භාෂ­ණයේ නිද­හස | සිළුමිණ

භාෂ­ණයේ නිද­හස

 යහපත් සන්නිවේදනය කුමක්ද, අයහපත්

සන්නිවේදනය කුමක්ද යන්න හඳුනාගැනීම

සඳහා නිවැරදි

දැක්මක් තිබිය යුතුය.

නිවැරදි දැක්ම

ස්වයං අවබෝධයක්

ලබාගත නොහැකි නම්

පරතෝඝෝෂ ක්‍රමයෙන් හෙවත් අනුන්ගෙන්

අසාගෙන තේරුම් ගත යුතුය. එසේ අසාගැනීමට වඩාත්ම සුදුසු වන්නේ

බුදුන් වහන්සේගේ

ඉගැන්වීම්ය.

පරිස්සති ජාතස්ස කුඨාරි ජායතේ මුඛං

(වරදවා පාවිච්චි කරන වචනය

කටේ කෙටේරියක් බඳු ය.)

සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් අදහසක් ප්‍රකාශ කිරීම සහ ග්‍රහණය කිරීමයි. ඒ සඳහා භාෂා මාධ්‍යය ප්‍රබල වන අතර අංග චලනය, සංගීතය, චිත්‍රය ආදිය ද ප්‍රබල සාධක වෙයි.

බුදුන් වහන්සේ විසින් සන්නිවේදනය පිළිබඳව ඉගැන්වූ මුල් ම පාඩම ධර්මය සන්නිවේදනය කරන්නේ කෙසේදැයි මුල් රහත් හැට නමට කරන ලද ප්‍රකාශයයි. ‘දෙසේථ භික්ඛවෙ ධම්මං. ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං සාත්ථං සබ්බ්‍යඤ්ජනං කේවල පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ.’ (මහාවග්ග පාළි, මහාඛන්ධකය) මේ පාඨයෙන් අවධාරණය කෙරෙන කරුණු ගණනාවකි. එනම් තමා කියන දෙය:

මුල යහපත් විය යුතු ය.

මැද යහපත් විය යුතු ය.

අවසානය යහපත් විය යුතු ය.

අර්ථ සම්පන්න විය යුතු ය.

වචන නිවැරදි විය යුතු ය.

හැම තැනින් ම විය යුතු ය.

ප්‍රයෝජනයට නැති එකදු වචනයක් තබා අකුරකුදු ප්‍රකාශ නොකළ යුතු බව උන් වහන්සේ මින් අවධාරණය කළහ. මුළු ත්‍රිපිටකය ම ගත්තත් ඉවත් කළ යුතු එක ද වචනයක් හෝ සොයා ගත නොහැකි ය. ‘යො වදතං පවරෝ...’ යනුවෙන් උන් වහන්සේ විශේෂණ කරන්නේ එහෙයිනි.

ධර්මය ම වැනි අර්ථාන්විත දෙයක් කථා කරන්න. නැත් නම් නිහඬව සිටින්නැයි උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට පැවසූහ.

බුදුන් වහන්සේ භාෂා සන්නිවේදනයේ ආකාර තුනක් දක්වන අතර, අංගුත්තර නිකායේ ගූඨභාණී සූත්‍රයේදී එය මෙලෙසින් දක්වති: ‍

‘මහණෙනි, භාෂිත තුනකි. ඒ මධුභාණී, පුප්ඵභාණී හා ගූථභාණියි.’ (අං.නි, තික නිපාත, ගූථභාණී සූත්‍රය) මධුභාණී නම් කථා කරන දෙය හෝ ලියන දෙය මී පැණි මෙන් රස ය. පුප්ඵභාණී නම් මල් මෙන් සුවඳ ය. ගූථභාණී නම් අසූචි මෙන් ගඳ ය. ඇතැම් කථාවන් බෙහෙවින් මිහිරි ය. එහෙත් ගත යුතු කිසිදු අර්ථයක් නැත. ඇතැම් කථාවන් බෙහෙවින් අර්ථ සම්පන්නය. එහෙත් ප්‍රියමනාප භාවයක් නැති නිසා අසන්නට පෙලඹවීමක් නැත. අප ප්‍රකාශ කළ යුත්තේ අසූචි මෙන් ගඳ ගහන දේවල් නො වේ. ඒ අප නිලමැස්සන් නොවන නිසා ය. අවට පරිසරය පිරී ඇත්තේ කුණු කසළවලින් නම් එහි නිලමැස්සන් පිරී සිටීම අරුමක් නො වේ.

