
විවාහයට වඩා දරු සුරතල් හොඳයිලු
ගායිකා ජෙනිෆර් ලෝපෙස් සහ ප්‍රසිද්ධ බේස් බෝල් ක්‍රීඩකයකු වන ඇලෙක්ස් රොඩ්රිගූස් අතර පෙම් සබඳකමක් ඇතිවී දැන් සෑහෙන කාලයක් ගතවෙලා. පසුගිය සතියේදී මේ සබඳකම තව තවත් ශක්තිමත් වූ බවක් පෙනෙන්න තිබෙනවා. නමුත් එයින් හැඟවෙන්නේ ජෙනිෆර් සහ ඇලේක්ස් ගේ විවාහය ළඟදීම සිදුවන බවක් නොවෙයි.
මේ වනවිට 42 වැනි වියෙහි පසුවන ඇලෙක්ස් මීට කලින් සින්තියා ස්කෲටිස් නම්වූ මනෝවිද්‍යා ගුරුවරියක සමඟ 2002 - 2008 අතර කාලයේදී විවාහ වී සිටියා. ඒ විවාහයෙන් ඇලෙක්ස්ට දරුවන් දෙදෙනකු සිටිනවා.
දැනට 48 වැනි වියෙහි පසුවන ජෙනිෆර්, තුන් වරක් විවාහ වී සිටි අයකු බව රහසක් නොවෙයි. ඇය මුලින් ම විවාහ දිවිය ඇරැඹුවේ 1997 දී කියුබානු ජාතික නළුවකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයකු වන ඔජානි නොආ සමඟයි. නමුත් ඒ විවාහය රැඳුණේ වසරක් පමණයි. 2001 දී හොලිවුඩ් නළු ක්‍රිස් ජඩ් සමඟ ජෙනිෆර් විවාහ වුණත්, ඒ යුග දිවිය 2003 දී නිමාවට පත්වුණා. නැවත 2004 දී ඇය විවාහ වූයේ ජනප්‍රිය නළු මාක් ඇන්තනි සමඟයි. එම යුග දිවිය පැවතුණේ 2014 වනතුරු පමණයි. මාක් - ජෙනිෆර් විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකු සිටිනවා. ඇලෙක්ස්ටත් ඔහුගේ පෙර විවාහයෙන් දරුවන් දෙදෙනකු සිටින නිසා මේ දරු සුරතල් බලමින් ජීවිතය පුරා ළං වී හිඳින්නලු දෙදෙනාගේ කැමැත්ත. විවාහයක් ගැන දැනට නම් සිතා බලා නැතිලු.
කේට් - ලියෝ යුවළගෙන් පින්කමක්
එංගලන්තයේ වෙසෙන ජේමා නටාල් නම්වූ 29 වියැති ගැබිණි මවකට පිළිකාවක් වැලඳුණේ ඇය කිසිසේත්ම අපේක්ෂා නොකළ මොහොතකදීයි. සිරුරේ කිසියම් තැනක ගැටිත්තක් ලෙසින් මතුවූ එම පිළිකාවට ප්‍රතිකාර ලබාගත් ඇය, දියණියක බිහි කළා.
පසුකාලයේදී ඇගේ මොළය, පිළිකා රෝගයට ගොදුරු වෙමින් පවතින බව හෙළිවුණා. එය සුව කිරීමට අවශ්‍ය ප්‍රතිකාරවලට පවුම් 4,20,000 ක් අවශ්‍ය යැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළා.
ජේමා නටාල් සහ ඇගේ මවට එතරම් මුදලක් වැය කළ හැකි වුණේ නැහැ. බලාපොරොත්තු කඩවී සිටි ඔවුන්ගේ සිත්වලට වචනයෙන් කිව නොහැකි තරම් සහනයක් රැගෙන ආවේ ‘වොන්ඩර් ක්ලිනික්’ ස්වේච්ඡා සංවිධානයයි. පිළිකා රෝගීන් සුවපත් කිරීමට මූල්‍ය ආධාර ලබාදීමේ අරමුණෙන් යුතුව පිහිටුවා ඇති මේ සංවිධානයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජනප්‍රිය නිළි කේට් වින්ස්ලට්. මේ සංවිධානයේ කටයුතු සොයා දැන ගත්තේ ජේමා නටාල්ම තමයි. ඇගේ ඉල්ලීමට කන් දුන් කේට්, වහාම ඇය වෙනුවෙන් මුදල් එකතු කිරීමට වැඩ පිළිවෙළක් දියත් කළා. ඇය, මේ සඳහා තම කලණ මිතුරු ජනප්‍රිය නළු ලියනාඩෝ ඩි කැප්රියෝ ද සහය කර ගත්තා. ඔහුගෙන් කේට් වෙත ලැබුණේ නොමසුරු සහයෝගයක්. අවශ්‍ය මුදල ලැබීමෙන් පසුව ජේමා නටාල් හට අවශ්‍ය ප්‍රතිකාර ලැබුණා. මේ වනවිට ඇය සුවය ලබා සිටිනවා. ‘කේට් වින්ස්ලට් තමයි මගේ ජීවිතය බේරුවේ.’ තරුණ මව මුළු ලොවටම හඬගා ප්‍රකාශ කළා.
