
සොයුරි පබෝදා
මිල - රුපියල් 250
කර්තෘ - වෙන්නප්පුවේ පයස් ප්‍රනාන්දු
ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ
සහෝදරයෝ
කතුවරයා වසර ගණනාවක් තිස්සේ ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතට රචනා කරන ලද කෙටිකතා දහයක් මෙනමින් ප්‍රකාශයට පත් කර ඇත්තේය. කන්‍යා සොහොයුරියන්ගේ ජීවිතය ඇසුරෙන් සමාජය එතුමියන් දකින අන්දම හා එම ජීවිත පිළිබඳ කෙරෙන සමාජ කතාබහ කතුවරයා නිර්මාණාත්වකව මේ කෙටිකතා මගින් ගෙනහැර දක්වයි.
මෙහි සෑම කතාවක්ම කන්‍යා සොහොයුරියන් මූලික කරගත් කෙටි කතාය. එසේම සෑම කතාවකම මාතෘකාවද ‘සිස්ටර් ලෝගු ඇරලා, සිස්ටර් කසාද බැඳලා, සිස්ටර් නරකාදියට ගිහින්’ යනාදී ලෙසින් ‘සිස්ටර්’ යන වදනින් ආරම්භ වී තිබීම ද විශේෂයකි.
එසේ නමුත් කතුවරයා මේ කෙටි කතා සංග්‍රහය නම්කර ඇත්තේ සොයුරි පබෝදා යනුවෙනි.
එසේ වනුයේ එකිනෙකට සම්බන්ධයක් නොමැති වුවද මෙහි එන සෑම කෙටි කතාවකම කන්‍යා සොහොයුරිය පබෝදා නම් වීමය.
පබෝදා නම් වූ තරුණ කන්‍යා සොහොයුරිය කපු සාරියකින් සැරැසී සේවයේ යෙදෙනු දුටු බොහෝ දෙනා සිස්ටර් ලෝගු ඇරලා! කසාද බැඳලා! යැයි කීහ. ඇය මාරුවක් හදා ගෙන දුෂ්කර පළාතක සේවයට යෑම නරකාදියට යෑමක් වශයෙන් හැඳුන්වූහ. මෙලෙස පබෝදා කන්‍යා සොහොයුරිය වටා ගෙතුණු සියලු සිදුවීම් සමාජ කතාබහට ලක්වන අන්දම කතුවරයා උපහාසයෙන් යුතුව අපූරුවට මේ කෘතියෙන් පාඨක රුචිය දනවන අන්දමින් ඉදිරිපත් කරයි.
කන්‍යා සොහොයුරියන්ගේ උත්තරීතර ජීවිතය දෙස සමාජය බලන අන්දම කතුවරයා දයානුකම්පිතව හා උපහාසය මුසුව ඉදිරිපත් කර ඇත්තේ ඉතා ළගන්නා සුලු භාෂාවකිනි.
ජෝක්ස් සහ
විහිළු තහළු
මිල - රුපියල් 300
කර්තෘ - ලාල් හේවාපතිරණ
ප්‍රකාශනය - මීඩියා ඇන්ඩ් මැසේජස්
විනෝදවන්නට කැමැති හා අන් අය විනෝද කරවන්නට කැමැති විනෝදකාමීන් හා හාස්‍ය ප්‍රිය කරන්නන් වෙනුවෙන් ලියැවුණු කෘතියකි. එසේම ඉංග්‍රිසි බස කියැවීම කෙරෙහි විශේෂයෙන්ම තරුණ පරපුර උනන්දු හා හුරු කරවීම සඳහා මෙහි මුල් කොටස විහිළු තහළු ඉංග්‍රිසි බසින් රචනා කිරීමට ද කතුවරයා කටයුතු කර ඇත.
පහත දැක්වෙන්නේ මෙහි එන එක් විහිළු කතාවකින් කොටසකි. මේ සංවාදය එන්නේ ගමක පැවැති වෛද්‍ය සායනයකදී ජනතාව දැනුම්වත් කිරීමේ දේශනයකින් අනතුරුවය. මලබද්ධය පිළිබඳ කෙරුණු දේශනයෙන් පසු දේශකයා මලබද්ධය අඩු කර ගැනීමට කළයුතු දෑ විමසයි. බොහෝ දෙනා නිහඬව සිටියදී එක් අතක් සෙමෙන් එසැවෙයි. ඒ ගමේ කම්මල්කරුය.
කතුවරයා එතැන මෙසේ යොදයි.
කම්මල්කරු : මහත්තයෝ, අපි නම් කරන්නේ එතන පොඩ්ඩක් නොම්මර එකේ වැලි කඩදාසියෙන් සුද්ද කරලා ඇන්ටි කොරොසිව් ටිකක් ගානවා. එතකොට ආයි මල හැදෙන්නේ නැහැ.