සන්නිවේදනය යන්න බුදු දහමේ අර්ථ ගන්වා ඇත්තේ ‘සම්මා වාචා’ යන නමිනි. මජ්ඣිම නිකායේ මහාචත්තාරි සූත්‍රය සම්මා වාචා යන්න හඳුන්වා ඇත්තේ මෙසේ ය:

‘මිථ්‍යා වචනය මිථ්‍යා වචනය වශයෙන් ද, සම්‍යක් වචනය සම්‍යක් වචනය වශයෙන්ද දැනගැනීම සම්මා දිට්ඨියයි. මිථ්‍යා වචනය නම් බොරුකීම, කේළාම් කීම, ඵරුස වචන කීම හා හිස් වචන කීමයි.’ (ම.නි, මහා චත්තාරි සූත්‍රය) ඒ අනුව අප කථා කරන හැම දෙයක්ම බොරුවෙන්, කේළමෙන්, ඵරුස වචනයෙන් හා හිස් වචනයෙන් තොර විය යුතුය.

යහපත් සන්නිවේදනය කුමක්ද, අයහපත් සන්නිවේදනය කුමක්ද යන්න හඳුනාගැනීම සඳහා නිවැරදි දැක්මක් තිබිය යුතුය. නිවැරදි දැක්ම ස්වයං අවබෝධයක් ලබාගත නොහැකි නම් පරතෝඝෝෂ ක්‍රමයෙන් හෙවත් අනුන්ගෙන් අසාගෙන තේරුම් ගත යුතුය. එසේ අසාගැනීමට වඩාත්ම සුදුසු වන්නේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම්ය.

‘යම් වචනයක් තමනුත් නොතවයිද, අනුනුත් නොතවයිද ඒ සුභාෂිත වචනයයි. යම් වචනයක් සතුටු සිතින් විඳිව හැකි නම් ඒ ප්‍රිය වචනයයි.’ (බු.නි. සුත්ත නිපාත, සුභාසිත සූත්‍රය)

විමසා බලා වචන කීම, නුවණින් දැන වචන කීම, අර්ථවත් වචන කීම වැදගත් බව බුදුන් වහන්සේ සුභ සූත්‍රයේ දී ප්‍රකාශ කළහ. (ම.නි. බ්‍රාහ්මණ වග්ග, සුභ සූත්‍රය)

මානව හිමිකම් ප්‍රඥප්තිය යටතේ සෑම පුද්ගලයකුට ම භාෂණයේ නිදහස තිබිය යුතුය. බුදු දහම එසේ නොකියයි. පුද්ගලයා වචන භාවිත කළ යුත්තේ සම්මා වාචාව යන සීමාව ඇතුළතය. එනම් බොරුවෙන්, කේළමෙන්, ඵරුස වචනයෙන් හා හිස් වචනයෙන් වැළකීමෙනි. ඒ අනුව ඕනෑම කෙනකුට අසා සිටීමේ නිදහසද තිබිය යුතුය.

බුදු සමය වැනි ආචාරවිද්‍යාත්මක චින්තනයක ස්වාධීනත්වය යනු වගකීමෙන් තොර වූවක් නොවිය යුතුය. ඒ අර්ථවත් වන්නේ විඤ්ඤා ගරිහිත, විඤ්ඤාපසත්ථ (නුවණැත්තන් විසින් ගරහන, නුවණැත්තන් විසින් පසසන) යන සීමා තුළය. යමක් ප්‍රකාශ කරන විට නැවත නැවතත් සිතා බැලිය යුතු බව උපාලි සූත්‍රයෙන් පෙන්වා දෙයි. (සුත්ත නිපාත, උපාලි සූත්‍රය)

බුදුන් වහන්සේ පුද්ගලයන් දෙපිරිසක් කොට දක්වති. එක් පිරිසක් බාලයෝය. අනෙක් පිරිස පණ්ඩිතයෝය. බාල සන්නිවේදකයා හඳුනාගන්නා ආකාරය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ දක්වා ඇත්තේ මේ ආකාරයෙනි:

‘නොකල්හි කියන්නේ වේද, නො වූවක් කියන්නේ වේද, අනර්ථයක් කියන්නේ වේද, අධර්මයෙන් කියන‍්නේ වේද, නොහික්මීමෙන් කියන්නේ වේද, සිහි තබා නොගත යුතු දේ කියන්නේ වේද, කරුණු සහිත ව නොකියන්නේ වේද, සීමාව නොදක්වා කියන්නේ වේද, අර්ථ රහිත දේ කියන්නේ වේද ඔහු බාලයෙකි.’ (අං.නි. චතුක්ක නිපාත)

බුදුන් වහන්සේ එය තවදුරටත් මෙසේ ප්‍රකාශ කරති: ‘බොරු පණ්ඩිතයෝ කටට ආවක්ම කියති. හොඳ සිහියක් නැති ලජ්ජා නැති බොරු පණ්ඩිතයන් කියන්නේ කුමක්දැයි ඔවුහු ම නො දනිති.’ (උදාන පාළි, සද්ධායමාන සූත්‍රය)