මිය ගිය ක්‍රීඩකයා සිනමාවට...
ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයකු වන මාක් ගෝඩන් මේ දිනවල පසුවන්නේ දැඩි භීතියකින්. ඒ, ඔහුට නාඳුනන පාර්ශ්වයක් වෙතින් මරණ තර්ජන එල්ල වෙමින් පවතින නිසයි. මේ තර්ජන මතුවීමට මුල් වී ඇත්තේ එක්තරා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මාක් ගෝඩන් සූදානම් වෙමින් සිටින නිසයි.
චිත්‍රපටයේ නම, ‘ඕල් ඇමෙරිකන් මර්ඩර්’. මෙය ඇමෙරිකාවේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ ඈරොන් හර්නැන්ඩස් ගේ ජීවිතය තේමාකර ගත් සිනමා නිර්මාණයක්. 1989 දී උපත ලද හර්නැන්ඩස්, ගේ පාපන්දු ක්‍රීඩා දිවියට අනපේක්ෂිතව තිත තැබුණේ ඔඩින් ලොයිඩ් නමැත්තාගේ ඝාතනයෙන් පසුවයි. සැකපිට අත්අඩංගුවට පත්වූයේ හර්නැන්ඩස්. පසුගිය වසරේ අප්‍රේල් මස හර්නැන්ඩස් සිය දිවි හානිකර ගත්තා.
නිෂ්පාදක ගෝඩන් පවසන්නේ හර්නැන්ඩස්ගේ ජීවිතය කේන්ද්‍රකර ගත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට තවත් සිනමාකරුවකු වන ටොඩ් ගුසීගේ බලාපොරොත්තුවක් තිබූ බවයි. එහෙත් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ අයිතිය හිමිවී ඇත්තේ ගෝඩන්ටයි. ඔහු විශ්වාස කරන්නේ මරණ තර්ජන එල්ල වන්නේ ටොඩ් ගැසීගෙන් බවයි. එම නිසා ටොඩ් ගුසී සහ ඔහුගේ පිරිවර තම කාර්යාලයෙන් මීටර් 300 ක පමණ දුරක පිහිටි ස්ථානයක රඳවා තබන්නැයි ගෝඩන් උසාවියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
රෙබෙකාගේ අපූරු නිදහස
රෙබෙකා ෆර්ගසන් ගේ ප්‍රියතම විනෝදාංශය වී ඇත්තේ ඇය රඟපාන චිත්‍රපටවලට යොදාගන්නා සමහර උපාංගයන් කාටත් නොදන්වාම ලබාගෙන නිවසට රැගෙන යාමයි. ඒවා ඇය සුරැකිව තබා ගන්නේ තම සිනමා දිවියේ සිහිවටන හැටියට සලකමින්. කාටත් නොදන්වා මේවා රැගෙන යාම සොරකමක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා එය නිවැරැදි ක්‍රියාවක් නම් නොවෙයි.
කොහොම වෙතත් රෙබෙකා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඇගේ සිහිවටන අතරට මෑතකදී එකතු වූ හිස් කබලත් එලෙස නොදන්වා රැගෙන ආ එකක් බවයි.
“මේ හිස් කබල මම අරගත්තෙ ‘හර්කියුලිස්’ චිත්‍රපටයෙ රඟපාන අතරෙදියි. ඇත්තටම මම ඒක හොරකම් කළා. හැබැයි, මම නම් කියන්නෙ ඒක නිදහස් කරගෙන ආවා කියලයි. චිත්‍රපටයෙ රඟපාද්දි මම මේ හිස් කබල දැක්කා. ඒ ගමන මම ඒ චිත්‍රපටයේ පසුතල නිර්මාණ ශිල්පියා ගෙන් ඇහුවා, මම මේක අරගත්තට කමක් නැද්ද කියලා. එහෙම ඇහුවාම එයා මගෙ දිහා පුදුම වෙලා බලන් ඉඳල අහක බලාගෙන ගියා. ඉතින් මම ඒක අරගත්තා.” හිස් කබල ‘නිදහස්’ කරගත් හැටි රෙබෙකා තේරුම් කර දුන්නේ ඔන්න ඔහොමයි.