කෘතියේ ඉංග්‍රිසි බසින් ඉදිරිපත් කර ඇති විහිළු තහළු ද ඕනෑම වයසක පාඨකයකුට වුව කියවා රස විඳිය හැකි අයුරින් සරලව ඉදිරිපත් කර ඇත්තේය.
බුද්ධ වචනය සදාතනිකයි
මිල - රුපියල් 250
කර්තෘ - ලාල් හේවාපතිරණ
ප්‍රකාශනය - මීඩියා ඇන්ඩ් මැසේජස්
බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බෞද්ධ දේශනා අතුරින් තෝරා ගත් කොටස් අලළා රචනා කරන ලද කෘතියකි. එදා මෙන්ම අදටත් ලොව ඕනෑම තරාතිරමක කෙනකුට සිය ජීවිත යහපත් මාර්ගයට ගැනීම සඳහා ඉවහල්වන සරල බොදු දේශනා ඇතුළත්ය.
විද්වද් කියමන්
මිල - රුපියල් 350
කර්තෘ - ලාල් හේවාපතිරණ
ප්‍රකාශනය - මීඩියා ඇන්ඩ් මැසේජස්
සම්භාවනීය වෘත්තිකයන් නායකයන් කීර්තිමත් විද්‍යාඥයන් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් සහ ප්‍රවීණ දේශපාලනඥයන් ආදී ලෝකයේ සුපතළ පුද්ගලයන්ගේ කියමන් ඇතුළත් ග්‍රන්ථයකි. ලොව විශිෂ්ට පුද්ගලයන් 160 දෙනකුගේ කියමන් 1050ක් ද සත්‍ය කතා හා උපමා කතා 150ක් ද අභිමානය, දැනුම අභියෝග, අනාගතය, අරමුණු, අසහනය හා ආදරය යනාදී ලෙසින් විවිධ තේමා 50ක් යටතේ මෙහි දැක්වේ.
අක්ෂර වින්‍යාසය ශබ්ද කෝෂය එළි දැක්වේ
‘සිංහල අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය‘ සහ ‘ශ්‍රීමත් ඩී.බී. ජයතිලක -150 වන ජන්ම සංවත්සරය‘ ග්‍රන්ථද්වය ජනගත කිරිමේ උත්සවය මාර්තු 21දා බදාදා පෙරවරු 9.00ට කොළඹ 07, ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමැති එස්. බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
ගොඩගේ සාහිත්‍ය උලෙළට කෘති බාර ගැනේ
ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ මේ වසරේ විසි වැනි වරටත් සංවිධානය කෙරේ. ඒ සඳහා කෘති බාර ගැනීම 2018 අප්‍රේල් 30 දක්වා සිදු කෙරේ. 2017 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි ISBN අංකය සහිතව මුල් වරට පළකරන ලද කෘතිවලින් පිටපත් තුන බැගින් අප්‍රේල් 30 වැනිදාට පෙර ගොඩගේ පොත් මැදුරේ, ගොඩගේ සාහිත්‍ය සම්මාන සම්බන්ධීකරණ කාර්යාලය වෙත ලැබීමට සලස්වන මෙන් සංවිධායක මඩුල්ල ඉල්ලා සිටියි. වැඩි විස්තර0112686925, 0114614904 හෝ [email protected] මඟින් ලබා ගත හැකිය.
රික්ෂෝකාරයා
මිල - රුපියල් 500
කර්තෘ - කුමාර සිරිවර්ධන
ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් - සුරස
විසිවැනි සියවසේ අග භාගයේ චීනයේ බිහිවූ හොඳම නවකතාකරුවන් අතරින් අයකු වූ ලාඕ ෂී ගේ Rickshaw Boy නවකතාවේ පරිවර්තනයයි. පිටිසර ගම්මානයක සිට බෙයිපිංග් නගරයට පැමිණ රික්ෂෝකාරයකු බවට පත් වු ශක්තිමත් අවංක තරුණයකු ගැන ලියැවුණු මේ නවකතාව ඇමෙරිකාවේ අලෙවි වාර්තා තැබූ කෘතියකි. සරල අවශ්‍යතා සහ යහපත් ඇවතුම් පැවතුම් සහිත තරුණයකුගේ ජීවිතය පරිහානියට පත්වූ අයුරු අනුවේදනීය ලෙස මින් විස්තර කෙරේ.
ෂිඇන්ග්සි යනු මෙහි එන තරුණ රික්ෂෝකරුය. ඔටුවා යනු ඔහු ලද අන්වර්ථ නාමයයි. බෙයිපිංග් නගරයේ රික්ෂෝකරුවකු වූ ඔටුවා ගේ උත්සාහය වූයේ තමාගේම රික්ෂෝවකට හිමිකම් කීමටය.
ඒ අරමුණ සාක්ශාත් කර ගැනීමට යෑමේදී ඔහුට විවිධ බාධක හා කරදරවලට මුහුණ දීමට සිදු විය. අවසානයේ ඔටුවාට කුමක් සිදූවීද?