භාග්‍යවතුන් වහන්සේ මජ්ඣිම නිකායේ අරණ විභංග සූත්‍රයේදී මෙවැනි උපදෙසක් දෙති: ‘අසත්‍ය දේ නොකිව යුතුය. සත්‍ය වුවත් එයින් අයහපතක් සිදු වේ නම් එයද නොකිව යුතුය. සත්‍යයක් වුව ද එයින් යහපතක් සිදු වන්නේ වුවද එය කිව යුත්තේ සුදුසු අවස්ථාවේදීය.’ (ම.නි. අරණ විභංග සූත්‍රය)

කෙනකු අදහස් ප්‍රකාශනයේදී තමාගේ පිළිගැනීම පමණක් නිවැරදියැයි දැඩිව පිළිගැනීම වැරදිය. ලෝකය දෙසත් අනෙක් පුද්ගලයා දෙසත් බැලිය යුත්තේ විවෘත මනසිනි. බුදුන් වහන්සේ මජ්ඣිම නිකායේ ‍සල්ලේඛ සූත්‍රයේදී මේ බව සඳහන් කරන්නේ ‘සන්දිට්ඨි පරාමාසී’ යනුවෙනි.

ඇතැම් විට තමා ඉතා ම හොඳින් අදහන කරුණක් හිස් වූ බොරුවක් විය හැකිය. එසේම සත්‍යයක්ද විය හැකි ය. ඒ බව මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්වා දෙති.

අරණ විභංග සූත්‍රයේදී සන්නිවේදකයාට මෙබඳු උපදෙසක්ද දෙයි. ‘තමන් කියන දෙයින් කෙනකු ඔසවා තැබීමත් පහත් කොට තැබීමත් නොකළ යුතුය. ඒ දෙකම අහිතකරය. පහත් කොට තැබීමෙන් සතුරන් ඇති වේ. ඔසවා තැබීමෙන් වැරදිදෘෂ්ටීන්ට ගොදුරු වේ. මේ දෙකම පුද්ගලයාටත් සමාජයටත් අහිතකරය.’

සතජ සහස්සානං දුබ්භාසිතානං

කලම්පි නාග්ඝන්ති සුබාසිතස්ස

(දුබැසි බස් ලක්ෂයක් සුබැසි බසක කලාව තරම්වත් නොඅගනේය. - තක්කාරි ජාකතය)

සහස්සමපි චෙ වාචා - අනත්ථ පද සංහිතා

ඒකං අත්ථපදං සෙයෙයා - තං සුත්වා උපසම්මති

(ධම්මපද, සහස්ස වග්ග)

(අනර්ථය සිදු කරන වචන දහසකට වඩා අර්ථය සිදු කරන එක වචනය උසස් ය.)

නව තාක්ෂණයත් සමඟ සන්නිවේදනය නොසිතූ තරම් වේගයෙන් ඇදහිය නොහැකි තරමින් දියුණු වී ඇත. ලෝකයේ ඕනෑම තැනක සිට කථා කරන දෙයක් එවේලේම අපට ශ්‍රවණය කළ හැකිය. ඕනෑම දෙයක් දැකිය හැකිය. අප දකින දෙය හෝ අසන දෙය හෝ මතුවටත් දැකගැනීමට තහවුරු කොට තබාගත හැකිය. ලෝකය පහළ වූ අවධියේ සිට මෙවන් වාසනාවක් මනුෂ්‍යයාට ලැබී තිබුණේදැයි සිතිය නොහැකිය.

 

තාක්ෂණය මඟින් සන්නිවේදනයේ තීව්‍රතාව උදෙසා බොහෝ දේවල් කළත් එහි කිසියම් වාරණයක් සඳහා කළ දෙයක් පිළිබඳ දැනගන්නට ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි. ඕනෑම ‍බොරුවක්, කේළමක්, අසභ්‍ය දෙයක්, හිස් දෙයක් කීමට අන්තර්ජාලය තුළ නිදහස ඇත. එහි වඩාත් භයානකකම වන්නේ එය කියන තැනැත්තා සැඟවී සිට කීමට ඇති හැකියාවයි.

වර්තමාන දියුණු තාක්ෂණයෙන් එක් මොහොතකදී කෝටි සංඛ්‍යාත ජනතාවකට අදහසක් සන්නිවේදනය කළ හැකි ය. එය බොරුවක් නම් මඩ ගැසීමක් නම් අසභ්‍ය දෙයක් නම් බාල-මහලු ගිහි-පැවිදි ආදි කිසිදු භේදයක් නැතිව පැතිර යයි. එහි භයානකකම එයයි. ඊතලයෙන් විදිනවා වෙනුවට රසායනික බෝම්බයක් හෝ න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවන්නාක් ‍වැනිය.

