දූ අනු­රාධා පටු අර­මු­ණක් ඇතිව කරන ප්‍රසං­ග­යක් නොවෙයි | සිළුමිණ

දූ අනු­රාධා පටු අර­මු­ණක් ඇතිව කරන ප්‍රසං­ග­යක් නොවෙයි

පියා මව සහ දුව එකම වේදිකාවක ගීතවත් වෙන දූ අනුරාධා ප්‍රසංගය අද සවස නෙළුම් පොකුණ රඟහලේදී

මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් විසින් 1974 වර්ෂයේදී මුල් වරට ගායනා කළ ‘දූ අනුරාධා‘ යනු මෙරට ගීත කලාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ ගීතයක් ලෙස සැලකේ. තම දියණිය උපන් මොහොතේ පියකුගේ සිතෙහි හට ගන්නා ආදරණීය ප්‍රහර්ෂය, ගීතයකට හැරවෙන ඒ මොහොතෙහි පද රචනය ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්තිගෙනි. එදා අනුරාධා නමින් ඉතිහාසගත ගීතයට වස්තු බීජය වූ ඒ ළදැරිය අද වන විට සංගීත විශාරදවරියකි. එමෙන්ම සංගීත ආචාර්යවරියකි. හතළිස් තුන් වසරකට පෙර අතීතයේ ගැයුණු එම ගීය නමින්ම නම් කළ ‘දූ අනුරාධා‘ ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේදී අද (11) පස්වරු 6. 30 ට පැවැත් වේ. සිය පියා සහ මව සමඟ එකම වේදිකාවකදී ගී ගයන්න සූදානම් වෙන දූ අනුරාධා හෙවත් අනුරාධා නන්දසිරි ප්‍රසංගය පිළිබඳ රසඳුන සමඟ මෙසේ කතාබහට එක් වූවාය.

අනූරාධා නන්දසිරිව ගායන කේෂ්ත්‍රයට ගේන්න යෙදූ උපක්‍රමයක් විදියට ද ‘දූ අනුරාධා‘ ප්‍රසංගය පවත්වන්නේ ?

ඇත්තටම එහෙම කිසි පටු අරමුණක් ඇතිව කරන ප්‍රසංගයක් නෙවෙයි. මට මගේ ප්‍රසංගයක් කරන්න කියලා යාළුවෝ, ඥාතීන් නිතර කිව්වා. ඒ සඳහා හොඳ අනුග්‍රාහකයන් පවා ලැබුණා. ඒත් පොඩි පොඩි සිදුවීම් එක්ක ඒ දේ පස්සට ගියා. අනික මට තනිව ප්‍රසංගයක් කරන්න තරම් ලොකු ඕනකමක් තිබුණෙත් නැහැ. මොකද මම ජනප්‍රියත්වය පස්සේ යන්න හරි නිතර නිතර වැඩ ගොඩක හිරවෙන්න කැමැතිත් නැහැ. ඒ ආඩම්බරකමකට හරි ලොකුකමකට හරි නෙවෙයි. මම කැමැති සරළ, චාම් ජීවිතයක් ගත කරන්න. අනික මම මගේම සිංදු කිහිපයක් කරලත් තියෙනවා. තාත්තගේ ප්‍රසංගවලදි සහය ගායනයෙන් එකතු වෙලා තියෙනවා. ඒ නිසා මට අමුතුවෙන් කේෂ්ත්‍රයට එන්න ප්‍රසංගයක් පවත්වන්න ඕන වේවි කියළා හිතන්නේ නැහැ.

* නමුත් වර්තමානයේ බොහෝ කලාකරුවන්ගේ දූ දරුවන් ඒ අඩි පාරේ යද්දි, අනුරාධා එහෙම නොයන්නේ මාකට් එකක් නැති නිසා ද ?

