සුන්දර වැනී­සිය බඳු විලා­ජියෝ සාප්පු සංකී­ර්ණය ගොන්ඩෝලා සවාරි - සිනමා ශාලා 13 ක් | සිළුමිණ

සුන්දර වැනී­සිය බඳු විලා­ජියෝ සාප්පු සංකී­ර්ණය ගොන්ඩෝලා සවාරි - සිනමා ශාලා 13 ක්

ඔලිම්පික් ප්‍රමාණයේ අයිස් හොකී ක්‍රීඩාංගණයක් සාප්පු සංකීර්ණ යනු එක් වෙළඳසලක් ව නොව විවිධ කඩසාප්පු විශාල ප්‍රමාණයක් එකම ස්ථානයක දක්නට ලැබෙන ස්ථාන යක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. යමක් මිලදී ගැනීමට පමණක් ව නොව භාණ්ඩ වල මිල ගණන් බැලීමට හා මිතුරු මිතුරියන් සමඟ කාලය ගත කිරීමටද සාප්පු සංකීර්ණ වෙත යන්නට බොහෝ දෙනා පෙළඹී සිටිනවා.

මේ නිසා වර්තමානයේ මෙවැනි වෙළෙඳ සංකීර්ණ වල කඩසාප්පු වලට අමතරව ආපන ශාලා, සිනමාහල් හා කුඩා දරුවන්ට විනෝද විය හැකි ස්ථාන මෙම සාප්පු සංකීර්ණ තුළ ඉදිකරනු දක්නට ලැබේ. කටාර් රාජ්‍යයේ තිබෙන 'විලාජියෝ' (Villaggio) සාප්පු සංකීර්ණය සාමාන්‍ය සාප්පු සංකීර්ණයක් නොව මැදපෙරදිග තිබෙන හොඳම සාප්පු සංකීර්ණය බවට පත්වී තිබෙන්නේ එය ඉදිකර ඇති ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශේෂත්වය නිසායි.

දෝහා රටේ සාප්පු සංකීර්ණ අතරින් වඩාත්ම කැපී පෙනෙන සාප්පු සංකීර්ණය වන මෙය පිහිටා තිබෙන්නේ අල් නොබ් වීදියේ වන අතර මෙය වත්මන් ලොවේ ප්‍රසිද්ධ වීමට හේතුව වන්නේ මෙහි ඇතුළත කඩසාප්පු සියල්ලම පැරැණි ඉතාලි මුහුදුබඩ නගරයක මෙන් සාදා තිබීමයි. ලොවේ ප්‍රකට ඉතාලියේ වැනීස් නගරයට සමාන වීමට ඇළ මාර්ගයක්ද සකසා තිබෙන අතර එහි වැනීසියේ මෙන්ම 'ගොන්ඩෝලා' බෝට්ටු සේවයක් පවා ක්‍රියාත්මක වේ.

එසේම මෙම කෘත්‍රිම නගරයට ජීවය දීමට මෙම සාප්පු සංකීර්ණයේ වහළය සැබෑ අහස ලෙසින් දිස්වෙන අයුරින් විශිෂ්ට ලෙසින් සකසා තිබේ. 2006 වර්ෂයේදී විවෘත කර තිබෙන මෙම සාප්පු සංකීර්ණය ශෙයික් බින් හමාඩ් ගේ මූලික අදහසකට අනුව සාදා තිබෙන අතර මෙ වනවිට දිනපතා 45000ක පමණ පිරිසක් මෙහි පැමිණෙති.

සුන්දර වැනීසියේ මෙන්ම ඇළ මාර්ග හා ඒ මතින් ඉදිවූ පාලම් මෙන්ම වීදි ලාම්පු හා බංකු ඉදිකර තිබෙන්නේ ලොව සුපතල සුඛෝපභෝගී වෙළෙඳ නාම සහිත කඩ සාප්පු මධ්‍යයේය. ඊට අමතරව කටාර් රාජ්‍යයේ හා ලෝකයේ ප්‍රසිද්ධ ආහාර අලෙවි නාම විශාල ප්‍රමාණයක් තිබෙන ස්ථානයක්ද මෙහි තිබේ. මේ සියල්ලම අභිබවා යන්නේ මෙහි තුළ තිබෙන ඔලිම්පික් ප්‍රමාණයේ අයිස් ක්‍රීඩාංගණයයි. අයිස් හොකී ක්‍රීඩා කිරීමට යොදා ගන්නා මෙම ක්‍රීඩාංගණය කටාර් රාජ්‍යයේ තිබෙන අයිස් හොකී ක්‍රීඩාංගණ දෙකෙන් එකක් වේ.

මීට අමතරව සුඛෝපභෝගී සිනමාශාලා 13ක් මෙහි තිබෙන අතර කටාර් හි එකම IMAX සිනමා ශාලාවද ඒ අතරට අයත් වෙයි. සාප්පු සංකීර්ණය සඳහා වෙන්වූ වර්ග මීටර 120000 හැරුණු විට වර්ග මීටර 22000කින් යුතු තේමා උද්‍යානයක්ද මෙහි තිබේ. කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද විනෝද විය හැකි ලෙසින් විවිධ අංග විශාල ප්‍රමාණයක් මෙම කෘත්‍රිම වැනීසියේ දකින්නට ලැබෙනවා.

Comments