
පොතපත දොරට වැඩීමේ උත්සව, නාට්‍ය හෝ චිත්‍රපට මාධ්‍ය දර්ශන හෝ ප්‍රථම දැකුම් සඳහා සහභාගී වන්නැයි ඇරැයුම් කෙරෙමින් ලැබෙන ඉල්ලීම් බොහෝය. ඇතැම් අවස්ථාවක එවැනි ඇරැයුමකට සහභාගීවන්නට නොලැබෙන්නේ, එකම දින එකම අවස්ථාවක එවන් උළෙල යෙදී ඇති බැවිනි. එහෙත් සිංහල ශබ්ද කෝෂ සම්පාදන ආයතනයේ ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන්ගෙන් ලද ඇරැයුම සඳහා ඉඩකඩ වෙන්කර තබා ගත්තේ ,ඒ උළෙලෙහි දී ජනගතවීමට නියමිතව තිබූ ග්‍රන්ථ අපගේ පුස්තකාලයේ තිබිය යුතුම ග්‍රන්ථ සේ සිතුණු බැවින් හා එම උළෙලේ දී ඒවා ලබාගැනීමට වූ කැමැත්ත නිසාය.කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ, සිංහල අංශයට අනුයුක්තව දීර්ඝ කාලයක් දහස් සංඛ්‍යාත ශිෂ්‍ය මාණවක මාණවිකාවන්ට ශාස්ත්‍ර ඥානය බෙදා දුන් ඇදුරුතුමියක ලෙස ද, සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ දී විචාරිකාවක ලෙස ද එතුමියගේ සේවාවෙහි තතු පිළිබඳ අපි දන්නෙමු. සේවයෙන් ඉසිඹු ලබන සම්මානිත මහාචාර්යතුමිය සිංහල ශබ්ද කෝෂ සම්පාදන ආයතන ඉතිහාසයෙහි ප්‍රථම කාන්තා කර්තෘවරිය පත්වීම් ලබන්නී, අගනා මෙහෙවරක ඇරැඹුම සටහන් කරමින්, මාර්තු 21 වන දා , මෙරට ශබ්ද කෝෂ සම්පාදනයෙහි පුරෝගාමී චරිතය, ශ්‍රීමත් ඩී.බී.ජයතිලක - 150 ජන්ම ශත සංවත්සරය (1868 -2018 ) කෘතිය ද,සිංහල අක්ෂර වින්‍යාස ශබ්ද කෝෂය ද ජනගත කළාය. සිංහල භාෂා, සාහිත්‍ය කලා, හා විශ්වවිද්‍යාල ආචාර්ය මණඩල, ශිෂ්‍ය සමූහයා , පාසල් සිසුසිසුවියන් මෙන්ම ජයතිලක පවුලේ ඥාතීන් ගේ ද නියෝජනයක විශිෂ්ට හරස්කඩක මුහුණු ඉන්ද්‍රචාපගේ සමීපරූපාවලියෙහි සටහන්ව තිබිණ.ශ්‍රීමත් ජයතිලක සිරිමතාණන් සිහිපත්කිරීමට සමගාමීව, මෙරට සිංහල භාෂාව අරබයා අත්‍යවශ්‍යව පැවති සිංහල අක්ෂර වින්‍යාස ශබ්ද කෝෂයක් පරණවිතාන කර්තෘ තුමියගේ පදවිප්‍රාප්ත වීමත් සමගම ඉටු වීම මෙරට භාෂා ශාස්ත්‍ර ලෝලීන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක් වූ කාරණා සේ ඉන්ද්‍රචාප දකී.
විල්හෙල්ම් ගයිගර් පඬිතුමන්ගේ උපදේශකත්වයෙන් සිංහල ශබ්ද කෝෂ සංස්කරණය ආරම්භ කොට පුරෝගාමියා වූ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක සූරීන් විසින් මෙරට සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ රාශියක් සංස්කරණය කරමින් සාහිත්‍යයට අනූපමේය සේවයක් කළ බව වර්තමාන කර්තෘතුමිය තම පූර්විකාවෙහි සඳහන් කොට තිබෙණු ඉන්ද්‍රචාප දිටීය.
