බෝධි­චිත්තා මෙහෙ­ණිය සමඟ ‘සසර කතර තර­ණය කර, | සිළුමිණ

බෝධි­චිත්තා මෙහෙ­ණිය සමඟ ‘සසර කතර තර­ණය කර,

බෞද්ධයාගේ ඒකායන අපේක්ෂාව නිර්වාණාවබෝධය ලබා ගැනීම ය. ඒ සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද? ජීවිතාවබෝධයෙන් යුතුව ක්‍රියා කරමින් සසර කතරින් එතෙර වන්නට ගත යුතු පියවර මොනවාද? මෙහෙණින් වහන්සේ නමක් සමඟ දහම් කරුණු සාකච්ඡා කරමින්, එමෙන් ම උන්වහන්සේගේ ජීවිත කතාව ද සංක්ෂිප්තව දක්වමින් රචිත මෙරට පළවන පළමු කෘතිය ලෙස ද සසර කතර තරණය කර, “නිවී සනහාලන සදහම් යසුරෙන් අමාදම් දිය දෝතක්“ කෘතිය හැඳින්විය හැකි ය.

කුඩා කල සිටම සසර පිළිබඳ මනා අවබෝධයකින් ජීවත් වූ අමානි ගුණවර්ධන නමැති ඇය, දස අවුරුදු වියේ සිට ජයසූරිය ගුරුතුමාගෙන් සහ මුරුගේසු සාමිගෙන් භාවනාව ප්‍රගුණ කළා ය. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අපොස (සාපෙළ ) දක්වා අද්‍යාපනය හැදෑරූ ඇය, උසස් පෙළ සඳහා දේවි විද්‍යාලයෙන් ජීව විද්‍යාව හදාරා, උසස් ප්‍රතිඵල ලැබුවා ය. පවුලේ එක ම දරුවා වූ ඇය, අනතුරුව ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි ලබා, විද්‍යාඥවරියක ලෙස කටයුතු කළා ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදී, තායිලන්තය, බුරුමය, මැලේසියාව වැනි රටවලට යමින් බවුන් වැඩීම නිරතුරුවම ප්‍රගුණ කළා ය. අජාන් බ්‍රහ්මවංශ හිමි හමුවට ගොස්, දහම් අසා බවුන් වැඩුවා ය. අවසන ආචාර්ය මඩවල පුණ්ණජි හිමියන් ගුරුතන්හි තබා, ආචාර්ය කුසුමා මෙහෙණින් වහන්සේගේ උපාධ්‍යාත්වයෙන් බුද්ධගයාවේදී පැවිදි දිවියට එළැඹියා ය.

අද වනවිට මෙරට පමණක් නොව, ලෝ වැසි දනන්ට සසර කතරින් එතෙර වන්නට අවැසි මඟ කුමක්දැයි පහදා දෙමින්, තමන් වහන්සේ ද සංසාරයෙන් එතෙර වීමට කටයුතු කරමින් සිටිති. සිංහල සහ ඉංග්‍රීසි බසින් දහම් කරුණු දේශනා කිරීමට චතුර බවක් දක්වන උන්වහන්සේ, බුදු දහම දේශනා කරන්නේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් ද දක්වමින් වීම විශේෂත්වයකි. මිනුවන්ගොඩ බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ සමඟ දහම් කරුණු සාකච්ඡා කරමින් රචිත සසර කතර තරණය කර කෘතිය, ජීවිතයේ අරුත නිසි ලෙස කියාදෙන අපූර්ව කෘතියක් ලෙස ද හැඳින්විය හැකි ය.

“යම්කිසි පුද්ගලයකු කේන්තිය, වෛරය, ක්‍රෝධය වැනි ආවේගවලින් පෙළෙන විට, ඔවුන්ගේ ලේ ධාතුව විස වේ. එයට හේතුව, මෙවන් අවස්ථාවලදී, ලේ ධාතුවට ශ්‍රාවය වන රසායනික ද්‍රව්‍ය, හෝමෝන ඉතා විෂ බවකින් යුක්ත වන නිසා ය. මේ නිසා මානසික රෝගවලට අමතරව, ශාරීරික රෝගවලට පවා ලක් වේ. ඒ නිසා ම, බොහෝ දුක් පීඩා විඳීමට සිදු වේ. මෙවැනි චිත්තාවේග සහ පිළිකා වැලඳීම අතර ඉතා සමීප සම්බන්ධයක් ඇති බව, වර්තමානය වනවිට වෛද්‍ය විද්‍යාව මඟින් ඔප්පු කර තිබේ... යකඩය මල කෑමෙන් විනාශයට පත් වෙනවා මෙන්, මෙවැනි සිතිවිලි උත්පාදනය වූ විට, විනාශයට පත් වන්නේ තමා ම බව වටහා ගැනීම වැදගත් ය.” (පි.30)

‘වෛරය කෙබඳුද?‘ නමැති මාතෘකාව ඔස්සේ වෛරය, ක්‍රෝධය නිසා මිනිසාට තමා නොදැන, ශාරීරිකව අත්විඳින්නට වන අහිතකර ප්‍රතිඵල පිළිබඳ මේ කෘතිය තුළ විද්‍යාත්මකව විස්තර කර ඇත්තේ එසේ ය.