බුදු සමයෙන් මෙයට විසඳුමක් ඉදිරිපත් කර තිබේ. ඒ ස්වයං වගකීමයි. චතුර්විධ දුෂ්චරිතයෙන් වැළකීම නීතියෙන් පාලනය කළ නොහැකිය. අවබෝධයෙන්ම කළ යුතුය. එසේ අවබෝධ කරගත යුත්තේ අත්තූපමාව උපයෝගි කොටගෙනය. මා අසන්නට අකැමැති දේ අනෙක් පුද්ගලයාද අසන්නට අකැමැතිය. මා දකින්නට අකැමැති දේ අනෙක් පුද්ගලයාද දකින්නට අකැමැතිය.

ස්වයං වාරණය උදෙසා අපට සහජයෙන් වාසි දෙකක් ලැබී තිබේ. ඒ ලජ්ජාව හා භයයි. බුදුන් වහන්සේ එය හඳුන්වා ඇත්තේ ධනයක් ලෙස ය. ‘හිරි ඔත්තප්පියං ධනං’ (ලජ්ජා භය ධනයයි.) එය එතරම් වටී. දේවධර්ම ජාතකයේදී ලෝක පාලන ධර්ම ලෙස දක්වා ඇත්තේ ලජ්ජාව හා භයයි. සත්ත්ව ලෝක‍යෙන් මිනිස් ලොවට පරිණාමය වූ ප්‍රථම මිනිසා පවා තම ලජ්ජාව වසාගැනීමට කොළ-අතු, සත්ත්ව හම් හෝ ගස් සුඹුළු භාවිත කළහ. මිනිසා ශිෂ්ටාචාර වෙනවා යනු ලජ්ජාවෙන් යුක්ත වීමයි. ලජ්ජා නැති එකා අශීලාචාරයකු ලෙස සලකනු ලබයි. මිනිසාත් තිරිසනාත් අතර ඇති එකම වෙනස ලජ්ජාවයි. එහෙයින් අප බොරු කියන්නට කේළාම් කියන්නට ඵරුස වචන කියන්නට හිස් වචන කියන්නට ලජ්ජා විය යුතුය.

එබඳු දෙයක් කියා අසු වූ විට අනෙක් අයගෙන් ලැබෙන හිරිහැරයට අපකීර්තියට බිය විය යුතු ය. එ‍සේ භය නොවීම වීරකමක් සේ සලකන මෝඩයෝද සිටිති. සතුන් පවා ඵරුස වචන ඇසීමට අකැමැති වූ ආකාරය කුලාවක ජාතකය පෙන්වා දෙයි.

ඉතා අඩු වයසේ දැරියන් විවාහ නොවී ලිංගික සම්බන්ධතා පැවැත්වීම සුළු කාලයක් තුළ ඉතා ඉහළ අගයක් ගැනීමට මාධ්‍ය හේතු වී ඇතැයිද එබඳු දැරියන්ගෙන් සියයට 24ක් ඒ සඳහා පෙලඹී ඇත්තේ මාධ්‍ය නිසා බවද අමෙරිකාවේ කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත.

අමෙරිකාවේ ප්‍රචණ්ඩත්වයට හේතුව රූපවාහිනිය මඟින් ප්‍රචණ්ඩත්වය පිළිබිඹු කිරීමයැයි ක්‍රමවත් හා විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළි වී තිබේයැයි ජන සන්නිවේදන පර්යේෂණ පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ හිටපු සභාපති මහාචාර්ය ජේම්ස් ඩි හැලොරාන් ප්‍රකාශ කරයි.

භාෂාවක් යහපත් වීම සඳහාත් ශෝභන වීම සඳහාත් තිබිය යුතු අංග පහක් බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේදී මේ ආකාරයෙන් සඳහන් කරයි:

සුදුසු කාලයේදී කථා කරයි.

සත්‍යය කථා කරයි.

මෘදු වචන කථා කරයි.

ප්‍රයෝජනවත් ලෙස කතා කරයි.

මෛත්‍රී සහගත සිතින් කථා කරයි.

(අරණවිභංග සූත්‍රය)

නරියා කේජුකෑල්ල ගත් කපුටාට පැවසුවේ මිහිරි වචන නොව, චාටු කතාය. මිහිරි වචන මොනවාද, චාටු කතා මොනවාදැයි හඳුනාගැනීමට පුද්ගලයකුට බුද්ධිය තිබිය යුතුය.

 

 

Comments