පෝරි­සා­දයා චිත්‍ර­ප­ටයේ පොලිස් කාන්තා චරි­ත­යට හොඳ ප්‍රති­චාර ලැබෙ­නවා | සිළුමිණ

පෝරි­සා­දයා චිත්‍ර­ප­ටයේ පොලිස් කාන්තා චරි­ත­යට හොඳ ප්‍රති­චාර ලැබෙ­නවා

පසුගියදා තිරගතවීම ඇරැඹු පෝරිසාදයා සිනමා පටයේ කාන්තා පොලිස් පරීක්ෂක හේලි වෙඩිසිංහ මේ දිනවල බොහෝ පිරිසකගේ කතා බහට ලක් වු චරිතයක්.පිරිමින් සමග හරි හරියට සටන් වදින ඇය හැබෑවටම පොලිස් කාන්තාවක් දැයි සිතෙන තරමටම සාරථක රංගනයක නියැළෙනවා. හේලිගේ චරිතය රඟන උදාරි වර්ණකුලසූරිය මෙවර රසඳුන තුන්වැනි පිටුව හැඩකරන්නට අප හා එක්වුණා.

▲ කොහොමද උදාරි 'පෝරිසාදයාට' ලැබෙන ප්‍රතිචාර.

පෝරිසාදයා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අරන් තවම ටික දවසක් වුණාට ලැබෙන ප්‍රතිචාර ඉහළයි.මම නිරූපණය කළ පළමු ඇක්ෂන් මූවි එක. මම හිතනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මෙය අලුත් අත්දැකීමක් වෙයි.

▲ මේතරම් හොඳට සටන් කරන්න පුරුදු වුණේ කොහොමද?

චිත්‍රපටය රූගතකරන්න පෙර අජන්ත මහන්තආරච්චි සටන් අධ්‍යක්ෂවරයා යටතේ හොඳින් පුරුදු පුහුණු වීම්කළා. කොහොමත් බිනර මලී ටෙලි නාට්‍යයේ සටන් ජවනිකා කළ නිසා පෝරිසාදයා රඟපෑම පහසු වුණා.

▲ පෝරිසාදයා හි කතාව පාතාලයට සම්බන්ධ සම්බන්ධ සිදුවීමක්ද..

පාතාලයත්, නීතියත් තමයි චිත්‍රපටයේ මුලික තේමාව. ඒ වටා ගෙතුණු පවුලක තාත්තා, දුව, පුතා වටා ගෙතුණු ත්‍රාසජනක කතාවක් මෙහි තිබෙනවා. එහෙත් මෙය හරිම සංවේදීයි. මම කතාව කියන්න කැමැති නැහැ.හැමෝටම බලන්න එන්න කියලා ආරාධනා කරනවා. එතකොට හිතෙයි කොච්චර ලස්සනද කියල.

▲ මේ දිනවල පුංචි තිරයේත් උදාරි ජනප්‍රියයි..

ඔව්..ඔව්. පුංචි තිරයේ ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා. එකක් හිරු නාළිකාවේ අහස් මාලිගා. අනෙක ස්වාධීන රූපවාහිනියේ පිනි. මේ දෙකටම හොඳට ප්‍රතිචාර ලැබෙනවා.අහස් මාලිගා හි මම පළමු වතාවට විශ්ව කොඩිකාර සමඟ රඟපානවා.

▲ ඒ කියන්නෙ පුංචි තිරයෙන් ලැබෙන ජනප්‍රියත්වය වැඩියි කියලද?

මම ආවෙ සිනමාවෙන්. ඒ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂවරයාගේ පායා එන්න හිරු සේ සිනමා පටයෙන්. ඉන් පසුව තවත් චිත්‍රපට හතරක රඟපෑවා.

ඉන් ඇලඩින්ගේ පුදුම පහන චිත්‍රපටය තවම තිරගත වූයේ නෑ.එහි ජමිලාගේ චරිතය තමයි මම නිරූපණය කළේ.

බොඳ මීදුම් ටෙලිනාට්‍යයෙන් තමයි පුංචි තිරයට ආවේ.දැනට ටෙලි නාට්‍ය දහයක විතර රඟපා තිබෙනවා.

චිත්‍රපටයක් බලන්න ප්‍රේක්ෂකයෝ වුවමනාවෙන්ම යන්න ඕන වුණත් ටෙලි නාට්‍ය නිවෙසේ සිට නරඹන්න පුළුවන් නිසා ගොඩක් ‍දෙනෙක් අතරට යනවා.

▲ රඟපෑමයි පෞද්ගලික ජීවිතයයි කොහොමද සමබරව පවත්වාගෙන යන්නේ..

මගේ ජීවිතේ අංක එක පෞද්ගලික ජීවිතය. ඒ කියන්නේ සැමියා සහ දුව එක්ක ගෙවන පවුල් ජීවිතය. සැමියා සුජිත් විජේරත්න විදේශගතව රැකියාව කළත් මාසයකට දෙවරක් අපිව බලන්න එනවා. දුව සෙනාර්යා උමේලි දැන් වයස අවුරුදු 6 ක්. ඇය පළමු වසරේ අධ්‍යාපනය ලබනවා.

▲ උදාරි රඟපෑ තවත් නිර්මාණ එන්න තියෙනවාද?

ඇලඩින්ගේ පුදුම පහන සිනමා පටය තමයි එන්න තියෙන්නේ. මම එකවර ගොඩක් වැඩ භාර ගන්නෙ නැහැ. දරුවාගේ අධ්‍යාපන වැඩ වලට මූලිකත්වය දිය යුතු නිසා.

▲ රංගනය පැත්තෙන් අනාගත‍යේ යම් ඉලක්කයක් ඇතිවද වැඩ කරන්නේ.

ඇත්තමයි. මෙහෙම කෙනෙක් වනවා කියා මගේ බලාපොරොත්තුවක් නැහැ. කරන දේ හරියට කර හොඳ රංගන ශිල්පිනියක් වීමයි මගේ මූලික අරමුණ. දරුවාගේ අනාගතය වෙනුවෙන් ඇයගේ සියලු අවශ්‍යතා සපුරන හොඳ බිරියක්, මවක් වීමයි බලාපොරොත්තුව. 

 
 

Comments