මෙබඳු අගනා දහම් කෘතියක් ලිවීමට පාදක වුණු කරුණු කාරණා මොනවාද යන්න පිළිබඳ, මේ කෘතියේ කතුවරියගෙන් විමසා සිටියෙමි.

“වර්තමාන සමාජයේ වෙසෙන මිනිසුන්, දහම නොදැන ජීවත් වීම නිසා, තමන්ට වගේම සමාජයට කරන විනාශය පිළිබඳ මේ සමාජයේම ජීවත් වන්නියක් ලෙස මම අත්දකිනවා. ඔවුන් බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ තමන් හැමදාම ජීවත් වෙනවා කියන හැඟීමනුයි. වයසින් මුහුකුරා ගිය අය පවා, සමාජයට කරන විනාශය අතිමහත්. මිනිසුන්ට කායිකව සහ මානසික පීඩා කරමින්, සුදුස්සාට සුදුසු තැන නොදී, අන්‍යයන්ගේ දියුණුවට අකුල් හෙළමින්, වෛර කරමින්, කටයුතු කරන නිසා, අවසානයේදී විනාශයට පත් වෙන්නේ ඔවුන්මයි. මේ කරගන්නා විනාශය දැකලා, එය බෞද්ධ ඇසකින් යුතුව සමාජයට දැනුම්වත් කිරීමේ වුවමනාවක් කලක පටන් මා සිත තුළ තිබුණා. ඒ සඳහා දහම් කරුණු සාකච්ඡා කිරීමට සුදුසු ම මෙහෙණින් වහන්සේ නමක් මට මුණගැසුණා. මම උන්වහන්සේ අඳුනා ගත්තේ මේ කෘතිය ප්‍රකාශයට පත් කළ සාහිත පොත් පියසේ නිර්මාතෘ චාමික මුණසිංහ මඟිනුයි. සමාජය යම් තරමකින් හෝ දැනුම්වත් කිරීමට, ඔවුන් කරන වැරැදිවල භයානකකම පිළිබඳ පහදා දීමට මෙහෙණින් වහන්සේ සමඟ කළ මේ දහම් කරුණු සාකච්ඡාව මඟින් හැකියාව ලැබුණා කියා මට සතුටක් තිබෙනවා.

වර්තමානය වනවිට අපේ සමාජයේ වෙසෙන බොහෝදෙනා, තමන්ට මුහුණපාන්නට වන විවිධ ප්‍රශ්න නිසා, අකාලයේ ජීවිතයට සමු දෙන අවස්ථා නිතර අහන්න දකින්න පුළුවන්. උගත් නුගත් බේදයක් නැහැ. ආවේගයක් ආවාම, තමන්ගෙන් හෝ අනුන්ගෙන් පළි ගැනීමේ අදහසින් ජීවිතය නැත් කර ගන්නා අවස්ථා අපට නිතර අහන්න දකින්න ලැබෙනවා. එහෙම කරන්නේ, ප්‍රශ්නවලට මුහුණ දෙන්න ශක්තියක් තමන්ට නැති නිසයි. සියදිවි නසා ගැනීමේ ආදීනව තමන් නොදන්නා නිසයි. බුදු දහමට අනුව, සියදිවි නසා ගැනීම නිසා දුගති උපතක් සමඟ දුක නැවත ඉපැදීමක් වෙන්නෙ. ඒ ආකාරයට මිය ගිය­ාම, මේ තරම්වත් හොඳ මනුෂ්‍ය භවයක් නොලැබෙන බව දහමේ සඳහන්. ඒ පිළිබඳත් මෙහි කතා කෙරෙනවා.

සැබෑ බෞද්ධයාගේ නියම සියදිවි නසා ගැනීම කෙසේ විය යුතුද? වෛරය කෙබඳුද? මැරෙන මොහොතේ චිත්ත ශක්තියේ බලපෑම, පින්පෙත් හා වත් පිළිවෙත්, කාන්තාවට විමුක්තිය උදා වූ උතුම් භික්ෂුණී ශාසනය, දහමේ සඳහන් මාරයෝ , සියලු සැප අතැර මහණදම් පුරණ මෙහෙණින් වහන්සේ (මෙහෙණින් වහන්සේගේ ජීවිත කතාව), සසල සිත දැහැන්ගත කරවන නිසල අරණ නමැති මාතෘකා ඔස්සේ යමින් මේ කෘතියේ දහම් කරුණු පෙළගස්වා ඇත.

