සිඩ්නි නුවර ආලෝ­ක­යෙන් විචි­ත්‍ර­වත් කරන අපූරු උත්ස­වය VIVID | සිළුමිණ

සිඩ්නි නුවර ආලෝ­ක­යෙන් විචි­ත්‍ර­වත් කරන අපූරු උත්ස­වය VIVID

අද ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී තෙමඟුල සමරන වෙසක් දිනයයි. මෙම වෙසක් සතියේ ලංකාවේ බොහෝමයක් ස්ථාන ආලෝක රටාවන්ගෙන් පිරී ඉතිරී යනවා. බුදු රජාණන්වහන්සේගේ රැස් වළල්ලෙහි තිබෙනා වර්ණ නියෝජනය කරන වෙසක් කූඩු, තොරණ හා විදුලි බුබුළු රටා වලින් වෙසක් මංගල්‍යය ආමිස පූජාවෙන් සරසන්නට අපේ බෞද්ධ ජනතාව පමණක් නොවෙයි ශ්‍රී ලංකාවාසී සැවොම එක්වන්නේ එක ලෙසින්. අපේ රටේ මේ ලෙසින් වෙසක් උත්සව සැමරීම බොහෝ කාලයක සිට කරගෙන එනු ලබන අතර ලෝකයේ අනිකුත් රටවල් වලද විවිධාකාර වූ ආලෝක උත්සවයන් මෑත අතීතයේ සිට දකින්නට ලැබෙනවා. එවැනි උත්සවයක් වන සිඩ්නි හි Vivid උත්සවය වෙතයි මෙවර අතැඹුලෙන් ඔබව ගෙනයන්නේ.

විවිඩ් යන වචනයේ අරුත ‘විචිත්‍රවත්’ යන්නයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය විචිත්‍රවත් කරනා මෙම උත්සවය මෙම වසරේ මැයි මස 25දා සිට ජූනි මස 16 දක්වා පැවැත්වෙන්නේ 9 වැනි වරටයි. මෙය ආලෝක සැණකෙළියක් පමණක්ම නොවෙයි. දේශීය විදේශීය ප්‍රසිද්ධ ගායක ගායිකාවන් මෙයට සහභාගි වන අතර දේශන, විවාද හා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මගින් අදහස් බෙදාහදා ගැනීමත් මෙහිදී සිදුවනවා. මේ සඳහාද දෙස් විදෙස් විද්වතුන් හා නිර්මාණශීලී අදහස් දරන්නන් රැසක් සහභාගි වනවා. ඕස්ට්‍රේලියානු ශීත කාලයේ පැවැත්වෙන මෙම උත්සවය ඉතා කෙටි කලකින් ජනප්‍රිය වී තිබෙන අතර මෙවර උත්සවය සඳහාද පසුගිය වසර වල මෙන් මිලියන 2.5ක පමණ නරඹන්නන් පිරිසක් අපේක්ෂා කරනවා. මෙමඟින් සිඩ්නි නගරයට ලැබෙන ආදායම ඩොලර් මිලියන 50කට අධිකයි.

සිඩ්නි නගරය කියූ පමණින්ම එකවරම සිහිවන්නේ සිඩ්නි ඔපෙරා මන්දිරයයි. මේ උත්සවයේද වඩාත්ම ආකර්ශනීය ස්ථානය වන්නේ සිඩ්නි ඔපෙරා මන්දිරයයි. ඔපෙරා මන්දිරය තුළ පැවැත්වෙන බැලේ සංදර්ශන, ඇමෙරිකානු රැප් ගායකයෙකු වන ‘Ice Cube’ හා අනෙකුත් ගායක ගායිකාවන්ගේ ප්‍රසංග හැරුණු විට ජොනතන් සවාඩා නම් ඕස්ට්‍රේලියානු චිත්‍ර ශිල්පියකු විසින් ඔපෙරා මන්දිරයේ පිටත ඩිජිටල් චිත්‍ර වලින් අලෝකවත් කරන්නේ ඕස්ට්‍රේලියානු තුරුලතා තේමාව කරගෙනයි. ඔපෙරා මන්දිරයෙන් පසු වඩාත්ම ආකර්ෂණය හිමිවන්නේ විසිතුරු වර්ණ වලින් හැඩවෙන වරාය පාලම වෙතයි. මෙවැනි විශාල ගොඩනැගිලි රැසක්ම විවිධ තේමාවන් ඔස්සේ අලෝක රටාවන්ගෙන් හැඩ වෙන අතර ඊට අමතරව නගරය පුරාම කුඩා කුඩා විචිත්‍රවත් නිර්මාණ රැසක්ම දැකිය හැකියි. මෙම නිර්මාණය වලින් බොහෝමයක් නරඹනවාට අමතරව ක්‍රියාකාරීව සහභාගි විය හැකි අයුරින් නිර්මාණය කරනු ලබන අතර කොරල් පර සුරැකීම වැනි ස්වභාවික පරිසරයට සම්බන්ධ තේමාවන් ඔස්සේ විනෝදාස්වාදය සමඟ පණිවිඩයක් ලබාදීම තමයි මෙහි අරමුණ වන්නේ. ඉතා ඉහළ තාක්ෂණයෙන් යුතු නිර්මාණද බොහෝමයක් තිබෙන අතර ඇබොර්ජින්වරුන් නියෝජනය වන නිර්මාණ ද මෙහි තිබෙන්නේ මෙම උත්සවයේ ගුණාත්මක බව වැඩි කිරීමටයි.

ටයිටැනික් හා ඇවටාර් චිත්‍රපට නිපදවූ ඇමෙරිකාවේ NASA ආයතනයේ උපදේශකයකු හා සමුද්‍ර විද්‍යාඥයකු වන ජේම්ස් කැමරන් මෙම උත්සවයේ තිබෙන අදහස් බෙදාගැනීමේ අවස්ථාවන් වලට මෙවර පැමිණෙන අතර මානව ක්‍රියාකාරීන්, පරිසරවේදීන්, ආදිවාසීන් වැනි බොහෝමයක් දෙනා මෙම දින ගණනාව පුරාම විවිධ දේශන හා වැඩසටහන් වලට සහභාගි වීමට නියමිතයි. මේ සියල්ලක් අතරේ ටිබෙට් ගාථා අඩංගු බුද්ධ මණ්ඩලයක් සහිත නිර්මාණයක්ද මෙහි තිබෙන අතර රවුම් හැඩයෙන් යුතු එය තුළ ධනාත්මක ශක්තිය ගැබ්ව තිබෙන නිසා නරඹන්නන් හට එය කරකවා ලොවට සෙත් පැතිය හැකි බව සඳහන් වෙනවා.

Comments