සිනා කතා | සිළුමිණ

සිනා කතා

පැහැදිලි වෙනසක්

“අලුත් ඇමැතිමාරුවෙන් පැහැදිලි වෙනසක් වුණේ නෑ නේද?’ ලාල් සභාව අවසානයේ ලොබියේ දී හමු වූ චමින්ද දෙස බලා ඇසුවේ සෝපහාසී සිනාවක් නඟමිනි.

“මොකෝ නැත්තෙ? අදාළ අමාත්‍යාංශ වලට හාමුදුරුවරු වඩම්වලා පිරිත් කිව්වා. දානේ දුන්නා. ඊට පස්සෙ අලුත් ඇමතිවරු තමන්ගෙ නිලධාරි මණ්ඩල එක්ක කිරිබත් කෑවා, තේ බිව්වා. ඒක පැහැදිලි වෙනසක් නෙමෙයිද?” චමින්ද ඇසී ය.

නැගිට්ටවනවා හෙම නෙමෙයි

“හරියට.. ලොකු වැස්සක් වැහැලා පෑව්වා වගෙ, නේද සභාපතිතුමා? දැන් ඉතින් ඒ ඒ පක්ෂවල ලේකම්වරු එවන ලැයිස්තු ටික අනුව පළාත් සභාවලට නගර සභාවලට සභිකයෝ නම් කරලා ගැසට් කරන එකනෙ ඉතුරුවෙලා තියෙන්නෙ.” මාධ්‍ය සාකච්ඡාව නිම වීමෙන් පසුව කොමිසමේ සාමාජිකයෙක් සභාපතිවරයා දෙස බලා කීවේ ය.

“දැන් ඔය තියෙන සිල්ලර ප්‍රශ්න ටික විසඳා ගන්ඩ මං නැතුවට පුළුවන් නොවැ. මේ ඉලව් ඡන්දයක් හින්දා මාස 3 ක් තිස්සේ මට හරි නින්දක් නිදාගන්ඩ ලැබුණේ නැහැ. මම දැන් ගෙදර ගිහින් නිදා ගන්නවා. පළාත් සභා ඡන්දෙට නාම යෝජනා දෙනකං මාව නැගිට්ටනවා හෙම නෙමෙයි. තේරුණාද?” තම නිලධාරීන් දෙස බලා තරවටුවක ස්වරයෙන් කී සභාපතිවරයා නැගිට්ටෙ නිවෙස් බලා යාමට ය.

ඒ ඡන්දෙත් ලැබිලා නැහැ

“අපෙ ජයවර්ධනට ඡන්ද සීයක්වත් ලැබිලා නැහැයි කියන්නෙ ඇත්තද?” කපිලගේ සිල්ලර කඩය වෙත පැමිණි සන්ධ්‍යා ඉදුණු කෙසෙල් ඇවරියක් තෝරා, එය කපිල වෙත දිගු කරමින් ඔහුගෙන් ඇසුවා ය.

“ඒක නේන්නං සන්ධ්‍යා නෝනා වැඩේ කියන්නෙ. ඔය මනුස්සයා අයාලෙ යන බල්ලෝ බළල්ලු එකතු කරගෙන, උන්ව තමන්ගෙ ගෙදර ගාල් කරගෙන කන්ඩ බොන්ඩ දීලා රැක බලා ගන්න එකම සුළු පටු සේවයක්ද? ඒ ගෙදර බල්ලෝ බළල්ලු ඉන්නවා දෙසීයකට වැඩිය. ඒ බල්ලෝ බළල්ලු නිදැල්ලේ හිටියනං කරදරවෙන මිනිස්සු ටික ඡන්දෙ දුන්නත් මිනිහට ඔයිට වඩා ඡන්ද ලැබෙන්ඩ එපායැ.” කපිල කීවේ කෙසෙල් ඇවරිය බෑගයකට දමමිනි.

කැත වෙන්නෙ මගෙ නමනෙ

“මොකෝ බං ලොකු කනස්සල්ලකින් වගෙ මූණ නරක් කරගෙන. ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද?” ඔඩ්ඩි යකා, මහසෝනා දෙස බලා ඇසුවේ මධ්‍යම රාත්‍රියේ අමු සොහොනේ මිනී වළවල් දෙකක් මත ලැග සිටියදී ය.

“ඇයි මස්සිනෙ, ඔය අන්තවාදී කල්ලියක් ‘මහසෝන් බළකාය’ කියල සංවිධානයක් අටවාගෙන ඕනෙ නැති ලොකු කලබලයක් මේ ඊයේ පෙරේදා උඩරට පළාතක ඇති කළා නොවැ. මගේ නම මුල් කරගෙන උන් කරන අසමජ්ජාති වැඩ වලින් මගෙ නමනෙ කැත වෙන්නෙ.” මහසෝනා කීවේ දැඩි කනස්සල්ලක් පළ කරමිනි.

එහෙමනං කොච්චර දෙයක් ද?

“දැන් බලපංකො රටේ ලොකු තනතුරු වලින් සමහර දේශපාලකයෝ අයින් කරන්ඩ, එතකොට ඇමැති තනතු‍රු වලින් සමහර ඇමතිවරු ඉවත් කරන්ඩ ඒ වගේ ම සමහර පක්ෂවලින් ඒ පක්ෂවල නායක‍යෝ, විවිධ තනතුරු දරන අය අයින් කරන්ඩ සමහරු මේ දවස්වල කොයිතරම් නං වැරවෑයම් කරනවද කියල. ඒත් අපේ ගෙදර උන්දැට ඒ ගැන කිසිම හැඟීමක් නැති එක නෙ බං කරුමේ!” සෙනෙවි තමා සමඟ මී විතක රස බලමින් සිටි නාඔටුන්න දෙස බලා කීවේ ආවේගශීලීව ය.

“ඇයි බං ඒ ගෑනි අහවල් දේකටද ඔය වගෙ දේවල් ගැන කලබලවෙන්නෙ?” නාඔටුන්න කීවේ තරමක විමතියකිනි.

“නෑ මං කියන්නෙ, ඒ ගෑනිටත් පුළුවන්නෙ රටේ තියෙන ඔය ප්‍රවණතාව ගැන ටිකක් හිතට අරගෙන මේ මාව ස්වාමිපුරුෂ තනතුරෙන් ඉවත් කරන්ඩ ඕනෙයි කියල තීරණයකට එන්ඩ. මොකෑ මට දැන් මේ දීගෙ ඇතිවෙලා.” සෙනෙවි කීවේ නො ඉවසිල්ලකිනි.

 

Comments