මේ කෘතිය මඟින් ජීවිතයේ යථාර්ථය පිළිබඳ කතා කෙරේ. ජීවිතය කියන්නේ කුමක්ද? ජීවත් වෙන්නේ ඇයි?

අපි මැරෙනතුරා ජීවත් වෙන්න ඕනෑ ඇයි? කියන දේ තේරුම් ගැනීමට මේ කෘතිය මඟින් මහඟු පිටිවහලක් ලැබේ. තම ජීවිතය සාර්ථක කර ගන්නට හිතන සැමට මේ කෘතිය අගනා දහම් පඬුරක් ලෙස හඳුන්වා දිය හැක්කේ ඒ නිසා ය.

“මරණය යනු අපේ ජීවිතයේ ම කොටසකි. මරණයට ඔබ බියක් දක්වන්නේ නම්, ජීවත් වීමට ද බිය විය යුතු ය. ජීවත් වීමට බියක් දැනේ නම්, උත්පත්තියට ද බිය විය යුතු ය. මෙලොව උපත ලැබූ සෑම සත්වයකුගේ ම ස්වභාවය කෙමෙන් කෙමෙන් මරණය කරා ගමන් කිරීම ය.” (පි.51)

උදේ සිට දහම් කරුණු අසන, ඇසෙන, මාධ්‍ය තුළ නිරතුරුවම ධර්ම කරුණු සාකච්ඡා කරන සමාජයකට, මේ කෘතිය වැදගත් වෙන්නේ කොහොමද? ලේඛිකාව ඊට පිළිතුරු දුන්නේ මෙසේ ය.

“ධර්මය කොපමණ ඇසුවත්, ධර්මයට ළැදි තැනැත්තාට එය ප්‍රමාණවත් නැහැ. ධර්මාවබෝධය ලබන්නට කැමැති බොහෝදෙනා නිරතුරුවම පොතපත කෙරෙහි ඇල්මක් දක්වනවා. හොඳ පොතපත හොයාගෙන යනවා. මේ කෘතියෙන් කතා කරන්නේ අප ගැනයි. අප හැදෙන්න ඕනෑ කොහොමද? කියන එක ගැනයි. එලොව සහ මෙලොව සුවපත් කරගෙන, මේ සසරෙන් එතෙර වන්න කටයුතු කරන්න ඕනෑ කොහොමද කියන එක ගැනයි.

මේ කෘතියේ මුල සිට අග දක්වාම කරුණු පෙළගස්වලා තියෙන්නේ එක්තරා පිළිවෙළකටයි. ඒ පිළිවෙළ ඇති කළෙත්, මේ අවබෝධය ක්‍රමානුකූලව ලබාදීම සඳහායි.

මේ කෘතිය ප්‍රකාශයට පත් කර තවම ගතවෙලා තියෙන්නෙ මාසයක් ව‍ගේ ඉතා ම කෙටි කාලයක්. මේ කාලය තුළ හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. ඒ මඟින් පැහැදිලි වෙන්නේ දහම් පොතපතට තිබෙන ඇල්ම ඉතාමත් ම ඉහළ බවයි. වර්තමානය වෙද්දි මෙරට ප්‍රකාශය වන බෞද්ධ ග්‍රන්ථ සඳහා හොඳ ඉල්ලුමක් තිබෙන බව ප්‍රකාහන ආයතන පවා පවසනවා“. ලේඛිකාව පවසන්නී ය.

භාවනාව මඟින් සිත දියුණු කර ගන්නේ කොහොමද? සංසාර සාගරයෙන් එතෙර වීමට භාවනාව යොදාගත හැක්කේ කෙසේද? යන්න පිළිබඳ මේ කෘතිය තුළ කතාබහට ලක්වූවානම්, එය ද මහත් පල වනු ඇත. එසේ ම, තරහා ඇතිවුණු විට, ශරීරයේ ඇතිවන තදවීම, චිත්තාවේග පිටකර ඉහිල් කරගත යුතු බව සඳහන් වුව ද, එම ඉහිල් කර ගැනීම පියවරෙන් පියවර කළ යුත්තේ කෙසේද? එහිදී ශාරීරිකව සිදුවන යහපත් වෙනස විද්‍යාත්මකව තව දුරටත් විස්තර කෙරුණා නම් හොඳ ය. එයට හේතුව, වර්තමාන ලෝකය තුළ ජීවත් වනවිට මෙවැනි අවස්තාවලට ගොදුරු වන අප සැමට එමඟින් මහඟු පල ලබා ලැනීමට හැකිවන නිසාවෙනි. කෙසේ වුව ද , සමාජයේ අවැසියාව තේරුම් ගනිමින්, යහපත් සමාජයක් බිහි කිරීමට කටයුතු කළ යුතතේ කෙසේද යන්න මේ කෘතිය මඟින් ඉතාමත් ම සරලව, කාටත් තේරුම් ගත හැකි පරිදි ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය ය.

 

Comments