද දැමීමට සමත් වන තුරුද ඔබවහන්සේ පරිනිර්වාණයට පත් නොවන බව කීවාහුය.

ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ දැන් මේ සියලු දෙයම කිරීමෙහි සමත්හුය. එබැවින් ඔබ වහන්සේ පිරිනිවන් පෑ යුතු කාලය එළඹ තිබේ.” මෙයට පිළිතුරු දුන් බුදුන් වහන්සේ “මාරයා, ඉක්මන් නොවනු! තව තෙමසක් ඇවෑමෙන් තථාගතයාණන් වහන්සේ‍ෙග් පිරිනිර්වාණය සිදුවන්නේය” යි වාදාළහ.

“මාරයා පිළිබඳ බෞද්ධ සංකල්පය වු කලී ධර්මයට ප්‍රවේශ වීමක් විනා ධර්මයෙහිම කොටසක් නොවේ” යයි මාර සංකල්පය පිළිබඳව “Buddhism and Mythology of evil” (බුද්ධාගම සහ මාර පුරාණය) නමැති පොතෙහි සිය අදහස් දක්වන ආචාර්ය ටී. ඕ. ලිංග් සඳහන් කරයි.

 

Comments