
එහෙ ප්‍රතිකාර හොඳ ඇති
“මං මේ කල්පනා කළේ මොකක් හරි උප්පරවැට්ටියකින් රිමාන්ඩ් එකට ගාල් වෙන්නෙ කොහොමද කියල.” නන්දවීර තම මිතුරකු වූ පින්තු දෙස බලා කීවේ ය.
“උඹට අමුකැවිල ද? එක එක වර්ගයේ වැරැදි වලට රිමාන්ඩ් එකට යන මිනිස්සු ඒකෙන් එළියට පැන ගන්ඩ වලිකද්දි උඹ රිමාන්ඩ් එකට ගාල් වෙන්ඩ දඟලන්නේ, දෙයියන්ගෙ හාල් කැවිල ද?” පින්තු ඇසුවේ තම මිතුරා අසිහියෙන් දැයි සැකයෙනි.
“මගෙ මේ කොන්දේ අමාරුවට දොස්තරලා වෙද මහත්තුරු කී දෙනෙක්ගෙන් නං බේත් ගත්තද? මම මේ කල්පනා කළේ රිමාන්ඩ් භාරයට ගිහින් ඒකේ ඉස්පිරිතාලෙට ඇතුල් වෙලා බලන්ඩ. රිමාන්ඩ් භාරයට පත්වුණායින් පස්සෙ බොහොම බරපතළ රෝගාබාධවලට ගොදුරු වෙලා බන්ධනාගාර රෝහලට ඇතුල්වුණු අපේ දේශපාලනඥයෝ හැමෝම වගෙ රිමාන්ඩ් එකෙන් නිදහස් වුණා ම ඉහෙන් බහින රෝගයක් නැතුව හොඳ සනීපෙන් ඉන්න හැටි උඹ දැකලා ඇතිනෙ.” නන්දවීර කීවේ ය.
වැඩේ සාර්ථකයි
“කොහොමද නාට්‍ය උලෙළ ගැන අපේ අධ්‍යක්ෂතුමියත් එක්ක කරපු සාකච්ඡාව සාර්ථක වුණාද?” දෙපාර්තමේන්තුවේ කොරිඩෝවේදී හමුවූ සමන්ත, චන්ද්‍රසිරි දෙස බලා සිනාවෙන් ඇසී ය.
“ටිකක් නෙමෙයි ගොඩක් සාර්ථකයි. අපි කියපු දේවල් හැම එකකට ම වගෙ අධ්‍යක්ෂතුමිය එකඟත්වය පළකළා. ඒ විතරක් යැ, අපූරු කේක් කෑල්ලකුයි, කෙසෙල් ගෙඩියකුයි එක්ක හොඳ කිරිතේ එකකුත් දුන්නනෙ බොන්ඩ. එහෙම බැලුවාම වැඩේ හොඳටම සාර්ථකයි.” චන්ද්‍රසිරි කීවේ බඩ අතගාමිනි.
එහෙම කරන්ඩයි කල්පනාව
“උඹ දැන් ළඟදීම රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නවා නේද? පෙන්ෂන් ගියාට පස්සේ මොනවා කරන්ඩද උඹේ කල්පනාව?” මධුවිතක රස බලමින් සිටි ජයසිංහ තම මිතුරු සුබසිංහ දෙස බලා ඇසීය.
“අවුරුදු තිහකට වැඩි කාලයක් සෙක්කුවේ බැන්ද ගොනා වගෙ ආණ්ඩුවටම කැඹුරුවා මදෑ. යුද්ධය ඉවර වුණාට සාමය, සංහිඳියාව ගැන තවම ලොකු කතිකාවක් රට පුරාම තියෙනවනෙ. ඒ හින්දා මම කල්පනා කළේ හොඳ සරු එන්.ජී.ඕ. එකක් අල්ලගෙන සංහිඳියාව වෙනුවෙන් කැප වෙන්ඩ. එතකොට ඒකෙන් ලැබෙන ඩොලර්වලින් මට පුළුවන් කරදරයක් නැතුව කාලා බීලා ජීවත්වෙන්ඩ.” සුබසිංහ කීවේ වඩවා ගත් අපේක්ෂාවකිනි.
බැරි වුණේ ඒ හින්දා
“කාන්තා නියෝජනය අවුල් ජාලාවක් වුණු හින්දා සිරියාවතී නෝනට ප්‍රාදේශීය සභාවට යා ගන්ඩ ලැබෙයිද කියල ෂුවර් නෑ කියන්නෙ ඇත්තද රෝහිණී අක්කෙ? කුණු කන්දට ගේ කැඩුණට මාගරට් අක්කට ලොකු වන්දියක් ලැබුණලු නේද?” මල්කාන්ති තම නිවස අසලින් යමින් සිටි රෝහිණී දෙස බලා සිනාවක් පාමින් විමසුවා ය.
“ඔය කිසිදෙයක් ගැන හරි තොරතුරක් මට දැනගන්ඩ ලැබුණේ නැහැ මල්කාන්ති. මොකද, පහුගිය පෝයට මට සිල්ගන්ඩ පන්සලට යන්ඩ බැරි වුණානෙ, මේ කෙහෙල්මල් වාත අමාරුවක් හින්දා.” රෝහිණී විස්සෝප වෙමින් කීවා ය.
උඹ හිටියා නං....
“ගාමිණී, ඊයෙ හවස අපි ගියා කොළඹ ලොකු හෝටෙල්කට හවස තේ බොන්ඩ. ඒ ගිය වෙලාවේ උඹව, අපි කීප සැරයක් ම මතක් කළා.” පුවත්පත් කන්තෝරුවේ කොරිඩෝවේදී මුණ ගැසුණු ගාමිණී දෙස බලා කුමාර කීවේ ඔච්චම් සිනාවක් පාමිනි.
“ඒ මොකද උඹලා ඒ වගෙ තැනකදි මාව මතක් කළේ?” ගාමිණි ඇසුවේ තරමක කුතුහලයකිනි.
“නෑ බං. ඒ හෝටලේ තේ වලට පුදුම කෑම බීම තොගයක් නෙ තිබුණෙ. ඕනෙ තරමක් කන්ඩ පුළුවන්. එක් කෙනෙකු ගෙන් අය කරන්නෙ රුපිය ල් තුන්දාහක මුදලක්. අපි හය දෙනෙක් හිටියා. ඒත් හයදෙනාට ම බැරි වුණා රුපියල් දහදාහකට වඩා වටිනා කෑම බීම කන්ඩ, බොන්ඩ. නාට්‍යයකට ගියාම උඹ කන බොන තරම් අපි දන්නවනෙ. ඉතින් උඹ එතැන හිටියානං රුපියල් තුන්දාහක නෙමෙයි, හයදාහක කෑම වුණත් ගිලදාන එක උඹට මහලොකු කජ්ජක් නෙමෙයි කියල අපි මතක් කළා.” කුමාර කීවේ සිනාසෙමිනි.