පිරිමි ළමා චරිත රඟපෑ ශ්‍රීට කුඩා දැරි­යක ලෙසින් රඟ­පෑ­මට ලැබෙයි | සිළුමිණ

පිරිමි ළමා චරිත රඟපෑ ශ්‍රීට කුඩා දැරි­යක ලෙසින් රඟ­පෑ­මට ලැබෙයි

පුංචි ශ්‍රී දේවියට ද නොදැනුවත්වම ඇයගේ සැහැල්ලු, සුන්දර ළමාවිය කැමරාවේම සිරගතවීමට පටන්ගෙන අවසන්ය. සෙසු දරු දැරියන් එකට එක්වී සෙල්ලම් කරද්දී පාසල් යද්දී ශ්‍රී සිටියේ දර්ශන තලයේය. මවගේ දෑතේ එල්ලී ගමේ කඩපිල් ගණනේ ගොස් වෛවාරණ කොණ්ඩා බෝල , මාල වළලු ගන්න, ඇය පසු පසින් දිව යාමට ශ්‍රීට ආසාවක් නොතිබිණි. ඒ ඇයට අනෙක් දරුවන් එසේ කරනු දක්නට තරම් නිදහසක් නොලැබුණු නිසයි.

පුංචි දෝණිගේ හිසේ සිට පාදාන්තය දක්වා සැරසීමට සියලු ඇඳුම් ආයිත්තම් රැගෙන දුන්නේ මවය. ශ්‍රීට තිබුණේ ඒවායින් සැරසී බෝනික්කියක මෙන් හැඩවී සිටීමටය. සැවොම මේ කෙලි පොඩිත්තියගේ හැඩ බැලූහ. ‘‘හරිම ලස්සනයි‘‘ පැවසූහ.

එහෙත් ඒ කිසිවක් ශ්‍රී ගේ දෙසවන් වැකෙන්නේ නැත. දැන් ඇයගේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩය කැමරාවයි. ඩිරෙක්ටර් සර් පවසන ලෙසින් ඇය එම සෙල්ලම් බඩුවෙන් ක්‍රීඩා කළාය. ශ්‍රීට මව පවසා තිබුණේ අධ්‍යක්ෂවරයාට ‘ඩිරෙක්ටර් සර්‘ කියා අමතන ලෙසය. ඒ වාගේම අධ්‍යක්ෂවරයා ඉදිරියේ ඉතා ගරු සරුව ඇතිව හැසිරෙන ලෙසය.

බෙහෙවින් කීකරු දැරියකවූ ශ්‍රී මව පවසන සියල්ල අකුරටම පිළිපැද්දාය. වරක් දුන් අවවාදය නැවත එක් වරක් හෝ දීමට රාජේශ්වරීට අවශ්‍ය වූයේ නැත. රංගන හැකියාව මෙන්ම සුවච කීකරුකමද ශ්‍රීට උපතින්ම දායාද වූවකි.

වරක් රාජේශ්වරී කුඩා ශ්‍රී තාප්පයක් අසළ වාඩි කරවා අසල් වැසියකු සමඟ බර කතාවකට වැටුණාය. මව හිටි හැටියේම එතැනින් පිටව යනු ශ්‍රී දේවිය දුටුවාය. එහෙත් ඇය මවට කරදර නොකළාය. ඇය පැවසූ ලෙසම තාප්පය අසළ වාඩිවී සිටියාය. පැය ගණනක් ගතවිය. රාජේශ්වරීට දියණිය ගැන සිහිවී අසල් වැසි නිවෙස් කරා දුවමින් දියණිය සෙව්වාය.

අවසන ඇය දියණිය තමන් පැවසූ තැනම පැවසූ විදියටම සිටිනු දැක මවිතයට පත්වූවාය. මෙය රාජේශ්වරී කලක් යනතුරුම දර්ශන තලයේ හිත මිතුරන්ට පැවසීමෙන් දියණියගේ කීකරුකම ගැන අහිංසක සතුටක් ලැබුවාය. පුංචි ශ්‍රී කිසි දිනෙක අධ්‍යක්ෂවරුන් ඉදිරියේ අසුන් ගත්තේ නැත. ඒ මව එසේ නොකරන ලෙස අවවාද කර තිබූ නිසයි.

අධ්‍යක්ෂවරුන්ට ද ශ්‍රී ගේ කීකරුකම නිසා කුඩා වුවද ඇය අධ්‍යක්ෂණය කිරීම ඉතා පහසු කාර්යයක් විය. තුනෙයිවන් සිනමා පටයේ රඟද්දී ශ්‍රී මවගේ සාරිපොටේ එල්ලී සැඟවුණත් මව රාජේශ්වරීගේ ‘‘පප්පි බයවෙන්න එපා‘‘ යන වදන් පෙළේ ශක්තියෙන් ඇය ඉන්පසු කවදාවත් සැඟවුණේ නැත.

ළමා රංගන ශිල්පීන්ගෙන් අවශ්‍ය රංගනය ලබා ගැනීම බොහෝවිට අධ්‍යක්ෂවරයාට අසීරු කාර්යයකි. එහෙත් ශ්‍රී ගෙන් සැම විටම රඟන චරිතයට සාධාරණයක් ඉටුවූයේ අති ප්‍රවීණ රංගන ශිල්පිනියක සේය. ඇය තමන් සමඟ රඟන සෙසු ළමයින් ගෙන් අවශ්‍ය රංගනය ගැනීමට යොදන උපක්‍රම දෙස බලා සිටියේ මවිතයෙනි.