එතුමන්ගේ බාල කාලය, අධ්‍යාපනය, දේශපාලන භූමිකාව හා රාජ්‍යතාන්ත්‍රික මෙහෙවර පිළිබඳ රැස්ව සිටි ආරාධිතයන්ගේ අවධානය යොමු කරවමින් උළෙලේ පළමු දෙසුම කළෝ මහැදුරු කේ.එන්.ඕ. ධර්මදාසයෝය.ශ්‍රීමත් ඩී.බී. ජයතිලක නම් වූ ශ්‍රාස්ත්‍රවන්තයා, රාජ්‍ය තාන්ත්‍රිකයා පිළිබඳ සම්මානිත මහැදුරු ධර්මදාස විසින් සිහිපහ් කරන ලද පහත සිදුවීම වුව ඔහු කිනම් ඔහු කෙබඳු ශ්‍රෙෂ්ටයෙක් ද යන්න වටහා ගැනීමට සෑහේ. ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේ දී නීතිසූරී ගෞරව උපාධිය පිරිනැමිණ.එහිදී කලාපීය ප්‍රධාන ඊ.එෆ්.සී. ලුඩොවයික් ජයතිලක සිරිමතාණන් හැඳින් වූයේ මෙලෙසිනි. Ò හෙතෙම රාජ්‍ය නායකයෙක්, උගතෙක්, භාෂා ශාස්ත්‍රඥයෙක්.. Scholar , Statesman ..Ó එවැනෙක් ගේ සේවාව අගයමින්, ඔහු ගුණ අනුස්මරණයට එක් වී අනුස්මරණ ග්‍රන්ථයක් එළි දැක්වීමට පරණවිතාන කතුතුමිය ගත් පියවර ප්‍රශංසනීයය. මහාචාර්ය ආනන්ද තිස්සකුමාර තම දේශන්ය මගින් ජයතිලක සූරීන්ගේ භාෂා ඥානය, සංස්කරණයෙහි ලා එතුමන් තුළ වූ පෘථූල දැනුම කෙලෙස වීදැයි ප්‍රේක්ෂාගාරය දැනුවත් කළ ශාස්ත්‍රීය ආමන්ත්‍රණය සාරගර්භ කෙටි දෙසුමක ලකුණක් වීය.
ජනගත කිරීමේ උළෙලෙහි මුඛ්‍ය දේශනය සේ ඉන්ද්‍රචාප ගේ සමීප රූපයට හසුවුණේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහලාංශයෙහි මහාචාර්ය සඳගෝමී කෝපරහේවා කල දෙසුමයි.රෝහිණී පරණවිතාන කතුවරියගේ කාලොචිත කල්පනාවෙහි ඵලයක් ලෙස අප'තට පත් වූ සිංහල අක්ෂර වින්‍යාස ශබ්ද කෝෂයෙහි කාලීන වටිනාකම අපුරුවට පැහැදිලි කළෝ කෝපරහේවා මහැදුරුතුමෝය. වර්තමාන ව්‍යවහාර භාෂාවෙහි දුරාවබෝධ වචන නිදසුන් සේ දක්වමින් එතුමන් කල දේශනය ශාස්ත්‍රීය වටිනාකමකින් යුතු වූවක්ම වීය.අක්ෂර වින්‍යාස ශබ්ද කෝෂ පිළිබඳ පවතින ගැටළු හකිතාක් දුරට විසඳගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වන අන්දම එතුමන් විසින් විස්තර කරන ලද්දේ මෙම ශබ්ද කෝෂයෙහි ඔහු විසින් හඳුනාගත් ඇතැම් අඩු පාඩු ද දක්වමිනි. මුලසුන දෙසුමින් සභාව ඇමතූ සම්මානිත මහැදුරු ජේ.බී. දිසානායක ප්‍රශ්න රැසක් සභාව හමුවේ තැබූයේ අක්ෂර වින්‍යාසය පිළිබඳව ප්‍රායෝගිකව සිතා බැලීමට කාලය උදා වී ඇතැයි පවසමිනි.
සිංහල ශබ්දකෝෂයෙහි පූර්වගාමී කීර්තිමත් කතුවරුන් රැසකගේ මුහුණු ඉන්ද්‍රචාපගේ සමීපරූප අතරය. ඔවුන්ගෙන් ඇතැමෙක් දිවියෙන් සමු ගෙන සිටියද, ඔවුන්ගේ මෙහෙවරෙහි විද්වත් ශාස්ත්‍රීය සම්ප්‍රදානය අපට අමතක කළ නොහේ යැයි ඉන්ද්‍රචාපට සිතේ. ධර්මසිරි රත්නසූරිය,ඩී.ඊ.හෙට්ටිආරච්චි,ඩී.ජේ.විජේරත්න,පී.බී සන්නස්ගල,විමල් ජී. බලගල්ලේ,විනීවිතාරණ, ආනන්ද අබේසිරිවර්ධන ආදී මහාචාර්යවරු ද, ජූලියස් ද ලැනරෝල්,ආචාර්ය පී.බී.එෆ්.විජේරත්න ආදී විද්වතුන්ගේ මුහුණු එලෙස ඉන්ද්‍රචාපගේ සමීප රූප අතර ඇඳුණු මුහුණුය.මෙවන් කීර්තිමත් පඬුවන් හෙබැවූ අසුනක් දරා සිටින රෝහිණී පරණවිතාන සිරිමතියට ඉන්ද්‍රචාපගේ භක්ත්‍යාදරය, ප්‍රණාමය පිරිනැමෙන්නේ මතු දවසෙහිදීත් මෙබඳුම ශාස්ත්‍රීය සම්ප්‍රදානයන් අපගේ භාෂා සාහිත්‍යය වෙනුවෙන් ඉටු කරනු ලැබේය යන අපේක්ෂාවෙනි.