මම මේ වෙනකොට මගේම ගීත විසි පහක් විතර කරලා තියෙනවා. සී. ඩී එකක් කරන්න අවශ්‍ය ගීත මා සතුව තිබෙනවා. ඒත් දැන් සී ඩී එකක් කළා කියලා පලක් වෙන්නේ නැහැ. අනෙක් කාරණය තමයි මම ගීතයක් කියන්න කලින් ඒ ගීතයෙන් කියැවෙන දේ, සමාජයට ලබාදෙන පණිවුඩය මොකක්ද කියලා බලනවා. අඩු ගාණේ පද පේළියක වචන දෙකක් අතර තියෙන තේරුම ගැන පවා සැලකිලිමත් වෙනවා. මගේ අම්මා, තාත්තා වගේම හොඳ කලා පරපුරක් මට ඉන්නවා. ඒ අයට කිසි හානියක් නොවන විදියට කටයුතු කිරීම අපේ වගකීම. මට අර සිංදුව කියන්න එපා මේ සිංදුව කියන්න එපා කියලා මවුපියන්වත්, සැමියාවත් සීමා දාල නැහැ. ඒත් මම විසින් මට යම් සීමා දාගෙන තියෙනවා. එහෙම වුණාම සියලුදෙනාගේ ගෞරවය ආරක්ෂා කරගෙන වැඩ කරන්න පුළුවන් වෙනවා. අනෙක මම මුලදිත් කිව්වා ගොඩක් වැඩ බදාගෙන කරන්න මම ආස නැහැ. සරළ ජීවිතයක් තමයි මම නිතරම හොයන්නේ.

* මේ ප්‍රසංගයේ ඇති විශේෂත්වය කුමක් ද ?

මේ තරම් කාලයක් මමයි, අම්මයි කළේ තාත්තගේ සහය ගායිකාවන් විදියට ප්‍රසංගවලදි කටයුතු කරපු එක. ඒත් මට ප්‍රසංගයක් කරන්න කියලා ඉල්ලීම් ආවම මට ආස හිතුණා මට නිරන්තර හයියක් වුණ අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා ප්‍රසංගයක් කරන්න. ඒක පුද්ගල වෙනුවට මෙය ත්‍රී පුද්ගල ප්‍රසංගයක් බවට පත්වුණා. මෙහිදී මම අම්මගේ තාත්තගේ වගේම මගේ ගීතත් ගායනා කරනවා. දූ අනුරාධා ගීතයට පිළිතුරු ගීතයකුත් කියන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම නෙළුම් පොකුණ රඟහලේ අපි ප්‍රසංගයක් කරල තිබුණෙත් නැහැ. එවැනි කාරණා රැසක් ගැන කල්පනා කරලා තමයි දූ අනුරාධා නමින් ප්‍රසංගය පවත්වන්න සැලසුම් කළේ.

* එතකොට අනුරාධා සංගීතය හදාරා තියෙනව ද ?

ඔව්, මම කුඩා කාලයේ ඉඳලා තාත්තගෙන් ගුරු හුරුකම් ලැබුවා. තාත්තට ඕන වුණේ මට හොඳ සංගීත ඥානයක් ලබාදෙන්න. ඒ නිසා මට සංගීතය හොඳින් ඉගෙන ගන්න වුණා. මේ වෙනකොට විශාරද උපාධිය සමත් වෙලා ඉන්නේ. ඒ වගේම මම අධ්‍යාපනය හැදෑරුව මියුසියස් විද්‍යාලයේම සංගීත ගුරුවරිය ලෙස සේවය කරන්න අවස්ථාව ලැබුණා. එක පැත්තකින් එය මම ලැබූ ලොකු භාග්‍යයක්. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා අවුරුදු අටක් පමණ එංගලන්තයේ සිටියා. ඉන් පස්සේ ලංකාවට ආවම තාත්තගේ සංගීත පංතියට උදව් වෙන්නත් අවස්ථාව ලැබුණා.

* වර්තමානයේ ඇසෙන ගීත ගැන මොකද හිතෙන්නේ ?