හඬන ජවනිකා වලදී අනෙක් ළමයා සාර්ථක ලෙස හඬන ජවනිකාව නිරූපණය නොකිරීම නිසා එම ළමයාගේ මව උස් හඬින් කෑගසා හඬන්නට තරම් දැඩි ලෙස කොනිත්තනවා ශ්‍රී බලා සිටියේ පුදුමයෙනි. සිනාසෙන ජවනිකාවල සිනා සීමටත් හඬන ජවනිකාවල හැඬීමටත් ශ්‍රී ට තිබුණේ නිසඟ හැකියාවකි.

1967 වසරෙන් ඇරැඹි ‘බේබි ශ්‍රී දේවි‘ නම සිනමාවලියට ‘කන්දන් කරුණෙයි, තුනෙයිවන්, නාම්නාදු, කුමාර සම්භවම් සිනමා පට එක්වී අවසන්ය. තවමත් ඇය සය හැවිරිදි දැරියකි. 1970 වසර වෙනුවෙන් ‘බේබි ශ්‍රී දේවි‘ රැඟූ දමිළ සිනමා පට තුනක් ද, තෙලිඟු සිනමා පට තුනක් ද පෙළ ගැසී ඇත.

පෙන් දේවියන්, කුල විලක්කු, එන් අන්නන් දමිළ සිනමා පට තුනක් ස්වප්නන්ගල්, සබරිමාලා, ශ්‍රී ධර්මශාස්ත, මලයාලම් සිනමා පට ද්විත්වයත්, මා නාන්නා නිර්දෝශි, අග්නි පරික්ෂා, විධි විලාසම් තෙලිඟු සිනමා පට තුනත් ඒ අතර විය.

‘පෙන් දෙයිවම්‘ සිනමා පටයේ නිෂ්පාදකයා වූ ශ්‍රීට තුනෙයිවන් සිනමා පටයේ කැපී පෙනෙන චරිතයක් ලබාදුන් නිෂ්පාදක සින්නප්පා තේවර්ම මෙහිද අධ්‍යක්ෂකවරයා විය. දේව්යන්ගේ කුඩා චරිතත්, නාම් නාදු සිනමා පටයේ රාජා පිරිමි ළමයාගේ චරිතයක් රඟපා ජනප්‍රිය වී සිටි ළමා නිළියට පෙන් දෙයිවම් හි දී කුඩා දැරියක ලෙස සැබෑ ලෙසින්ම තිරයේ ජීවමාන වීමට හැකිවිය.

කුල විලක්කු සිනමා පටයේ ද ඇය සුරතල් දඟකාරියක වූවාය. කුල විලක්කු සිනමා පටයේ බේබි ශ්‍රී දේවි රඟපෑවේ ජෙම්නි ගනේෂන්, සරෝජාදේවි යන ජනකාන්ත නළු නිළියන් සමඟය.

සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීමට ජෙමිනි ගනේෂන්ගේ දියණියක වූ භානු රේඛා ගනේෂන් ද පැමිණ සිටියාය. ඇය පුංචි ශ්‍රී ගේ රඟපෑම් බලා සිටියේ මහත් කැමැත්තෙනි. පසුව රේඛා ලෙසින් තිරයේ ජනප්‍රිය වූයේ භානුරේඛාය. ඇය බේබි ශ්‍රී දේව් හා තමන්ගේ ජිවිත සම්බන්ධයෙන් අපූරු සබඳතාවක් දෛවයේ ලියැ වී ඇති බව දැන සිටියේ නැත. ශ්‍රී දේවියට වඩා භානු රේඛා නව වසරක් වැඩිමල් වූවාය.

‘එන් අන්නන්‘ නාම් නාදුවලට පසු ශ්‍රී රඟපෑ සිනමා පටයයි. කළු සුදු සිනමාපටවලට වඩා වර්ණයෙන් තම රුව තිරයේ දිස්වන විට ශ්‍රී ට දැනුණේ පුදුමාකාර සතුටකි. එහි පුංචි ශ්‍රීට රඟපෑමට සිදුවුයේ පියා පොලීසියට රැගෙන යද්දී හඬා වැටෙන ජවනිකාවක්ය. එහෙත් දර්ශන කිහිපයකට සීමා වුවත් ශ්‍රී ගේ හඬන, දෑසින් විද්‍යාමාන වූයේ අපූරු රංගන ප්‍රතිභාවකි.

ස්වප්නන්ගල් මලයාලම් සිනමා සිත්තමේ ශ්‍රී රාජම්මා නම් ප්‍රධාන චරිතය රඟපෑ ගීතාන්ජලීගේ ළමා විය නිරූපණය කළාය. සබරිමාලා ශ්‍රී ධර්මයාස්ත්‍ර සිනමා පටයේ ශ්‍රී දේවිගේ නම ප්‍රධාන චරිතයක් ලෙසින් නාමාවලියේ සඳහන් කෙරිණි.

ශ්‍රී ගේ මවු බස තෙලිඟුය. බේබි ශ්‍රී හා හා පුරා කියා බොලිවුඩයට හෙවත් තෙලිඟු සිනමාවට සම්බන්ධ වූයේ මා නාන්න නිර්දෝෂී සිනමා පටයෙනි. විධි විලාසම්, අග්නි පරික්ෂා සිනමා පට තිරගත වීමත් සමඟ ශ්‍රී දේවි නම් ළමා නිළිය, දකුණු ඉන්දීය සිනමාවට නැතිවම බැරි ළමා ශිල්පිනියක බවට පත්වූවාය. 1970 වසර බේබි ශ්‍රී දේවියගේ වසරක් වූයේ එම්. ජී. ආර්, පද්මිණි, සිවාජි ගනේෂන් වැනි යෝධ තරු අතර පුංචි සුපිරි තාරකාව වෙමිනි.

 

තවත් කොටසක් මීළඟට

Comments