අපිට අතීතයේ ඉඳලා හොඳ ගායන පරපුරක් හිටියා. හොඳ ගීත නිරන්තර ඇහුණා. ඒත් දැන් ප්‍රචාරය වන ඇතැම් ගීත ඇහුවම යම් කනගාටුවක් දැනෙනවා. විශේෂයෙන්ම අද ගොඩක් දේ මුදල මත තීරණය වෙලා. ඒ නිසා ගීතයත් තුළින් දේන දේට වඩා මොකක් හරි කියලා සල්ලි හොයන ක්‍රමයක් හැදිලා තියෙන්නේ. මම එක උදාහරණයක් කියන්නම්. මගේ මිතුරියක් හිටියා ඇය වෛද්‍යවරියක්. එංගන්තයේ ගිහින් ඒ රටේ රෝහලක තමයි සේවය කරන්නේ. එහිදි ඇයට ඒ පරිසරය එම රෝහල අමුතු තැනක් නොවෙන්නේ ඇයට එහිදි මුණ ගැසෙන තවත් වෛද්‍යවරියක් නිසා. මේ දෙන්න හොඳ මිතුරියෝ. ඒ නිසා මගේ මිතුරියට අවශ්‍ය වෙනවා එංගලන්තයේදි හමුවුණ මිතුරියට තමන්ගේ මිතුරුකම බැඳීම පෙන්වන්න. ඒ නිසා ඇය ගීතයක් කරල මට කියලා ගායනා කරවනවා. ඉන් පස්සේ ඇය ඒකට විෂුවල් එකතු කරන්න තීරණය කරනවා. එහිදී අපි පුදුමාකාර විදියට පරිස්සම් වුණා. මොකද මේ මිතුරියන් දෙන්නකුගේ මිතුරුකමක්. මේ විෂුවල්වලින් පුංචි හරි වැරැදි අදහසක් ගියොත් ඒ දිහා බලලා විවිධ කතා කියන්න ඕන තරම් ඉන්නවා. ඒ නිසා අපි පුදුමාකාර විදියට පරිස්සම් වෙලා ඒ විෂුවල් කළා. හැබැයි වාරයක් දෙකක් ප්‍රචාරය වුණා. ඉන් පස්සේ ඒ ගීතයට මොකක් වුණාද කියල දන්නෙවත් නැහැ. ඒකයි මම කියන්නේ වර්තමානයේ ප්‍රචාරය වන ඇතැම් ගීත ගැන සෑහීමකට පත්වෙන්න බැහැ කියලා.

* දූ අනුරාධා ප්‍රසංගය කොළඹින් පස්සේ රට වටේම අරන් යනවද ?

අපි මේ ප්‍රසංගය සංවිධානය කළේ විශේෂ ප්‍රසංගයක් ලෙසයි. එහෙම නැතුව තව පවත්වනව ද කියලා තීරණය කරල තිබුණේ නැහැ. නමුත් දැනටත් මේ ප්‍රසංගය පවත්වන්නත් කලින් බොහෝ දෙනකුගේ ඉල්ලීමක් තියෙනවා දිස්ත්‍රික් වශයෙන් හරි පවත්වමු කියලා. ඒ වගේම විදේශ රටවල්වල ඉන්න ශ්‍රී ලාංකියන්ගෙනුත් ලොකු ඉල්ලීමක් තියෙනවා ඒ රටවලටත් එන්න කියලා. ඉදිරියේ දී ඒ එන ඉල්ලීම් බලලා ඒ අනුව තීරණය කරනවා මේ ප්‍රසංගය ඉදිරියටත් පවත්වනවද කියලා.

* මේ ප්‍රසංගයෙන් පස්සේ ඔබත් නිතරම මාධ්‍යවල වගේම සංදර්ශන වේදිකාවලත් දකින්න පුළුවන් වේවි නේද ?

මාව දැනටත් මාධ්‍යවල දකින්න ලැබෙනවා. විවිධ වැඩසටහන් වලට නිතර කතා කරනවා. ඒ නිසා මාධ්‍යවලින් හොඳ අවස්ථාවක් තියෙනවා. ප්‍රසංග වේදිකාවල වටපිටාවේ එන ශබ්දයත් එක්ක මට ගීත ගායනා කරන්න යම් අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා එම වේදිකාවල නිරන්තර දකින්න ලැබෙන එකක් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනි මේ ප්‍රසංගයට අපි කිසි නිල මාධ්‍ය අනුග්‍රහයක් ලබාගත්තේ නැහැ. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් උපරිම සහයෝගයක් ලබාදෙනවා. මම ඒ සියලුදෙනාට ස්තූතිය පුදකර සිටිනවා.

 

Comments